ධවල මන්දිරය යනු ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ නිල නිවහනය.

“උඩුගුවනේ ධවල මන්දිරය” යනු ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ නිල ගුවන්යානයයි.

මේ උඩුගුවනේ ධවලමන්දිරය මේ වනවිට අලු‍ත් වී ඇත . ලෝකෙට ලොක්කා වන ඇමෙරිකන් ජනාධිපතිවරයා ලෝකයේ කොතැන ගියත්, ඔහු රැගෙන යන ඒ සුවිශේෂී නිල ගුවන්යානය “එයාර් ෆෝස් වන්” ය. මෙය ඇමෙරිකාවේ ආර්ථික සහ හමුදා බලයේ සජීවී සංකේතයයි .

එයාර්ෆෝස් වන් - යුද මෙහෙයුම් මධ්‍යස්ථානයක්, සුඛෝපභෝගී හෝටලයක් හා සන්නිවේදන ජාලයක් එකට ආබද්ධ කෙරුණු ගුවන් යානයකි. සරලව කීවොත්, පියසැරි බළකොටුවකි. ධවලමන්දිරයේ ඇමෙරිකන් ජනාධිපතිගේ කාර්යාලය“ඕවල් කාර්යාලය”යි. එයාර්ෆෝස් වන් ගුවන්යානය තුළ ද ඕවල් කාර්යාලයක් ඇත.

එයාර්ෆෝස් වන් ආරක්ෂාව අතින් අංක එක වෙයි. ලොව මිල අධිකම සහ රහස්ම ගුවන්යානය ලෙස සැලකෙන්නේ මෙයයි. දශක ගණනාවක් එක දිගට ඇමෙරිකන් ජනාධිපතිවරුන් පස් දෙනකු භාවිතයට ගත් එයාර් ෆෝස් වන් යානය පසුගිය දා විශ්‍රාම ගිය අතර, ඊට සමගාමීව වත්මන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නවතම එයාර්ෆෝස් වන් ගුවන් යානය ඇමෙරිකානුවන්ට පමණක් නොව මුළු ලොවටම හඳුන්වා දුන්නේය.

මෙම නව ගුවන්යානය විශ්‍රාම යැවුණු එයාර්ෆෝස් වන් ගුවන්යානය මෙන් නොව, යාවත්කාලීන කළ සියලු‍ පහසුකම්වලින් සමන්විත දැවැන්ත යානයකි. මෙම යානය ට්‍රම්ප්ට විදේශයකින් ලැබුණු ත්‍යාගයකි. ධුරයේ සිටියදී ඇමෙරිකන් ජනාධිපතිවරයකුට ලැබුණු වටිනාම ත්‍යාගය මෙයයි. ගුවන්යානය ට්‍රම්ප්ට තෑගි කළේ මැදපෙරදිග කලාපයේ සිටින ඇමෙරිකාවේ සමීපතම මිතුරකු වන කටාර් රාජ්‍යයයි.

දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ, ඇමෙරිකන් ජනාධිපතිවරුන් භාවිතයට ගත්තේ - නිල් සහ සුදු වර්ණ ගැන්වූ එයාර් ෆෝස් වන් ගුවන් යානයයි. මෙය ඇමෙරිකාවේ බෝයිං ගුවන්යානා නිෂ්පාදන සමාගමේ බෝයිං 747 ගුවන්යානයකි. මෙම යානය භාවිතයට ගත් ඇමෙරිකන් ජනාධිපතිවරුන් වන්නේ ජෝර්ජ් .ඩබ්ලිව්. බුෂ්, බිල් ක්ලින්ටන්, බැරැක් ඔබාමා, ජෝ බයිඩන් සහ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ය. ඒ අනුව නිල් සහ සුදු වර්ණ ගැන්වූ එයාර්ෆෝස් වන් යානය විශ්‍රාම යැවීම සිදුවූයේ මහත් අභිමානයකිනි. නවතම එයාර්ෆෝස් වන් ගුවන්යානය බෝයිං 747-8 වර්ගයේ යානයකි. ඇමෙරිකන් ඩොලර් මිලියන 400 ක් වටිනා මෙම යානය, වර්ණ ගන්වා ඇත්තේ ට්‍රම්ප්ගේ අභිමතය අනුවය. තද කළු නිල් පටියක් සහ රතු පටියක් එහි දකින්න ලැබේ. රන්වන් කවයක් තුළ ඇමෙරිකන් ජනාධිපතිගේ නිලලාංඡනය දැකිය හැකිය.

තෑගි ලෙස ලැබුණු යානය, නවීකරණය කිරීම සහ අවශ්‍ය ලෙස වෙනස්කම් කිරීම සිදුවූයේ ඇමෙරිකාවේ ඇන්ඩෲස් ගුවන්හමුදා කඳවුරේ විශේෂ අංගයක් තුළ දීය. පසුගිය දා යානය එළිදැක්වීම ද එම අංගණයේදීම සිදුවිය. “මේ යානය ඉදිකළ අවස්ථාවේ මෙය සැලකුණේ ලෝකයේ වටිනාම සහ සැපපහසුව වැඩිම ගුවන් යානය විදියටයි. ලෝකයටම මෙවැනි ගුවන්යානා තියෙන්නේ එකයි. දැන් ඒක තවත් නවීකරණය වෙලා. ඇමෙරිකන් ජනාධිපතිගේ ගුවන්යානය බවට පත් වෙනවා” යැයි නවතම එයාර්ෆෝස් වන් ගුවන්යානය එළිදක්වමින් ජනාධිපති ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැවැසුවේ මහත් ආඩම්බරයෙනි.

විශ්‍රාම යැවුණු එයාර්ෆෝස් වන් බෝයිං වී.සී.25ඒ යානය, ඇමෙරිකන් ජනාධිපති නිල ගුවන්යානය බවට පත්වූයේ 1990 දීය. විශ්‍රාම යද්දී ගුවන් යානය වසර 36කට වැඩිය පැරැණිය. ගුවන්යානයක් වසර 36 ක් පැරැණියි නම් එය පුරාවස්තුවක් වැනිය, භාවිතයට සුදුසු නොවෙයි. පසුගිය කාලය පුරා ඩිමොක්‍රටික්වරුන් සහ රිපබ්ලිකන්වරුන් පොදුවේ එකඟ වූ කරුණක් නම්, එයාර් ෆෝස් වන් සඳහා අලු‍ත් ගුවන්යානයක් අවශ්‍ය බවය. 2018 දී එයාර්ෆෝස් වන් සඳහා අලු‍ත්යානයක් භාවිතයට ගැනීම වෙනුවෙන් අවශ්‍ය සැලැසුම් සකස් කෙරුණත්, එය අවුල් ජාලයක් විය. බෝයිං සමාගම ඇමෙරිකන් ඩොලර් බිලියන 3.9 ක ගිවිසුමකට අත්සන් තැබීය. ඒ, අලු‍ත් පරම්පරාවේ ගුවන් යානා දෙකක් එයාර්ෆෝස් වන් ලෙස ලබා දෙන පොරොන්දුව යටතේය.

එම ගුවන්යානා මීට වසර ගණනකට පෙර නිපදවා අවසන් කළ යුතුව තිබුණි. කෙසේ නමුත්, එම ව්‍යාපෘතිය දිනෙන් දින කල් ගියේය. ප්‍රමාදයත් සමග නිෂ්පාදන වියදම ඉහළ ගියේය. අද වනවිට එම ගුවන්යානා නිපදවීමට වැයවන මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන5 පසු කර ඇතැයි පැවැසෙයි. එම යානා නිපදවා අවසන් වනු ඇත්තේ 2027 සහ 2028 යන වසරවල දීය. ඒත් ට්‍රම්ප්ගේ දෙවැනි මෙන්ම අවසන් ධුර කාලය ඒ වනවිට අවසන් වන බැවින් ට්‍රම්ප්ට එම ගුවන්යානා එයාර් ෆෝස් වන් භාවිතයට ගැනීම නොහැකි වෙයි.

ධවල මන්දිරය අලු‍ත් එයාර්ෆෝස් වන් ගුවන්යානයක් සඳහා විකල්ප සොයද්දී, කටාර් රාජ්‍යය ඊට මැදි විය. කටාරය තෑගි වශයෙන් ට්‍රම්ප්ට දුන් යානය සැබැවින්ම සුවිශේෂී එකකි. මෙම යානය බෝයිං සමාගම නිපදවා ඇත්තේ 2012 දීය. මෙය ද අවුරුදු 14 ක් පැරණිය. ඒත් විශ්‍රාම යැවුණු එයාර් ෆෝස් වන් යානයට වඩා මෙම බෝයිං 747-8 යානය අලු‍ත්ය. මීට පෙර මෙම ගුවන්යානය කටාර් රාජකීය ගුවන්හමුදාවේ සුඛෝපබෝගී ගුවන්යානයක් විය. එය නිර්මාණය කර තිබුණේ පියාඹන රජමාලිගයක් ලෙස සියලු‍ සැප සම්පත්වලින් පරිපූර්ණවය. කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි, මෙම යානය ට්‍රම්ප්ට තෑගි කළේ හොඳහිත පෙන්වීමක් ලෙසය.

ඇමෙරිකන් ගුවන්හමුදාව පවසා ඇත්තේ ඔවුන් කටාරයෙන් තෑගි ලැබුණු ගුවන්යානයේ ඇතුළත සම්පූර්ණයෙන් වෙනස් කරමින් නවීකරණය කළ බවය. ඒ එය ඇමෙරිකා ජනාධිපතිවරයාට සුදුසු පරිදි ආරක්ෂක බළකොටුවක් බවට පරිවර්තනය කරමිනි. අති නවීන තාක්ෂණය යානය සතුය. නවීන ප්‍රහාරක පද්ධතියක් සහ ප්‍රහාරවලින් ආරක්ෂා වීමේ ආරක්ෂක පද්ධතියක් ද යානය සතුය. නවීකරණ කටයුතු සඳහා වෙන් කළ මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 934 ක් බව පැවැසෙයි.

ලු‍සිත ජයමාන්න
සී.එන්.එන්. ඇසුරිනි