IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


ප්‍රේමදාස මහත්තයා නැගිටින්න එපා කියද්දී නැගිට්ට උපාලිට වෙච්ච දේ

 

ප්‍රවීණ ආලෝකකරණ ශිල්පී උපාලි වීරසිංහ මහතාගේ වෘත්තීය ජීවිතයේ රස මතක රැසක් අපි පසුගිය සති හතරක කාලයේ දී ගෙන ආවෙමු. අද එම මතක ගොන්නේ අවසන් කොටසයි. 

අපි පසුගිය සති හතර පුරා කතාකළේ ඔබට කලාකරුවන් සමග ඇති මතක ගැන. දේශපාලනඥයන් සමගත් එවැනි මතක ඇති නේද? 


ඔව්. ප්‍රේමදාස මහත්තයා ගැන එවැනි මතක රැසක් තියෙනවා. කතරගම පවත්වපු ගම් උදාව ඒ අතරින් විශේෂ මතකයක්. සෑම ගම් උදාවකම සංස්කෘතික අංග යටතේ වේදිකා නාට්‍ය පෙන්නුවා. කතරගම ගම් උදාවෙදි පෙන්නපු මනමේ නාට්‍යය බලන්න ප්‍රේමදාස මහත්තයත් ඇවිත් හිටියා. වේදිකා ආලෝකකරණය මෙහෙයවන්න සකස් කරලා තිබුණු තැන වේදිකාවට සෑහෙන පහළින් පිහිටා තිබීම ගම් උදාවෙදි මට මුහුණ දෙන්න වුණු විශාල ප්‍රශ්නයක්. 


ඒ නිසා නාට්‍ය වේදිකාවෙ රඟ දැක්වෙනකොට අවස්ථා කිහිපයකදිම වාඩිවෙලා හිටපු පුටුවෙන් මට නැගිටින්න සිද්ධ වුණා. ඔහොම දෙපාරක් විතර නැගිටිනකොට ප්‍රේමදාස මහත්තයා අබේවර්ධන බාලසූරිය අතේ පණිවිඩයක් එව්වා මට නැගිටින්න එපා කියලා. අබේවර්ධන, ප්‍රේමදාස මහත්තයට බොහොම හිතවත්ව සිටි කලාකරුවෙක්. ප්‍රේමදාස මහත්තයා ගම් උදාවට එන බොහෝ අවස්ථාවල අබේවර්ධනත් එතුමා සමග එනවා. නැගිටින්න එපා කියලා පණිවිඩය එව්වෙ මම එහෙම නැගිටිද්දි ප්‍රේක්ෂකාගාරයට බාධා වෙන නිසා. 


අබේවර්ධන ගෙනාව පණිවිඩයෙන් පස්සෙ ඔබ පුටුවෙන් නැගිට්ටෙ නැද්ද? 


අබේවර්ධන පණිවිඩය දුන්නු වෙලාවෙම මම ඔහුට කිව්වා නාට්‍යය ඉවර වෙන්න කලින් තව දෙපාරක් මට පුටුවෙන් නැගිටින්න වෙනවා කියලා. එහෙම නැගිටලා වේදිකාව බලන්නෙ නැතුව මගේ රාජකාරිය කළ නොහැකි බවත් මම කිව්වා. කිව්වා වගේම පුටුවෙන් නැගිටලා වේදිකාව බලලා මම මගේ රාජකාරිය කළා. එතකොට ප්‍රේමදාස මහත්තයා අබේවර්ධන අතේ නැවතත් පණිවිඩයක් එව්වා නාට්‍යය ඉවර වුණාට පස්සෙ මට එතැනින් ඉවත් වෙන්න එපා කියලා. තමන් වේදිකා ආලෝකකරණය මෙහෙයවන ස්ථානයට එන බවත් එතුමා කියලා තිබුණා. 


මනමේ අවසන් වුණාට පස්සෙ ප්‍රේමදාස මහත්තයා ඔබ සිටි තැනට ආව ද? 


ඔව්. ප්‍රේමදාස මහත්තයා ආවෙ අබේවර්ධන එක්කමයි. මගේ ළඟට ඇවිත් එතුමා ඇහුවා ‘මම එපා කියද්දිත් නැගිට්ටෙ ඇයි’ කියලා. මම එතකොට ප්‍රේමදාස මහත්තයට පෙන්නුවා වේදිකා ආලෝකකරණ කටයුතු මෙහෙයවන්න තියෙන තැන. එතැන වේදිකාවට වඩා ගොඩක් පහළින් තියෙන නිසා වේදිකාව නොපෙනෙන බවත් වේදිකාව නොපෙනී වේදිකා ආලෝකකරණ කටයුතු කළ නොහැකි බවත් මම ප්‍රේමදාස මහත්තයට කිව්වා. 


ප්‍රේමදාස මහත්තයා මොකද කළේ ඒ වෙලාවේ? 


එතුමා මම වේදිකා ආලෝකකරණ කටයුතු කරපු තැනට බැස්සා. එතකොට ප්‍රේමදාස මහත්තයට තේරුණා මම කියපු කාරණය. ආපහු උඩට ඇවිත් එතුමා කිව්වා ‘උපාලි කියන කතාව හරි’ කියලා. මේක විසඳන්න කරන යෝජනාව මොකක් ද කියලත් ප්‍රේමදාස මහත්තයා මගෙන් ඇහුවා. මම එතකොට කිව්වා, ප්‍රේක්ෂකයින්ට බාධා නොවෙන විදිහට ප්‍රේක්ෂකාගාරය පැත්තකින් වේදිකාව හොඳින් පෙනෙන විදිහට ප්ලැට්ෆෝම් එකක් ගහන්න කියලා. ඒ වෙනකොටත් ශබ්ද පරිපාලනය හසුරුවන්න ඒ විදිහට ෆ්ලැට්ෆෝම් එකක් ගහලා තිබුණේ. 


ශබ්ද්‍ පරිපාලනය හසුරුවන්න ගහලා තියෙන ෆ්ලැට්ෆෝම් එක වගේම තවත් එකක් ගහන්න කියන යෝජනාව මම කළේ. මම එහෙම කිව්වට පස්සෙ ප්‍රේමදාස මහත්තයා එතැන හිටපු එවකට ඉංජිනේරු සංස්ථාවෙ සභාපති වුණු ජයතිලක මහත්තයට කතා කළා. ‘ඊළඟ ගම් උදාවේ පටන් උපාලි කියපු විදිහට වෙන්න ඕනෑ’ කියලා ඔහුට කිව්වා. කියපු විදිහටම ඊළඟ ගම් උදාවේ පටන් අවසන් ගම් උදාව වෙනකම්ම මම යෝජනා කරපු විදිහට ප්ලැට්ෆෝම් එක ගහලා තිබුණා. 


මොනවද ප්‍රේමදාස මහත්තයා ගැන තියෙන අනෙක් මතක? 


ගම් උදාවෙදි ජනක් ප්‍රේමලාල්ගෙ ‘‘රාජ කපුරු’’ නාට්‍යය පෙන්වද්දිත් හරිම ලස්සන වැඩක් වුණා. ජනක්ගෙ සෑම වේදිකා නාට්‍යයකම වේදිකා ආලෝකකරණය කළෙත් අදටත් කරන්නෙත් මගේ ආයතනයෙන්. රාජ කපුරු නාට්‍යය අන්තර්ගතයේ තියෙන්නේ පඹයෙක් රජ කරවන හැටි ගැන. එදා ගම් උදාවෙදි නාට්‍යය රඟ දක්වන්න විනාඩි කිහිපයක් ඉතිරිවෙලා තියෙද්දි ප්‍රේමදාස මහත්තය ඇවිත් වාඩිවුණා නාට්‍යය බලන්න. 


ප්‍රේමදාස ඉස්සරහා පඹයෙක් රජ කරවන්නෙ කොහොම ද කියලා ජනක් වගේම රංගන ශිල්පීනුත් ඒ වෙලාවෙ යම් අපහසුතාවයකට පත්වුණා. ඒ අපහසුතාව යටපත් කරගෙන තමයි නාට්‍යය වේදිකාගත කළේ. හැබැයි ප්‍රේමදාස මහත්තයා හිනා වෙවී නාට්‍යය හොඳින් රස වින්දා. නාට්‍යය අවසන් වුණාට පස්සෙ එතුමා ජනක් ළඟට ගියා. ඒ වගේම සියලුම රංග ශිල්පීන් ළඟටත් ගියා. ඒ හැමෝටම සුබ පතලා තමයි ප්‍රේමදාස මහත්තයා පිටව ගියේ. 


ප්‍රේමදාස මහත්තයා ගැන අපූරු කතා ටිකක්නේ තියෙන්නේ. තව  තියෙනව ද? 


ඔව්. ප්‍රේමදාස මහත්තයා අරිසෙන් අහුබුදු සූරීන් සමග බොහොම හිතවත්ව හිටිය බව හැමෝම දන්න කාරණයක්. අහුබුදු සූරීන්ගෙ ‘‘සක්විති රාවණ’’ වේදිකා නාට්‍යයේ වේදිකා ආලෝකකරණය කළේ මම. ‘පොම්බුලේ මගේ පොම්බුලේ’ කියන ජනප්‍රිය ගීතය ඇතුළත් වෙන්නේ සක්විති රාවණ වේදිකා නාට්‍යයේ. සක්විති රාවණ, ජෝන් ද සිල්වා රඟහලේ වේදිකා ගතකළ දවසක සවස තුනයි තිහ දර්ශනය නරඹන්න ප්‍රේමදාස මහත්තයා ආවා. 


ඒ වෙලාවෙ අහුබුදු සූරීන්ගෙ බිරිඳ සඳා, එතැන හිටියේ නැහැ. ප්‍රේමදාස මහත්තයා අහුබුදු සූරීන්ගෙන් ඇහුවා කෝ බිරිඳ කියලා. අහුබුදු සූරීන් එයට උත්තර දුන්නා ‘ඇය එන්නේ හවස හයයි තිහ දර්ශනය පටන් ගන්න වෙලාවට’ කියලා. අහුබුදු සූරීන් කිව්ව විදිහටම හවස හයයි කාලට විතර ඔහුගෙ බිරිඳ ජෝන් ද සිල්වා රඟහලට ආවා. එතකොට අහුබුදු සූරීන් ඇයට කිව්වා ‘සඳා ඔබ ගැන තතු උතුමන් මගෙන් විමසුවෙහිය’ කියලා. 


ඔබ ජනතා විමුක්ති පෙරමුණේ  ‘විමුක්ති ගී’ ප්‍රසංගයේත් වේදිකා ආලෝකකරණය කළා නේද? 


විමුක්ති ගී ප්‍රසංග විශාල ප්‍රමාණයක වේදිකා ආලෝකකරණය කළේ මම. නමුත් මම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. මම කළේ මගේ රැකියාව. එයට අදාළ ගාස්තුව ඔවුන් මට ගෙව්වා. අනුරාධපුරේ පැවැත්වුණු විමුක්ති ගී ප්‍රසංගයකට රෝහණ විජේවීර ගියේ අපි ගිය බසයෙන්මයි. වේදිකා ආලෝකකරණ උපකරණ, ශබ්ද්‍ පරිපාලන උපකරණ සමග ප්‍රසංගයට සහභාගී වෙන පිරිස ගමන් කළේත් එකම බසයේ. 


එදා කොළඹ සිට අනුරාධපුරයට යනකන්ම මට විජේවීර සමග එකම ආසනයේ වාඩිවෙලා යන්න අවස්ථාව ලැබුණා. එහෙම යන ගමන් මම විජේවීරගෙන් ඇහුවා ‘සහෝදරයා, ලංකාවෙ ක්‍රියාත්මක කරන්න හදන සමාජවාදී දර්ශනය සැබවින්ම ක්‍රියාත්මක වෙන ලෝකයේ වෙනත් රටක් තියෙනව ද’ කියලා. ‘ඔය දර්ශනයෙන් දියුණු වුණු රටක් තියෙනව ද’ කියලත් මම ඇහුවා. ඊට පස්සෙ විජේවීරයි මමයි අතරේ විශාල සංවාදයක් ඇති වුණා. අන්තිමට අනුරාධපුරයට කිට්ටු වෙනකොට විජේවීර මට කිව්වා ‘සහෝදරයත් එක්ක කතා කරලා වැඩක් නැහැ, සහෝදරයා ධනපති අරටුවක්’ කියලා. 


ඊට පස්සෙ විජේවීරව මුණගැහුනෙ නැද්ද? 


විමුක්ති ගී ප්‍රසංගවලදි මුණගැහිලා තියෙනවා. මුල් කාලෙ විමුක්ති ගී ප්‍රසංගවලට අපිත් එක්ක බස් එකේ ගිය විජේවීර පසුකාලේ ආවේ පෞද්ගලික වාහනයක. එහෙම පෞද්ගලික වාහනයක ආපු දවසක මම විජේවීරගෙන් විහිළුවට ඇහුවා ‘සහෝදරයගෙ සමාජවාදයට මොකද වුණේ’ කියලා. හිනහා වුණා මිසක් විජේවීර ඒකට උත්තරයක් දුන්නෙ නැහැ. 


එතකොට මොකක්ද මේ රනිල් වික්‍රමසිංහ මද්දල් ගහපු කතාව? 


ඔය සිදුවීම වෙන තැන නම් මම හිටියේ නැහැ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් තමයි ඔය කතාව මට කිව්වේ. සරච්චන්ද්‍ර මහත්තයා ‘මනමේ’, ‘සිංහබාහු’ නාට්‍ය නිර්මාණය කරන මුල්  කාලේ එතුමට ගොඩක් උදව් කරලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ අම්මා, නාලනී වික්‍රමසිංහ මහත්මිය. සරච්චන්ද්‍ර මහත්තයා මනමේ, සිංහබාහු නිර්මාණය කරද්දි ගුරුහරුකම් ගත්තෙ චාර්ලිස් සිල්වා ගුරුන්නාන්සෙගෙන්. චාර්ලිස් සිල්වා ගුරුන්නාන්සෙ ශෛලීගත නාට්‍ය සම්ප්‍රදාය ගැන ප්‍රාමාණික විද්වතෙක්. චාර්ලිස් සිල්වා ගුරුන්නාන්සේ පදිංචි වෙලා හිටියෙ බළපිටියේ.


මනමේ, සිංහබාහු මූලික නිර්මාණ කටයුතු කරන කාලේ චාර්ලිස් සිල්වා ගුරුන්නාන්සෙ කොළඹ ආපුවහම සරච්චන්ද්‍ර මහත්තයයි චාර්ලිස් සිල්වා ගුරුන්නාන්සෙයි හමුවෙලා තියෙන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ මහ ගෙදරදි. ඔවුන්ට පහසුකම් සපයලා තියෙන්නෙ නාලනී වික්‍රමසිංහ මහත්මිය. දවසක් නිර්මාණ කටයුතු කරන අතරේ නාලනී වික්‍රමසිංහ මහත්මිය, සරච්චන්ද්‍ර මහත්තයවයි චාර්ලිස් සිල්වා ගුරුන්නාන්සෙයි ගේ ඇතුළට එක්කරගෙන ගිහින් තියෙනවා තේ දෙන්න. තේ බීලා ඇවිත් බලද්දි මද්දලය තිබුණු තැනින් අතුරුදන් වෙලා. ටික වෙලාවක් යද්දි ගේ අස්සෙන් මද්දල් සද්දයක් ඇහෙන්න පටන් අරන්. සද්දෙ ඇහෙන තැනට ගිහින් බලද්දි රනිල් මද්දලය ගහනවලු. ඔය කියන කාලෙ රනිල් පුංචි දරුවෙක්.

 

■ උත්පල දිසානායක 



අදහස් (0)

ප්‍රේමදාස මහත්තයා නැගිටින්න එපා කියද්දී නැගිට්ට උපාලිට වෙච්ච දේ

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3797 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 47 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1477 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 463 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 170 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 276 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 370 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1767 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1598 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site