අරලියගහ මැදුරේ ස්පන්දනය

දශක හතක කාලයක සිට රාජ්‍ය පාලන තන්ත්‍රයට සම්බන්ධව රාජ්‍ය නායකයන් සමග ශ්‍රේෂ්ඨ රාජ්‍ය සේවාවක යෙදී සිටි කෘතහස්ත පරිපාලන නිලධාරියකු වූයේ බ්‍රැඩ්මන් වීරකෝන්ය. ඔහු මෙරට රාජ්‍ය නායකයන් නම දෙනකුගේ ලේකම්වරයකු සහ උපදේශකවරයකු ලෙසද ක්‍රියා කළේය. 1930 දී උපත ලද බ්‍රැඩ්මන් වයස අවුරුදු 23දී ප්‍රථම වරට අග්‍රාමාත්‍යවරයකුගේ ලේකම් පදවියට පත්විය. ඒ සර් ජෝන් කොතලාවල යටතේය. අනතුරුව එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, ඩබ්ලිව්. දහනායක, ඩඩ්ලි සේනානායක, සිරිමාවෝ බණ්ඩාරනායක, ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග සහ රනිල් වික්‍රමසිංහ යටතේද ඔහු ලේකම් පදවි දැරීය. 

මෙවන් දිගු රාජ්‍ය සේවාවකදී ලැබූ අත්දැකීම් ඇතුලත් කොට ඔහු 2004 වසරේදී (RENDERING UNTO CAESAR) නමින් ඉංග්‍රීසි භාෂාවෙන් ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කළේය. එහි සිංහල අනුවාදය අරලිය ගහ මැදුරේ ස්පන්දනය නමින් ග්‍රන්ථයක් දැන් නිකුත්වී තිබේ. සිංහල පාඨකයන් වෙනුවෙන් ප්‍රකාශයට පත් කළ එම ග්‍රන්ථය මගින් රාජ්‍ය නායක ජීවිතවලට ඇතුළත් වූ අතිශය වැදගත් රහස් සම්භාරයක් එළිදක්වා තිබේ. මෙරට පරිපාලන ඉතිහාසයේ දේශපාලනය පසුබිම් කර ක්‍රියාත්මක වූ වෙනස්කම් රැසක් පිළිබඳව බ්‍රැඩ්මන් ප්‍රබල සාක්කි රැසක් එම ග්‍රන්ථය මගින් ඉදිරිපත් කර තිබේ. 

එහි ඇතුළත් ඉතා ප්‍රබල රහස්‍ය සිදුවීමක් වී ඇත්තේ විලියම් ගොපල්ලව අග්‍රාණ්ඩුකාර පදවියට පත් කිරීමය. එවකට එනම් 1962 වසරේදී අග්‍රාණ්ඩුකාර පදවිය දරන ලද්දේ සර් ඔලිවර් ගුණතිලකය. අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට විලියම් ගොපල්ලව පත් කිරීමට අවශ්‍යව තිබිණි. බ්‍රැඩ්මන් තම කෘතියේ සඳහන් කරන අයුරින් 1962 මාර්තු මාසයේ දිනෙක අගමැතිනියගේ ලේකම් ලෙස සිටි බ්‍රැඩ්මන් අමතා වහාම ඇගේ ලිපියක් රැගෙන මහරැජින හමුවීමට යන ලෙස ඉල්ලා සිටියාය. මහරැජින විසින් අග්‍රාණ්ඩුකාරවරයා පත් කළ යුතුව තිබිණි. ඉතා රහසිගතව සිදු කළ යුත්තක් ලෙස එම ලිපිය රැගෙන යාමට බ්‍රැඩ්මන්ට සිදුවිය. කිසිවකුට හෙළි නොවන අයුරින් විලියම් ගොපල්ලව මහතා අග්‍රාණ්ඩුකාරවරයා ලෙස පත් කරන ලෙස මැතිනිය මහරැජිනගෙන් ඉල්ලා තිබිණි. ඒ අනුව 1962 මාර්තු 20 වැනිදා සිට විලියම් ගොපල්ලව අග්‍රාණ්ඩුකාරවරයා ලෙස ශ්‍රී ලංකාවේ ගුවන් විදුලිය මගින් ප්‍රකාශයට පත් කළ අතර එදිනම බකිංහැම් මාලිගයෙන්ද ඒ බැව් නිවේදනය කරන ලදී. තම ජීවිතය තුළ පරිපාලන සේවාවේදී ඉතාම රහසිගතව ගිය ගමනක් ලෙස එම ලිපිය රැගෙන යාම අමතක නොවන සිදුවීමක් ලෙස වරක් බ්‍රැඩ්මන් හමුවූ විටෙක ඔහු අප සමගද ඒ බැව් සඳහන් කළේය.

දේශපාලන මාරුවීමක් ලැබ බ්‍රැඩ්මන් අම්පාරට ගොස් කළ සේවාවන් රැසක්ද ඔහු විසින් සවිස්තරාත්මකව සඳහන් කර තිබේ. වරක් ඔහු ගැමියන් 500ක් පමණ එක් රැස්කර (පාසල් දරුවන් ද ඇතුලුව) ශ්‍රමදානයක්ද සංවිධානය කරනු ලැබීය. නගරයේ වෙළඳ ව්‍යාපාරිකයෝ රැසක් එම පිරිසට ආහාර සපයනු ලැබූහ. 

අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස බ්‍රැඩ්මන් බලවත් අසීරුතාවන්ට පත්වූ අවස්ථා රැසක් රාජ්‍ය නායක ඇසුරේදී සිදුවිය. එහි තවත් අවස්ථාවක් උදාවී ඇත්තේද සිරිමාවෝ මැතිනියගේ ලේකම්වරයා ලෙස සිටියදීය. එය සිදුවී ඇත්තේ 1965 මහා මැතිවරණයේදී සිරිමාවෝ මැතිනියගේ රජය පරාජයට පත්වීම නිසාය. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමග තම ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය සකස් කරන ලෙස අගමැතිනිය බ්‍රැඩ්මන්ට පැවසුවාය. ලිපිය සකස් කරදුන් නමුත් මැතිනිය එයට අත්සන් තැබීම පමා වන්නට විය. එයට හේතුවී ඇත්තේ ඉල්ලා අස්වීමට ප්‍රථම අනෙකුත් දේශපාලන පක්ෂ කිහිපයක අදහස් විමර්ශනය කිරීම සිදු කළ යුතු බව ප්‍රකාශවීම නිසාය. වෙනත් පක්ෂවල සහාය ලබාගෙන රජය පවත්වාගෙන යා හැකිදැයි විමර්ශනය කරමින් පැවතිණි. මැතිනියගේ ඉල්ලා අස්වීම පමාවීම නිසා ජය ලබා සිටි එජාපය දැඩි අප්‍රසාදය පළ කරන්නට විය. විලියම් ගොපල්ලව අග්‍රාණ්ඩුකාරවරයාටද එය ගැටලුවක්වී තිබිණි. විලියම් ගොපල්ලව බ්‍රැඩ්මන් අමතමින් මැතිනිය තවම ඉල්ලා අස්වීම අත්සන් කළේ නැතිදැයි ප්‍රශ්න කරන්නට වීය. 

බ්‍රැඩ්මන්ද එය මැතිනියට සිහිපත් කළේය.  වාමාංශික දේශපාලන බලපෑම් මැද බ්‍රැඩ්මන් කෙරෙහිද වැරදි ආකල්පයක් නොඩනැගී තිබිණි. තත්ත්වය මෙසේ තිබියදී බ්‍රැඩ්මන්ද බලවත් කලකිරීමකට පත්වී සිටියේය. පසුදින බ්‍රැඩ්මන් රාත්‍රියේ සිය මෝටර් රථය පදවාගෙන නිවස බලා යන විටදී රථයට ගල් කීපයක්ද එල්ල විය. බ්‍රැඩ්මන්ගේ දෙනෙතට කඳුළු ගලා ආවේය. බලවත් කලකිරීමෙන් නිවෙසට ගිය බ්‍රැඩ්මන් සිය බිරියට පැවසුවේ පසුදින එම ප්‍රශ්නයට විසඳුමක් නොලැබුණහොත් ඔහු සිය සේවයෙන් ඉල්ලා අස්වන බවය. 

පසුදිනට පහන්වීය. බ්‍රැඩ්මන් බලාපොරොත්තු තබා සිටි අයුරින් සතුටුදායක පණිවිඩයක් ලැබිණි. එනම් මැතිනිය ලිපියට අත්සන් තැබීමට තීරණය කළ බවය. බ්‍රැඩ්මන් උදෑසන මැතිනියගේ ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලවට භාර දුන්නේය. ඒ අනුව ඩඩ්ලි සේනානායක අගමැතිවරයා බවට පත්වී එජාප රජයක් බිහිවිය. එහිදී අග්‍රාමාත්‍ය ලේකම් පදවියට බ්‍රැඩ්මන් පත්කර ගැනීමට ඩඩ්ලි සේනානායක තීරණය කළේය. එහෙත් සිරිමාවෝගේ ලේකම් පදවිය දැරූ නිසා බ්‍රැඩ්මන් ඉවත් කරන ලෙස පක්ෂයේ ප්‍රබලයන් කීප දෙනෙක් ඩඩ්ලිට යෝජනා කළත් ඔහු ඒ කිසිවක් පිළිනොගෙන බ්‍රැඩ්මන් අගමැති ලේකම් ලෙසම තබා ගත්තේය. 

ඩඩ්ලි සේනානායක යටතේ සේවය කිරීමේදී ද බ්‍රැඩ්මන්ට් අත්දැකීම් රැසක් තිබිණි. ඩඩ්ලි සේනානායක කෘෂිකර්මාන්තය තදබල ලෙස ඇලුම් කළ පුද්ගලයෙක් විය. මහවැලි ව්‍යාපාරයද ඔහුගේ සිහිනයක් වී තිබිණ. ඒ බැව් බ්‍රැඩ්මන් සිය ග්‍රන්ථයෙන් දීර්ඝ හැඳින්වීමක්ද කර තිබේ. සිංහලයන්ගේ ප්‍රධාන ආහාරය වන බත සකසා ගැනීමට වී වගාවෙන් රට ස්වයංපෝෂිත කළ යුතු බැව් ඩඩ්ලිගේ ඒකායන ප්‍රාර්ථනාව වී තිබිණි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් මහවැලි මුද්‍රානාට්‍යයක් පවා රට පුරා ප්‍රදර්ශනය කිරීමටද කටයුතු කරනු ලැබීය.

සති අන්තවලදී ඉතා දුෂ්කර ප්‍රදේශවල පවා සංචාරය කරමින් ගොවියන් හමුවීමටද ඩඩ්ලි දැඩි ආශාවක් දැක්වූ බැව් ද බ්‍රැඩ්මන් එහි සඳහන් කර තිබේ. එම දිරිගැන්වීම් නිසා 1966 සිට 1969 පමණ වනතුරු වී බුසල් දශ ලක්ෂ ගණනින් වැඩිවූ බවද එහි පෙන්වා දී ඇත. 

 

මේ අතර ඩඩ්ලිගේ කෘෂිකර්මාන්ත දිරිගැන්වීමේ උනන්දුව පිළිබිඹු කරන අතිශය ප්‍රබල සාක්කියක්ද එම ග්‍රන්ථයට ඇතුළත් කර ඇත. එනම් හරිත විප්ලවය ලෙස හඳුන්වන ලද එම කෘෂි ව්‍යාපාරයට ගැළපෙන අයුරින් නව වසරේ සුභ පැතුම්පතට ඩඩ්ලි අමුඩයකින් සැරසී සිටින චිත්‍රයක් ඇතුළත් කිරීමය. එහි දර්ශනය වූයේ ඩඩ්ලි සේනානායක අමුඩයකින් සැරසී උදැල්ලක් කර තබාගෙන  සිටින අයුරුය. කෘෂිකර්මාන්තය ඩඩ්ලි දැක්වූ ඉමහත් ආදරය පෙන්වන එය ගොවිබිම පෙන්වන කැටපතක් බඳුවී තිබේ. 

1973 වසරේදී ඩඩ්ලි හැට දෙවැනි වියට පත්වී සිටියේය. ඒ වනවිට ඔහු සාමාන්‍ය මන්ත්‍රීවරයෙකි. එදා ඔහු බලවත් ලෙස රෝගී වී සිටි බැව් ආරංචි වන විට බ්‍රැඩ්මන් සිටියේ මඩකළපුවේය. ඒ ඔහුට මාරුවීමක් ලැබ එහි දිසාපතිවරයා ලෙස සේවය කරමින් සිටියදීය. නිවාඩු අනුමත කිරීමකින් පවා තොරව ඔහු වහාම සිය මෝටර් රථයට නැගී ඩඩ්ලි ඇතුළත්ව සිටි ඩර්ඩන්ස් රෝහලට පැමිණියේය. ඒ වනවිටත් ඩඩ්ලි සිටියේ හොඳ සිහියෙනි. ඩඩ්ලිගේ කාමරයට ඇතුළුවූ බ්‍රැඩ්මන් එහි  සිටි ඩඩ්ලිගේ අත් දොතින්ම අල්ලාගත් විට ඩඩ්ලි සිහින් සිනහවක් පෑවේය. එදිනම රාත්‍රී ඩඩ්ලි අවසන් හුස්ම හෙළීය. 

අප්‍රේල් 21 වැනිදා ඩඩ්ලිගේ අවසන් කටයුතු සඳහා නිදහස් චතුරශ්‍රයට අතිවිශාල සෙනගක් රැස්වී සිටියහ. එහිදී රැස්ව සිටි පිරිස අමතා ජේ.ආර්. ජයවර්ධන කතාවක් පැවැත්වීය. බ්‍රැඩ්මන් සිය කෘතියේ සඳහන් කර  ඇති එම වදන එලෙසින්ම මෙසේ විය.

“සුභ රාත්‍රියක් සොඳුරු කුමාරයාණෙනි. දෙවිවරුන් රැසක් ඔබට ගී ගයනු ඇත. නින්දට” එය ඇසීමත් සමගම රැස්ව සිටි පිරිස කඳුළු සලන්නට  වූහ. 

දේශපාලන මාරුවීමක් ලැබ බ්‍රැඩ්මන් අම්පාරට ගොස් කළ සේවාවන් රැසක්ද ඔහු විසින් සවිස්තරාත්මකව සඳහන් කර තිබේ. වරක් ඔහු ගැමියන් 500ක් පමණ එක් රැස්කර (පාසල් දරුවන් ද ඇතුළුව) ශ්‍රමදානයක්ද සංවිධානය කරනු ලැබීය. නගරයේ වෙ​ෙළඳ ව්‍යාපාරිකයෝ රැසක් එම පිරිසට ආහාර සැපයූහ. පළාතේ මන්ත්‍රීවරයා එය වැරදියට තේරුම් ගෙන තිබිණි. දේශපාලන මාරුකිරීම් යටතේ අම්පාරට මාරුවක් ලැබ සිටියද ඒ අයුරින් කටයුතු කරනුයේ ඉදිරි මැතිවරණයකදී එම පළාතේ මන්ත්‍රීවරයා සමග තරගයකට සූදානම් වීමට අදහස් කර ඇතැයි එම වැරදි මතය වී තිබිණි. 

මෙවන් අත්දැකීම් ඇතුළු තවත් අත්දැකීම් රැසක් ගොනුකර ඇති එම ග්‍රන්ථයේ අවසානයට බ්‍රැඩ්මන් එකතු කර ඇති කොටසක දැක්වෙන සිතුවිල්ලක් ඇත. එහි සඳහන් වන්නේ පනස් වසරකට පෙර පැවති ඔහුගේ ප්‍රාර්ථනා  තවමත් සම්පූර්ණ වී නොමැති බවය. “අවිද්‍යාවෙන් මිදේවා, රෝදුකින් මිදේවා, නැතිබැරිකමින් මිදේවා, බියෙන් මිදේවා යන එම ප්‍රාර්ථනා ජයග්‍රහණය කර ගැනීම හිමාල තරණය වැනි දුෂ්කර ක්‍රියාවක් බැව්”ද සඳහන් කර ඇති එය අවසන් කර ඇත්තේ “කලට වැසි වසීවා, අස්වනු සරුසාර වේවා, පාලකයෝ ධාර්මික වේවා, සියලු සත්වයෝ නිදුක් වේවා”යි යනුවෙනි. 

තිස්ස ජයවර්ධන