IMG-LOGO

2024 මැයි මස 10 වන සිකුරාදා


ස්මාර්ට් ෆෝන් ’’ පට්ට ’’ ස්මාර්ට් වෙන හැටි

 

තාක්‍ෂණයේ වේගවත් පරිණාමය පෙර නොවූ විරූ ආකාරයෙන් සමස්ත ලෝකයම වෙනස් කර ඇත. මෙම දැවැන්ත විප්ලවයේ කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කරන මූලික උපාංගයක් වන්නේ ස්මාර්ට්ෆෝන්  හෙවත් සුහුරු ජංගම දුරකථනයයි. ස්මාර්ට්ෆෝන් අපගේ ජීවිත නව ආකාරයකින් නිර්වචනය කිරීමට සමත් වී ඇත. තවත් දශක දෙකකින් පමණ මෙම තාක්ෂණය මානව ශිෂ්ටාචාරය සහ ඒ හා බැඳුණු සියලු‍ම දෑ කුමන තලයකට රැගෙන යන්නේද යන්න  කල්පනා කළ යුතු වැදගත් කාරණයකි.


ලිඛිත තොරතුරු වලට අනුව 1973 දී මෝටරෝලා සමාගමේ ඉංජිනේරු ආචාර්ය මාර්ටින් කූපර් සහ ඔහුගේ කණ්ඩායම ජංගම දුරකථනයක ප්‍රතිරූපකයක් (ප්‍රෝටොටයිප්)  නිර්මාණය කළහ. එය ජංගම දුරකථන වල ආරම්භය සටහන් කළ බව කියවේ. ඉන් වසර කිහිපයකට පසු අයි.බී.එම්. සමාගමේ ඉංජිනේරු ෆ්‍රෑන්ක් කැනොවා විසින් ස්වීට්පොට් (Sweetspot) යන කේත නාමය සහිත “සුහුරු ජංගම දුරකථනයක”‍ මූලාකෘතියක් නිර්මාණය කළේය. මෙය පළමු සැබෑ ස්මාර්ට් ජංගම දුරකථනය ලෙස සැලකේ. එය පරිගණක කර්මාන්ත වෙළෙඳ ප්‍රදර්ශනයකදී ප්‍රදර්ශනය කොට ඉතා සාර්ථක වුවද  වසර දෙකක් ගතවෙන තුරු පාරිභෝගිකයින්ට අලෙවි නොකළේය.


නමුත් කැනොවා විසින් නිර්මාණය කළ ප්‍රතිරූපකයේ පිරිපහදු කළ අනුවාදයක් වූ අයිබීඑම් සයිමන් පුද්ගලික සන්නිවේදකය  පාරිභෝගිකයින්ට විකුණන ලදී. එය ස්පර්ශ තිරයකින් (ටච් ස්ක්‍රීන්)  සමන්විත වූ අතර පරිශීලකයින්ට දුරකථන ඇමතුම් පමණක් නොව ෆැක්ස් සහ ඊමේල් ද ලබා ගත හැකි පහසුකම් තිබුණි. IBM සයිමන් නම් වූ මෙම පළමු ස්මාට් ජංගම දුරකතනයේ ලිපින (අංක) පොතක්, දින දර්ශනයක්, ගණක යන්ත්‍රයක්, හමුවීම් කාලසටහනක් සහ සටහන් පොතක් වැනි පළමු යෙදුම් ද හඳුන්වා දෙන ලදී.  කෙසේ වෙතත් සුහුරු ජංගම දුරකථනවල ඉහිහාසය විවිධ මතිමතාන්තර රාශියක පැටලී ඇති ව්‍යාකූල එකකි. නමුත් ගෙවුණු දශක කිහිපය තුළදී සිදු වූ වෙනස්කම්වලින් පසු ජංගම දුරකථනය අපේ ජීවිතවල අත්නොහැරිය හැකි මෙවලමක් බවට පත්වී තිබේ. එනම් 1994 දී ආරම්භ වූ මෙම තාක්‍ෂණය 2023 වෙන විට මානව ශිෂ්ටාචාරය උඩු යටිකුරු කිරීමට සමත් වී ඇත. ඒ සඳහා විවිධ සමාගම් ලොව පුරා බිහි වී ඇත.


පසුගිය සඳුදා ඇපල් සමාගම තම නව නිෂ්පාදන හඳුන්වා දීමේ සමුළුව පැවැත්වූ අතර සුපුරුදු පරිදි මිලියන ගණනක් ඊට සහභාගී වූහ. එම සමාගම විසින් හඳුන්වා දෙනලද නව උපාංග අතර බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් උපකරණයක් වූයේ  ඒආර් (ඔග්මෙන්ටට් රියැලිටි) සහ වීආර් (වර්චුවල් රියැලිටි) තාක්ෂණයෙන් යුතු ප්‍රෝ විෂන් නමින් හඳුන්වා දුන් ඉස්බණුවයි (හෙඩ්සෙට් එක). ඇපල්  සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාට අනුව එය තවත් එක් හෙඩ්සෙට් එකක් පමණක් නොව නව පරිගණකයකි.  
එනම්, තාක්‍ෂණිකව ගත් කල, විෂන් ප්‍රෝ යනු ඇපල් සමාගම විසින් මේ දක්වා හඳුන්වා දී ඇති ඉහළම මට්ටමේ පරිගණකවල ඇති M2 චිපයක් සහිත පරිගණකයකි. නමුත් එහි ඇති නව R1 චිපය මඟින් කැමරා 12කින්, සංවේදක (සෙන්සර්) පහකින් සහ මයික්‍රෆෝන හයකින් ඇතුළත් හෙඩ්සෙට් එක මඟින් ලබා ගන්නා දත්ත ක්‍රමිකව සකස්කොට මිලි තත්පර 12ක් ඇතුළත M2 වෙත යවන්නේය. දත්ත සම්ප්‍රේෂණය වඩාත් වේගවත් කොට ඇත.


වඩාත් වැදගත් කාරණය වෙන්නේ විෂන් ප්‍රෝ හුදු රසාස්වාදය සඳහා පමණක් නිර්මාණය කළ උපකරණයක් නොව පරිගණකයකින් සහ සුහුරු ජංගම දුරකථනයකින් කළ හැකි බොහෝ කාර්යයන් මින් සිදුකළ හැකි වීමය. ලබන වසරේ වෙළෙඳපොළට හඳුන්වා දීමට සැලසුම් කර ඇති මෙමගින් නිවසේ සිට තම රැකියාව කිරීම තවත් පහසු කරනු ඇත. එසේම  රැකියා ස්ථානයකට පැමිණීම අනවශ්‍ය කාලයක් සහ මුදලක් නාස්ති කිරීමක් ලෙස බොහෝ දෙනෙකු අවබෝධකරගෙන ඇති පසුබිමක මෙම උපකරණය කදිම මෙවලමක් වෙනු ඇත. අවශ්‍ය වෙන්නේ මූලික පිරිවැයක් සහ ස්ථායි අන්තර්ජාල පහසුකම් පමණි.


මෙම තාක්‍ෂණය අනෙකුත් සමාගම් විසින්ද ඉතාම කෙටි කාලයක් තුළදී ග්‍රහණය කරගැනීම වැළැක්විය නොහැකිය. මේ නිසා තවත් වසර කිහිපයක් ඇතුළත 90 දශකයේ සිට ක්‍රමිකව වෙනස් වෙමින් පැවති සුහුරු ජංගම දුරකථන තාක්ෂණයේ පෙර නොවූ විරූ වෙනසක් සිදුවීමට නියමිතය. මෙය අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට විශාල බලපෑමක් කිරීමට සමත්වනු ඇත. පැරණි ශිෂ්ටාචාර  නිරීක්ෂණය කිරීමට පමණක් නොව වෛද්‍යවරයෙකුට සැතපුම් දහස් ගණනක් ඈතින් සිටින රෝගියෙකු නිරීක්ෂණය කොට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට ඇති හැකියාවද පුළුල් කරනු ඇත.


මේ අනුව පෙනී යන්නේ  ඉදිරි වසර කිහිපය තුළ සුහුරු ජංගම දුරකථන කෘත්‍රිම බුද්ධියේ (AI) බොහෝ විභවයන් භාවිත කිරීමට සමත් වෙනු ඇති බවයි. නව සුහුරු ජංගම දුරකථන, ස්වභාවික භාෂාව සහ මානව හැඟීම් තේරුම් ගැනීමට සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමට හැකියාව ඇති ඉතා බුද්ධිමත් පුද්ගලික සහායකයින් බවට පත්වෙනු ඇත. දැනටමත් සිරි, කොර්ටානා, බික්ස්බි, ඇලෙක්ෂා, වින්ගෝ, මයික්‍රොෆ්ට්,  වැනි ඔබේ පෞද්ගලිකත්වයට අනුව උපදෙස් සහ සහාය ලබාදෙන ඩිජිටල් සහකාර හඳුන්වා දී ඇත. ඉදිරි වසර කිහිපය තුළදී මෙම ඩිජිටල් සහකරුවන් තවදුරටත් අපගේ ජීවිතවලට සමීපවීම වැළක්විය නොහැකිය. අපගේ හැඟීම් දැනීම් තේරුම් ගෙන ඒ අනුව ප්‍රතිචාර දැක්වීමට මෙම සුහුරු ජංගම දුරකථන පුරුදු කිරීමෙන් මෙතෙක් මානව ශිෂ්ටාචාරය තුළ පැවති මානවීය අන්තර් සම්බන්ධතා නව මානයකට රැගෙන යනු ඇත. ඒ සමග අපට මුහුණ දීමට සිදුවෙන අභියෝගද වෙනස් වෙනු ඇත.


ඉතාම කෙටි කාලයක් ඇතුළත, මෙම සුහුරු ජංගම දුරකථන සාම්ප්‍රදායික ඇඟිලි සලකුණු සහ මුහුණු හඳුනාගැනීම අභිභවා යන උසස් ජෛවමිතික සත්‍යාපන ක්‍රමවලින් සමන්විත වෙනු ඇත. ඇතැම් පර්‌යේෂකයින් පෙන්වා දෙන පරිදි, අපගේ ස්නායු පද්ධතිය පදනම් කරගත් මොළයේ තරංග සත්‍යාපනය හෝ දෘෂ්ටි විතානය පරිලෝකනය වැනි අති නවීන තාක්ෂණයන්ගෙන් සමන්විත පෞද්ගලික දුරකථන වෙළෙඳපොළට පැමිණීමට වැඩි කාලයක් ගතවෙන්නේ නැත.


මෙම නව තාක්ෂණය 2040 පමණ වෙන විට කුමන ස්වභාවයක් ගන්නේ ද? ඇතැම් අනාගතවාදීන් ඒ ගැන සඳහන් කරන අදහස් ඉතාම ආකර්ෂණීයය. වසර 2040 වෙන විට අපි මේ දක්වා දන්නා සුහුරු ජංගම දුරකථන භාවිතය අත්හරිනු ඇති බව ඇතැමුන් විශ්වාස කරති. ඒ වෙනුවට, දියුණු මොළ - පරිගණක අතුරුමුහුණත් (බ්‍රේන් කම්පියුටර් ඉන්ටර්ෆෙසස්) හරහා ඔවුන්ගේ මනස සෘජුවම අන්තර්ජාලයට සම්බන්ධ වෙනු ඇත. මෙම නව තාක්ෂණය තවමත් ආරම්භක අවධියේ පවතින නමුත් තවත් වසර කිහිපයකින් වෙළෙඳපොළ ආක්‍රමණය කිරීමට හැකි මෙවලම් සමග පැමිණීම වැළක්විය නොහැකිය.


අනාගත ජංගම දුරකථන විනිවිද පෙනෙන සංදර්ශක, හොලෝග්‍රැෆික් ප්‍රක්ෂේපණ, ස්වයං-සුව කිරීමේ ද්‍රව්‍ය, නම්‍යශීලී සංදර්ශක, මොඩියුලර් මෝස්තර, කෘතිම බුද්ධිය ආදී සංකල්ප වඩාත් තියුණු ලෙස භාවිත කර අපගේ ජීවිතයේ සෑම මොහොතක්ම තීන්දු කරන මූලික මෙවලමක් ලෙස කටයුතු කිරීමට නියමිතය. මෙහිදී මතක තබාගත යුතු කාරණයක් තිබේ. එනම් මෙහි ඇති හොඳ  සහ නරක කතා කිරීම වෙනම සංවාදයකි. එම සංවාදය සඳහා මේ වෙන විට මේ ක්ෂේත්‍රය තුළ සිදුවෙමින් පවතින විපර්යාසය හඳුනා ගැනීම මූලික පදනම වේ.  තමන් අවට ඇති ලෝකය පුරා සිදුවෙන දේ නොදැන විවිධ හිතළු මත පිහිටා කටයුතු කළ නොහැකිය.


එසේම කෘත්‍රීම බුද්ධිය විසින් අපට දායාද කරමින් ඇති පහසුකම් වල ඇති වැදගත්කම මෙන්ම අවදානම ගැන මීට පෙර ලිපියකදී අවධානය යොමු කළෙමි. කෘත්‍රීම බුද්ධිය විසින් මිනිසා ලෙස අපි නිර්වචනය කළ ජෛව සත්වයාගේ පමණක් නොව සමස්ත ලෝකයේ පැවැත්ම තීන්දු කරමින් සිටින බව රහසක් නොවේ. එසේම, අපට සිදුවෙමින් පවතින විප්ලවීය වෙනස නැවතිය නොහැකිය. එය ලෝකයේ කුමන තැනකදී හෝ අනිවාර්යයෙන්ම සිදුවේ. ඒ නිසා වැදගත් වෙන්නේ පොදු එකඟතාවකට පැමිණීමය.
මෙම මූලික කාරණය චැට්ජීපීටී ලොවට හඳුන්වා දීමට මූලික වූ තරුණ ව්‍යවසායකයෙකු වන සෑම් ඔල්ට්මන් පවා අවධාරණය කළේය.  ”‍කෘත්‍රීම බුද්ධිය බොහෝ විට ලෝකය අවසානය කරා ගෙන යනු ඇත, නමුත් ඒ අතරතුර, විශිෂ්ට සමාගම් රාශියක්  බිහිවනු ඇත”‍, ඔල්ට්මන්  වරක් හාස්‍යයට මෙන් සඳහන් කළේය. නමුත් ඔහු සඳහන් කළ කාරණය අසත්‍යයක් නොවන බව පෙනේ. 


කෙසේ වෙතත් මගහැරීමට නොහැකි යථාර්ථයක් වෙත අපි සියලු‍ම දෙනා තල්ලු‍ වී ඇත. වැදගත් වෙන්නේ මෙම තත්ත්වය මනා ලෙස කළමනාකරණය කිරීම සඳහා පුළුල් සමාජ සංවාද මෙන්ම අවශ්‍ය ප්‍රතිපත්ති දේශපාලනීකරණයෙන් තොරව නිසි කලට ක්‍රියාත්මක කිරීමය.


ශ්‍රී ලංකාව වැනි රටක පොදු අධ්‍යාපනය සහ වැඩිහිටි අධ්‍යාපනය සුවිශාල අභියෝග රාශියකට මුහුණ දී සිටින පසුබිමක අප සියලු‍ම දෙනාටම මූලික වගකීමක් තිබේ. කිසිම විටක නොනවතින තාක්ෂණයේ ඇති මූලික ගුණාංග හඳුනා ගැනීම සහ අපගේ අනාගත පරම්පරාවට නව දැනුම ලබාදීමේ සාධනීය වැඩපිළිවෙළක් හඳුන්වා දීමට හැකි සහයෝගයක් ලබාදීමය.


එසේම ශ්‍රී ලංකාව  ලෝකයේ බොහෝ රටවලට සාපේක්ෂව එක් පුද්ගලයෙකුට වැඩිම ජංගම දුරකථන සංඛ්‍යාවක් හිමි රටකි. එහෙත් අපි තවමත් ජංගම දුරකථනයක්  තබා චිප් එකක්වත් නිර්මාණය කරගැනීමට අසමත් වී සිටිති. මෙය සැබවින්ම අවාසනාවන්ත සහ ලජ්ජා සහගත තත්ත්වයකි.


ජාතියකට ලෝකය තුළ තම පැවැත්ම තහවුරුකර ගත හැක්කේ අතීතය ගැන පුරසාරම් දෙඩීමෙන් හෝ තමන්ගේ අසල්වැසියාට කෙනෙහිලි කම් කොට ව්‍යාජ රඟපෑම වසාගැනීමට ප්‍රසිද්ධ වේදිකාව හෝ සමාජ මාධ්‍යයන් අවභාවිත කරමින් ආගම සිහි කිරීමෙන් නොවේ. ජාතියකට ඉදිරියට යා හැක්කේ පොදු කරණු සහ අභිලාෂයන් ජයග්‍රහණය කිරීම සඳහා සාමූහිකව කටයුතු කිරීමෙනි. සැබෑ දේශප්‍රේමය වූ කලී එයයි.

 

නිලන්ත ඉලංගමුව



අදහස් (0)

ස්මාර්ට් ෆෝන් ’’ පට්ට ’’ ස්මාර්ට් වෙන හැටි

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 4090 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 63 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1521 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 494 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 175 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 288 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 573 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2051 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1802 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site