ශ්‍රී ලංකාවේ නාවික හමුදාවේ ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඇමරිකානු එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මෙරටට පරිත්‍යාග කරනු ලැබූ නවතම ගැඹුරු මුහුදු ආවේක්ෂණ යුද නෞකාව “සමුද්‍රවිජය” නමින් අධිකාරියට පත්කර නාවික හමුදා නෞකා බලඇණියට එක්කිරීම පසුගියදා ජනපතිගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ. 
 
නූතන තාක්ෂණයෙන් සපිරි ආවේක්ෂණ පද්ධති හා නූතන තාක්ෂණයෙන් සන්නද්ධ ප්‍රහාර එල්ලකිරීමේ වෙඩි බලය සහිත මීටර් 64ක් දිග මීටර් 10ක් පළල “සමුද්‍රවිජය” නෞකාවත් සමග නාවික හමුදා බලඇණිය තවදුරටත් සන්නද්ධ වන අතර එමගින් ශ්‍රී ලංකාව මෙන් 8 ගුණයක් විශාල මුහුදක් සහ ශ්‍රී ලංකාව මෙන් 27 ගුණයක් විශාල සෙවීම් සහ මුදවාගැනීම් කලාපය තුළ සක්‍රීයව ක්‍රියාත්මකවීමට නෞකා බලඇණිය විශාල වීම සන්ධිස්ථානයක් ලෙස හැදින්විය හැක.
 
සමුද්‍රීය ජාතියක් ලෙස අප ලෝකයේ අනික් රටවල් සමග රාජත්‍රාන්තික වශයෙන් කොතරම් දුරට බැඳී සිටිනවාද, අප ගැන කොතරම් විශ්වාස කරනවාද, රාජතාන්ත්‍රිකව කොතරම් පිළිගන්නවාද යන්න මොනවට පැහැදිලිවන අවස්ථාවක් ලෙස ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඔවුන් සතුව තිබූ B – Type Reliace Class 210 – Foot Cutter’ නෞකා පන්තියට අයත් P – 628 අංක ‘DECIVE’  වර්ගයේ ගැඹුරු මුහුදු ආවේක්ෂණ යුද නෞකාව ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කිරීම මෙන්ම නිලධාරීන් හා නාවිකයන් 86ක් එරටට ගෙන්වා පුහුණු කිරීම දැක්විය හැක. 
 
උපායමාර්ගික වැදගත්කම
 
විශේෂයෙන් ඉන්දියානු සාගරයේ සමුද්‍රීය ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාව කොතරම් වගකීම් සහගත කාර්යභාරයක් ඉටුකරනවාද යන්න ලොවට සනාථකර ඇති බව පිළිබිඹු කිරීමක් ලෙස මෙවැනි යුද නැවක් අප රටට පරිත්‍යාග කිරීම ගම්‍ය කරයි. රාජතාන්ත්‍රික වශයෙන් ශ්‍රී ලංකාවට ඇති පිළිගැනීම අනුව ඉන්දියන් සාගරයේ උපායමාර්ගික වැදගත් ස්ථානයක ශ්‍රී ලංකාව පිහිටා තිබීමෙන් නාවික හමුදාව කොතරම් දුරට වගකීම් සහගත කාර්යභාරයක් සමුද්‍ර ආරක්ෂාව වෙනුවෙන් කරනවාද යන්න ලෝක පිළිගැනීම තහවුරුවෙන එක්තරා සන්ධිස්ථානයක් ලෙස දේශපාලන විශ්ලේෂකයෝ හඳුන්වා දෙති.
 
‘‘සමුද්‍රවිජය’’ නෞකාවේ අණදෙන නිලධාරී   කපිතාන් ගයාන් වික්‍රමසූරිය නෞකාව ඇමරිකාවේ සිට මෙරටට පැමිණි ගමන්මග පිළිබඳව  අප සමග අදහස් දක්වමින් මෙසේ පැවසීය.
 
“මේ නෞකාව ලංකාවට ලැබෙන්නේ ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා තවත් වර්ධනය කර ගැනීමේ අරමුණෙනුයි. මීට පෙර සමුදුර, ගජබාහු, විජයබාහු යන නෞකා ත්‍රිත්වය අමරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් අපට ලැබුණු අතර ඔවුන් විසින් ලබාදෙන සිවුවන නෞකාව සමුද්‍රවිජය නෞකාවයි. මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය ලෙස නිලධාරීන් 14ක් සහ නාවිකයන් 72ක් ඇතුළු 86 දෙනෙක් සේවය කරනවා. මෙම 86 දෙනාම  නෞකාව රැගෙන ඒම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට යනු ලැබුවා. 
 
මෙම නෞකාව 2025 දෙසැම්බර් 02වැනිදා ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තන්තුවට අයත් බැල්ටිමෝර් වරායේදී උත්සවාකාරයෙන්  ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල වශයෙන් ලබාදීම සිදු වුණා. ඒ සඳහා නාවිකා හමුදාපතිතුමාත් සහභාගි වුණා. 
 
ඉන් පස්සෙ ශ්‍රී ලංකා නාවික හමුදාවට අවශ්‍ය ලෙස මෙම නෞකාවේ නවීකරණ කටයුතු සිදුකිරීම අපේ නාවිකයන් හා ඇමරිකානු නාවිකයන් එක්ව සිදුකිරීම ආරම්භ කළා. විශේෂයෙන් ඇමරිකාව සතු නූතන තාක්ෂණික උපාංග සහ අවි අයුධවලින් මෙම නෞකාව සන්නද්ධ කිරීම මේ යටතේ සිදුකෙරුණා. මෙම සියලු නවීකරණ කටයුතු නිසි ලෙස සිදුකිරීමෙන් පසුවයි 2026 පෙබරවාරි පෙබරවාරි 20 වැනිදා එක්සත් ජනපදයේ මේරිලෑන්ඩ්  ප්‍රාන්තයේ “බැල්ටිමෝර්’ සිට මෙරට ත්‍රිකුණාමල වරාය දක්වා රැගෙන ඒම ආරම්භ කළේ. 
 
නාවික සැතපුම් 15.787ක ගමනක්
 
මේ එන ගමනේදී වරායන් 6කට ගමන් කළා. ඒ ඇමරිකා එක්සත් ජනපදයට අයත් ෆ්ලොරිඩාහි කී වෙස්ට් වරාය, බැල්බෝවා වරාය, ලොස්ඇන්ජලීස් ලෝන්බීජ් වරාය, හවායිහි හොනලුලු වරාය, ගුවාම්හි අප්‍රා වරාය පසුකරමින් මැලේසියාවේ කොටාකිනාබාලු වරාය පසුකරමින් සිංගප්පූරු සමුදු සන්ධිය හා මලක්කා සමුද්‍ර සන්ධිය පසුකරමින් ඉන්දියානු සාගරය ඔස්සේ ත්‍රිකුණාමලය වෙත පැමිණියා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ පැනමා ඇළ තරණය කළ පළමු නෞකාව මෙයයි. සම්පූර්ණ ගමන සඳහා දින 78ක් වැය වුණා. මෙතෙක් නාවික හමුදාව සිදුකළ දීර්ඝතම නාවික ගමන ලෙස නාවික සැතපුම් 15.787ක් ගමන් කොට තිබෙනවා. 
 
එසේම “සමුදුරුවිජය‘ නෞකාව  අත්ලාන්තික් සාගරය, පැසිෆික් සාගරය සහ ඉන්දියානු සාගරය යන එකිනෙකට වෙනස් කාලගුණික තත්ත්ව සහිත සාගර තුන තරණය කළ පළමු නෞකාව බවටද පත්වී තිබෙනවා. එපමණක්ද නොව ජාත්‍යන්තර දින රේඛාව පසුකළ පළමු ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාව බවටද “සමුදුරුවිජය’ සුවිශේෂ වාර්තාවක් උසුලනු ලබනවා.  
 
ඕනෑම මෙහෙයුමකට සූදානම්
 
මුහුදු සැතපුම් 6000ක් දින 14ක් නොනවත්වා ධාවනය කළ හැකි සමුදුරු විජය නෞකාව නොට්ස් 17ක උපරිම වේගයකින්ද සමන්විතයි. නවීනතම රේඩාර් පහසුකම්ද, ඉලෙක්ට්‍රික් මුහුදු සිතියම් පුවරු පහසුකම්වලින්ද (ECDIS) සමන්විත වනවා. මෙලෙස සුවිශේෂ වාර්තා රැසකට හිමිකම් කියන “සමුදුරු විජය‘ නෞකාව පසුගිය ජුනි 04දා ජනපතිතුමන්ගේ සහභාගිත්වයෙන්  ශ්‍රී ලංකා නාවික නෞකා “සමුද්‍රවිජය’ ලෙස අධිකාරියට පත්කරනු ලැබුවා. ඉදිරියේදි සිදුකරනු ලබන සමුද්‍රතීරයේ ඕනෑම මෙහෙයුමක් සඳහා සූදානමින් සිටිනවා. 
 
ශ්‍රී ලංකාවට අයත් පුළුල් සාගර කලාපයේ නීතිවිරෝධි ධීවර කටයුතු, විශේෂයෙන් අපේ රටට මුහුදු මගින් සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම්,අනෙකුත්  ජාවාරම් වළක්වාලීම සඳහා නාවික හමුදාව සුවිශේෂ නිහඬ සේවාවක් සිදුකරනවා. ඒ සේවාව තවත් වර්ධනය කිරීම උදෙසා “සමුද්‍රවිජය’ නෞකාවත් අභිනවයෙන් එක්වීමට සූදානමින් සිටිනවා.”
 
 
‘‘ශ්‍රී ලංකා නාවික නෞකා සමුද්‍රවිජය ශ්‍රී ලංකාව හා එක්සත් ජනපදය අතර, ශක්තිමත් සමුද්‍රීය සහයෝගීතාවයේ සංකේතයක් මෙන්ම, මෙම නෞකාව මඟින් ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදීමටද ශ්‍රී ලංකා නාවික හමුදාව අපේක්‍ෂා කරනවා’’.
 
මෙවැනි සුවිශේෂ වාර්තා රැසකට හිමිකම් කියන “සමුද්‍රවිජය’ නෞකාව සහ එහි සේවය කරන නිලධාරීන් හා නාවිකයන් නාවික හමුදාව සතු සුවිශේෂ වත්කමක් වන අතර නිලධාරීන් සතු අත්දැකීම් ඉදිරියේදී සෙසු නාවිකයන්ගේ පුහුණුකිරීම් සහ මෙහෙයුම් සැලසුම් සඳහා දැනුම ලබාදෙන සම්පතක් වෙයි.
 
ඇමරිකාවෙන් අපට ලැබුණු  සමුද්‍ර විජය, නෞකාවට සම්බන්ධ නිලධාරීන් සහ නාවිකයන් 86 දෙනා අතුරින් කිහිප දෙනකු අත්දැකීම් අප සමග බෙදාගත්තේ මෙලෙසිනි.
 
මහාද්වීප තුනක් හරහා - නෞකාවේ විධායක නිලධාරී - කොමාන්ඩර් චමින්ද ජයනෙත්ති 
 
“ඒක අමතක නොවන ගමනක්. මමත්, තවත් නිලධාරීන් දෙදෙනෙක් හා නාවිකයන් තිදෙනෙක් ඇතුළු හය දෙනෙක් 2025 ජූලි මාසෙ ඇමරිකාවට ගිහින් නෞකාව යළි සක්‍රීය කිරීමේ කටයුතු ආරම්භ කළා. පසුව 2025 නොවැම්බර් මාසයේදී තමයි දෙවන, තුන්වන හා සිව්වන කණ්ඩායම් ලෙස නෞකා කාර්ය මණ්ඩලයේ 86 දෙනාම නෞකාවට පැමිණියේ. ඒ අනුව මේ වසරේ පෙබරවාරි 20 වැනිදා බැල්ටිමෝර් වරායෙන් මෙරට දක්වා පැමණීමට ගමන් ආරම්භ කළා. 
 
මුළු ගමන ගත්තම අත්ලන්තික් සාගරය, පැසිපික් සාගරය හා ඉන්දියන් සාගරය යන සාගර තුනම තරණය කළා. මේ සමස්ත ගමනේදි මුහුදු 7ක් හා මහද්වීප 3ක් තරණය කරන්න සිදුවුණා. පැනමා ඇළ හරහා ගමන් කළ පළමු ශ්‍රී ලංකා නෞකාව බවට මෙම නෞකාව පත් වුණා. ඒ වගේම අපට අවස්ථාව හිමිවුණා ජාත්‍යන්තර දින රේඛාව පසුකරන්නත්. ඒ වගේම නාවික හමුදා ඉතිහසයේ දීර්ඝතම මුහුදු ගමනේ යෙදෙමින් දින 79ක් මේ ගමන සඳහා ගතවුණා. ඒ මුහුදේ දින 60ක් සහ වරායන් 6ක් තුළ දින 19ක් වශයෙන්. මේ ගමනේදි නාවික සැතපුම් 15,787ක දුරක් ගමන් කළා. දැනට ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් විසින් සිදුකළ  දීර්ඝතම මුහුදු ගමන තමයි මේක. පැසිපික් සාගරයේ ගොඩක් රළු මුහුදු අතරින් අපි ගමන් කළා. සමහර අවස්ථාවල දින ගණනක් හුදකලාව ගමන් කළා. මට මතක විදිහට පැසිෆික් සාගරයේදි නැවක් ඇහැට දැක්කෙ දෙපාරක් විතරයි. රේඩාර්වල නැව් පෙන්නුම් කළත් ඒවා ගමන් කළේ ගොඩාක් ඈතීන්. 
 
හැම අතින්ම සුදුසු සහ සූදානම් නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් තමයි අපිට හිටියෙ. මේ හැම දෙනාම මුහුදු රාජකාරි කරලා අත්දැකීම් ලබපු අය. නමුත් මෙවැනි දීර්ඝ මුහුදු ගමනක යෙදිලා තිබුණේ නෑ. ඒ නිසා පසුගිය අත්දැකීම්ල දැනුම සහ හැකියාවන් යොදාගෙන කිසිදු උපද්‍රවයකින් තොරව සැලසුම් කළ ආකාරයටම දීර්ඝ මුහුදු ගමනක් යෙදෙන්න පුළුවන් වුණා.
 
නාවික හමුදාවේ නෞකා බලඇණියට එක්වූ නවතම නෞකාව ලෙස‘සමුද්‍රවිජය නෞකාව, ඕනෑම මෙහෙයුමකට ඕනෑම අවස්ථාවක සූදානමින් සිටිනවා.”
 
රළු අත්දැකීම් - ලුතිනන් කමාන්ඩර් සුරංග ගුණවර්ධන
 
‘‘මම නෞකාවේ සහාය මාලිමා නියමු නිලධාරියා ලෙස කටයුතු කරනවා. නෞකාව ඇමරිකා එක්සත් ජනපදයේ සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ගමන සැලසුම් කිරීම පැවරී තිබුණේ මටයි. ඒ අනුව මුහුදු සිතියම් හා නෞකාවේ වෙනත් උපකරණ භාවිත කරලා ගමනට කොතරම් කාලයක් ගතවෙනවාද යන්න සැලසුම් කිරීමට අවශ්‍ය සහාය මාලිමා නියමු නිලධාරියාට ලබාදීම තමයි මගේ රාජකාරිය වුණේ. අපි සැලසුම් කළ විදිහටම අදාළ දිනයට වරායන්වලට සේන්දු වණා වගේම නියමිත වෙලාවට පිටත් වුණා. අපි සැලසුම් කළ විදිහටම මැයි 8 වැනිදා ත්‍රිකුණාමල වරායට සේන්දු වෙන්න හැකි වුණා. 
 
මම ජලතරණය සම්බන්ධව විශේෂඥ පුහුණුවක් ලැබූ අයෙක්. මගේ මාලිමා නියමු නිලධාරිතුමා වගේම අණදෙන නිලධාරිතුමාත් මාලිමා නියමු නිලධාරියෙක් ලෙස කටයුතු කළ අයෙක්. බොහෝ වෙලාවට අපි තුන් දෙනාම මේ සැලසුම් කටයුතුවලට සම්බන්ධ වුණා අණදෙන නිලධාරීතුමාගේ උපදෙස් අපට නිතරම ලැබුණා අත්ලන්තික් හා පැසිපික් මුහුදු කලාපවල රළු මුහුදු අත්දැකීම්වලට මුහුණ දුන්නත් ගැටලුවකින් තොරව පාලක මැදිරියේ උපකරණ නිවැරදි දිශාව පවත්වාගෙන යන්න සහාය දැක්වූවා.
 
පළමු ගමන - සමූහ ප්‍රධාන සුළු නිලධාරී එම්.ජේ.ජේ. ජයරත්න
 
“මම නාවික හමුදාවට බැඳිලා වසර 21ක් වෙනවා. මෙම කාලය තුළ මට විදෙස් රටකට යන්න ලැබුණු පළමු අවස්ථාව වගේම පළමු අවස්ථාවේම ඇමරිකාවට යාමට අවස්ථාව හිමිවුණේ සමුද්‍රවිජය නෞකාවේ කාර්ය මණ්ඩලය හා සම්බන්ධවීමට ලැබුණු නිසයි. ඒ ගැන බෙහෙවින් සතුටු වෙනවා. 
මට මේ නෞකාවේ පැවරිලා තිබුණු වගකීම වන්නේ සහාය විනය පාලක තනතුරයි. මට වඩා ජ්‍යෙෂ්ඨ නිලධාරියකුත් සිටිනවා. ඇමරිකාවේ සිට මෙරටට පැමිණෙන තුරු නෞකාවේ සිටින නාවිකයන් නිසි ලෙස රාජකාරියේ යෙදවීම හා ඔවුන්ගේ සුබාසාධන කටයුතු සහ විනය පවත්වාගෙන යමින් නාවික හමුදාවේ දීර්ඝතම මුහුදු සංචාරය සාර්ථක කරගන්න මම දායක වුණා.
දීර්ඝ දින ගණනක් පළමුවරට ගමන් කළ නාවිකයනුත් මෙම ගමනට එක්වී සිටියා. ඔවුන්ගේ කැපවීම මත නිසි පරිදි කළමනාකරණය කරගෙන මෙම ගමන සාර්ථක කරගන්න අපට අවස්ථාව උදා වුණා.
 
දෝෂවලින් තොරව ගෙන ආවා - සමූහ උපනිලධාරී, එස් එම්. එස්.කේ. සමරකෝන්
 
මෙම නෞකාවේ විදුලි හා විද්‍යුත් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නාවිකයෘ ලෙස තමයි මම සේවය කරන්නෙ. මට පැවරුණ රාජකාරිය වුණේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු නිලධාරීතුමාගේ මගපෙන්වීම යටතේ නෞකාවේ අක්‍රියව පැවති සියලු විදුලි පද්ධති සක්‍රීය තත්ත්වයට පත්කර ගැනීමයි. මේ කටයුත්ත සඳහා අපි ඇමරිකාවට ගිහින් මාස 4ක පමණ කාලයක් සේවය කළා. එහිදී ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදා විදුලි කාර්මික නාවිකයන්ගේ සහාය හිමිවුණා. නාවික හමුදාවෙන් අපට හැදෑරීමට අවස්ථාව ලබාදුන් විවිධ විදුලි පාඨමාලාවල දැනුම හා අපිට ලබාදී තිබුණු අත්දැකීම් උපයෝගී කරගෙන අක්‍රීයව පැවති සියලු විදුලි පද්ධති සක්‍රීය කරගන්න අවස්ථාව හිමි වුණා. විශේෂයෙන් මම මීට පෙරත් නෞකාවල විදුලි අංශයේ සේවය කර ලබා තිබුණු අත්දැකීම් මෙතනදි බෙහෙවින් ඉවහල් වුණා.
 
මෙතනදි අපිට තිබුණ ප්‍රධානතම අභියෝගය කිසිදු දෝෂයකින් තොරව ඇමරිකානු එක්සත් ජනපදයේ සිට ලංකාවට නෞකාව රැගෙන ඒමයි. අණදෙන නිලධාරිතුමා, විධායක නිලධාරීතුමා ප්‍රමුඛ ලැබුණු උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක කරලා සාර්ථකව එම කටයුත්ත ඉටුකරන්න හැකිවුණා. 
අපි එනවිට සාගර 3ක් පසුකළා. සමහර අවස්ථාවල නෞකාවක් යාත්‍රා කිරීමටත් අපහසු කාලගුණික තතත්ත්ව යටතේ යත්‍රා කරන්න සිදුවුණා. අණදෙන නිලධාරීතුමා සහ විධායක නිලධාරිතුමාගේ මගපෙන්වීම සහ මෙහෙයවීම යටතේ අපිට සාර්ථකව මේ ගමන අවසන් කරන්න අවස්ථාව උදා වුණා.’’ 
 
දැනුම හා පන්නරය - සමූහ ප්‍රධාන සුළු නිලධාරී පී.එස්. සඳරුවන්
 
‘‘මම ඉංජිනේරු දෙපාර්ත්මේන්තුවේ ජ්‍යෙෂ්ඨතම ඉංජිනේරුවා ලෙස කටයුතු කරනවා. අපට තිබුණ ප්‍රධානතම අභියෝගය වුණේ නෞකාවේ සියලු යන්ත්‍ර සූත්‍ර නැවත ක්‍රියාකාරී තත්ත්වයට පත්කිරීම සහ උපරිම කාර්යක්ෂමතාවෙන් පවත්වාගෙන යමින් ඇමරිකා එකසත් ජනපදයේ සිට මෙරටට රැගෙන ඒමයි. අපේ නෞකාවේ අණදෙන නිලධාරීතුමාත්, විධායක නිලධාරිතුමාත්, ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු නිලධාරිතුමාත් මගෙ දෙපාර්තමේන්තුවේ අනෙකුත් නිලධාරීන් සහ නාවිකයන් සියලු දෙනා නාවික හමුදුවෙන් ලත් දැනුම හා පන්නරයෙන් ඇමරිකාවෙන් මෙරටට කිසිදු ගැටලුවකින් තොරව රැගෙන එන්න හැකිවුණා. 
 
ඇමරිකා එක්සත් ජනපදයේ සිට මෙරටට එන තෙක් දිවා රූ නොබලා පද්ධති ලෙස අවධානය යොමුකරගෙන ඇතිවූ යම් සුළු ගැටලු වලට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කළා. ඒ හරහා කිසිදු ගැටලුවකිත් තොරව අපට ශ්‍රී ලංකාව වෙත නෞකාව රැගෙන එන්න අවස්ථාව උදා වුණා.’’
 
අනාගතයට වැදගත් - නාවික නැව් ආර්.ඩී.ආර්.පී. රාජමුණි
 
මම මේ නෞකාවේ මාලිමා නියමු නිලධාරී යටතේ මාලිමා නියමු. දෙපාර්තමේන්තුවේ තමයි රාජකාරි කරන්නෙ. අපි පළමු වතාවටයි ඇමරිකාවේ සිට නෞකාවක මෙරටට ගමන් කළේ. ගොඩක් අත්දැකීම් ලැබුවා. මාලිමා නියමු දෙපාර්තමේන්තුව යටතේ සිතියම්ල රේඩාර් සමග කටයුතු කරන්න ලැබුණා. මෙතනදි කිවයුතු විශේෂම කාරණය තමයි බොහෝ දේවල් ඉගෙ ගන්න ලැබුණු එක. ඒ දැනුම අපට ගොඩක් වටිනවා. ඒ වගේම රට රටවල්වලට යන්න පුළුවන් වුණා.
 
ඉතා රළු මුහුදු අත්දැකීම් එක්ක මෙහිදී අපිට වැඩකරන්න සිදුවුණා. විශේෂයෙන් මෙවැනි කාලගුණික තත්ත්වයන් එක්ක එක දිගට දින 12ක් යාත්‍රා කළ අවස්ථා තිබුණා. ඇත්තටම අපි ලබාගත් මේ අත්දැකීම්  ගොඩක් වැදගත් වුණා වගේම ඉදිරියේදී නාවික හමුදාව සමග සම්බන්ධවෙන පිරිසටත් ගොඩක් වැදගත් වේවි.
 
ආරක්ෂාකාරියි - නාවික සංඥා, චන්දන ප්‍රදීප් අබේකෝන්
 
‘‘කිසියම් නෞකාවකින් හෝ ආයතනයකින් ලැබෙන සංඥා නිලධාරීන් වෙත ලබාදී ගත යුතු පියවර ගැනීම මෙන්ම අපේ නෞකාවෙන් වෙනත් නෞකාවලට ලබාදිය යුතු පණිවිඩ හුවමාරු කරන්නෙ අපි විසිනුයි 
 
අප මේ පණිවුඩ හුවමාරුව වඩාත් පහසුවෙන් සිදුකර ගැනීමට අවකාශ සැලසුණේ ඇමරිකාවෙන් නැවට සවිකළ GMDSS කියන සිස්ටම් එක හරහා හැකිවුණා. සැටලයිට් හරහා ක්‍රියාත්මක වෙන මෙම සිස්ටම් එක හරහා සුළි සුළං, අනතුරු මේ හරහා හඳුනාගන්න හැකිවුණා. විශේෂයෙන් හවායි දූපත හරියෙ ලොකු කුණාටුවක් තිබුණා. නමුත් අපට එය මගහැරගෙන යන්න GMDSS කියන සිස්ටම් එක ගොඩක් ඉවහල් වුණා. එවැනි අනතුරු හඳුනාගැනීමෙන් පසු අපේ නිලධාරීන්ට ඒ පිළිබඳව දැනුම්දීමෙන් පසු ඒවා මගහරවා ගැනීමට අවශ්‍ය පියවර ගනු ලැබුවා. ඒ වගේම ස්ටාර්ලින්ක් හරහා නාවික හමුදා ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය සමග සම්බන්ධතාව පවත්වාගෙන යන්න කටයුතු කළා. මේ නෞකාව නූතන තාක්ෂණයෙන් උපරිම ලෙස සන්නද්ධව පවතින්නක්. ඒ නිසා ආරක්ෂාකාරීව ඕනෑම සාගරයක් පසුකර ගමන් කිරීමේ හැකියාව පවතිනවා.’’
විශේෂ ස්තූතිය - නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ, කමාන්ඩර්  බුද්ධික සම්පත් 
 
නිරෝෂාන් ප්‍රේමරත්න