ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ සිදුවන චාරිත්‍ර අතර සුවිශේෂිත වූ නමස්කාරයක් ලෙස “නව වැඳුම් වැඳීම” සැලකිය යුතු නමස්කාරමය චාරිත්‍රයකි. කපු පරම්පරාවේ නව කපු මහතකු දේව මාලිගයට ගෙවැදීමේ දී සහ නව බස්නායක නිලමේවරයකු දේව මාලිගයට ගෙවැදීමේ දී මෙම චාරිත්‍රය දැකිය හැකි අතර සෑම වසරකදීම අප්‍රේල් මාස 14 වැනි දින අවුරුදු මංගල්‍යය සඳහා දැකුම් කියවීමේ චාරිත්‍ර කියවීමට පෙර කපුමහතුන් තුන් දෙනකු විසින් මෙම නව වැඳුම් වැඳීම දැකිය හැකි එකම අවස්ථාවයි.
 
පසුගිය (31) වැනි දින රුහුණු මහා කතරගම දේවාලයේ 13 වැනි නව බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මදුසංක නිලමේවරයා සිය නිලයේ උත්තරීතරම වූ චාරිත්‍රය ඉටු කර සිය කන් විද නව වැඳුම් වැඳ දේව මාලිගයට ගෙවැදීමේ චාරිත්‍රය ඉටු කරන ලදී. මෙම චාරිත්‍රයේ ජනතාවට දැකිය හැක්කේ කන් විදීමත් නව (09) වැඳුම්  වැඳීමත් පමණි. දෙවියන් වැඩ සිටින ඇතුළු මාලිගාවට යෑමට පෙර දෙවියන්ගේ රූප ඇති තිරයට දොහොත් මුදුන් දී අවසරය ගන්නා  නිලමේවරයා දේව මාලිගයට කපු මහතුන් කැඳවා ගෙන යනු ලබයි.
 
එම චාරිත්‍ර ඉටු කිරීමෙන් පසුව දෙවියන්ගේ දේව දානය සකස් කරන මුළු තැන් ⁣කුටියටද කපු මහතුන් විසින් බස්නායක නිලමේවරයා කැඳවා ගෙන ගොස් රහසේ චාරිත්‍රයක් ද ඉටු කරති. රුහුණු මහා කතරගම දේවාලයේ දෙවියන් වෙනුවෙන් මෙම වැඳීම සිදු කිරීම අතීතයේ පටන් සිදු වන අතර නාසය, නළල, දෙඅත්, පපුව, දණහිස් දෙක, දෙපතුල් දෙක යන ශරීරයේ නව පෙළක් බිම ගෑවෙන ලෙස දොහොත් මුදුන් දී මෙම වැඳීම සිදු කරති. මෙම වැඳීම සම්බන්ධව රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල ටී. රත්නායක මෙසේ සඳහන් කළේය.
 
“අපි අවුරුදු මංගල්‍ය පෙරහර අවසන් කරලා දුටුගැමුණු මහ රජතුමා දෙවියන්ට පූජා කළ මාල මහජනයාට පෙන්වනවා. එයට කියන්නේ දැකුම් කියලා. මාල නමයේ නම් - මහදම්වැල්මාල. පුසාදම්වැල්මාල. හීන් පදක්කම් මාලය. වරමල්මාලය. මහා පදක්කම්මාලය. මල්මල් මල්දම්මාලය. වරාමල්, දම්වැල් මාල යන ඓතිහාසික පුරාවස්තු මාල පෙන්වා මෙම චාරිත්‍රය ඉටු කරනවා. මෙම නව වැඳුම් වැඳීම මේ වනවිට දෙවියන් වෙනුවෙන් සිදු කරන ගෞරවනීය වැඳීමයි.” මෙම මාල 09 පිළිබඳව පැවසීම සඳහා දෙවියන්ගෙන් අවසරය ගැනීම සිදු කළ යුතුයි.”
 
එම නිසා මෙම නව වැඳීම සිදු කිරීමට දේවාලයේ පරම්පරික කපුවරු ක්‍රියා කරති. දකුණු කකුල ඉදිරියට තබා දණ්ඩ නමස්කාරයෙන් තුන්වරක් නැගිටීමකින් තොරව දණගසා වැඳීම් තුන්පාරක් වන අයුරින් මෙම වැඳීම සිදු කරති.
 
 
දේවාලයේ රහස් සුරැකීමට දිවුරුම් දීම
 
දුටුගැමුණු මහා රජතුමා විසින් පැන වූ රාජ්‍ය නියෝග නිසි ලෙස ඉටු කරන පුදබිමක් ලෙස හැඳින්විය හැකිය. කතරගම දේවාලයේ සිදු කරන බොහෝ චාරිත්‍ර අතර රහස් සුරැකීමත් පවත්වා ගෙන යෑමට කපු මහත්වරු ක්‍රියා කරති. දේවාලයේ ඇතුළු මාලිගයට රටේ ඉහළම නායකයාටවත් ඇතුළු වීමට නොහැකිය. එසේ වීමට නම් ඔහු බස්නායක නිලමේ තනතුරකින් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් පවත්වන නිලවරණයෙන් මොනරාගල දිස්ත්‍රිකයේ ප්‍රදේශීය ලේකම්වරුන් 11, කොටබෝව බස්නායක නිලමේ, කතරගම ශ්‍රී අභිනවාරාම විහාරාධිපති, කිරිවෙහෙර විහාරාධිපති, සෙල්ල කතරගම මහසෙන් විහාරාධිපති, වැඩසිටිකන්ද විහාරාධිපති සහ කතරගම දේවාලයේ වැඩ බලන බස්නායක නිලමේ යන අයගේ ඡන්දයෙන් පත් වන බස්නායක නිලමේ වරයකුට පමණක් සහ කපු පරපුරේ පියාගෙන් පුතාට පමණක් හිමි වන මෙම  උතුම් රාජකාරිය සතු රහස් දැනගත හැකිය. වෙනත් කිසිවකුටවත් මෙම රහස් දැන ගැනීමට නොහැකි වේ.            
 
දේවාලයට ගෙවැදීමට දිවුරුම් දීම කතරගම දේවාලයට ගෙවදින කපු මහතා මාස 03 කට ආසන්න කාලයක් සිය නිවසින් පවා වෙන් වී පේවීම සිදු කරති. පසුව පිරිත් පිං කමක් පවත්වා මහා සංඝරත්නයේ ආශීර්වාදය ඇතිව සුබ නැකතකින් මෙම ඇතුළු මාලිගයට ගෙවැදීම සිදුවේ. ගෙවදින කපු මහතාගේ කන් දෙක විද තෝඩු දෙකක් දමා නව වැඳුම් වන්දවා දේව තිරය වෙත පැමිණ දොහොත් මුදුන් දී ඇතුල් මාලිගයට කැඳවයි. මේ සම්බන්ධව අදහස් දැක් වූ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක පැවසුවේ දේවාලයට ගෙවදින කපු මහතා දෙවියන් ඉදිරියේ දේවාලයේ රහස් පිට නොකරන බවට දිවුරුම් දෙන බවත් එය කිසිම අයකුට දිවි ඇති තෙක් දේවාලය ගෙවදින කපු මහතා හෝ බස්නායක නිලමේවරයා හෙළි නොකරන බවත්ය. එම රහස් සුරකිමින් කතරගම දෙවියන් පෙරහරේ වැඩම වන විට දී එය විශේෂිත වූ තිරයකින් වසා ගෙන දෙවියන් වැඩම කිරීම සිදුවේ.
 
දේවාලයට ගෙවදීමට දිවුරුම් දීම කතරගම දේවාලයට ගෙවදින කපු මහත්නරු මාස 03 කට ආසන්න කාලයක් සිය නිවසින් පවා වෙන් වී පේවීම සිදු කරති. පසුව පිරිත් පිං කමක් පවත්වා මහා සංඝරත්නයේ ආශීර්වාදය ඇතිව සුබ නැකතකින් මෙම ඇතුළු මාලිගයට ගෙවැදීම සිදුවේ. ගෙවදින කපු මහතාගේ කන් දෙක විද තෝඩු දෙකක් දමා නව වැඳුම් වන්දවා දේව තිරය වෙත පැමිණ දොහොත් මුදුන් දී ඇතුල් මාලිගයට කැඳවයි.
 
  
ඉංග්‍රීසි යටත් විජිත යුගයේ දී රණබාහු ආරචිචි ප්‍රධාන කපු මහතා සිටි සමයේ දී දේවාලයට විජාතිකයන් ඇතුළු වීමට උත්සහ කර තිබේ. එදා සිටි රණබාහු කපු මහතා සුද්දන් ඉදිරියට පැමිණ මෙසේ පැවසීය. “මෙම මාලිගයට ඇතුළු වීමට අවසරය නොදෙන බැවින් යෑමට අවශ්‍ය නම් මා මෙම දෙවියන්ගේ මාලිගයට යන පිය ගැට පෙළ ඉදිරිපිට ගලේ ඔළුව ගසා ගෙන දිවි තොර කර ගන්නම්. එවිට ඔබට ඇතුළු මාලිගයට යන්නට හැකි වේවි.” මෙය පැවසීමෙන්‍් පසු සුද්දන් එම අදහස් අත්හැර ගිය බව දේවාල ඉතිහාසය කියාපයි.
 
මෙයට අමතරව ආර්. ප්‍රේමදාස ද 1985 දී දේවාලයට ඇතුළු වීමට අවසරය ඉල්ලා තිබුණත් එයටද කපු මහතුන් විරුද්ධවීම නිසා හිටපු ජනපති හිස් අතින් ගිය බව පැවසේ. මෙයට අමතරව ඕලන්දක්කාරයන් ද කතරගම දේවාලයට හානි කිරීමට පැමිණ අවස්ථා ගණනාවකදී එය අසාර්ථක වී ඇත. කතරගම දේවාලයේ සිදු වන කිසිදු චාරිත්‍ර චාරිත්‍ර නවීකරණය නොවී මෙයට වසර 2280 කට වැඩි කාලයක සිට අඛණ්ඩව සිදු කරන චාරිත්‍ර වේ. ලාංකීය පෞරාණික ඇදහිලි තවමත් දැකිය හැක්කේ කතරගම පුදබිමේ දී පමණි.
 
කතරගම  කේ.ඩී. දේවප්‍රිය
 
රුහුණු මහා දේවාලයේ ප්‍රධාන කපු  සොමිපාල ටී. රත්නායක
 
නව වැදීමේ නමස්කාරය සිදු කිරීම