
සිය ප්‍රදේශයේ මාර්ගවලට නායයාම්වලින් කඩාවැටී තිබූ පස් කඳු, ගස්, ගල් දින ගණනාවක් තිස්සේ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ඉවත් කර වාහන ගමනාගමනයට මාර්ග සකසා දෙමින් සිය දායක ප්‍රදේශවාසීන් වෙනුවෙන් මහඟු සේවාවක් ඇඳිරියබැද්ද විහාරස්ථානයේ විහාරාධිපති විල්වල රාහුල හිමියන් විසින් සිදු කර ඇත. මහනුවර සිට බදුල්ල, වලපනේ, මහියංගණ ආදි ප්‍රදේශ ගණනාවක් කරා ගමන් කළ හැකි රන්දෙණිගල මහවැලි රජ මාවත මාර්ගයේ ඇඳිරියබැද්ද ප්‍රදේශයේ මාර්ගය ආසන්නයේම ඇති සිය විහාරස්ථානයේ වැඩ වාසය කරන විල්වල රාහුල හිමියෝ සිය කාලය ශ්‍රමය වැය කරමින් කටයුතු කරති.
ප්‍රදේශයේ මාර්ගවලට කඩාවැටී තිබූ පස්, ගල් හා ගස් නිසා සිදුව තිබූ මාර්ග අවහිරතා නිසා රාජ්‍ය නිලධාරීන්ට ප්‍රදේශවාසීන් ගැන සොයා බැලීමටවත් පැමිණිය නොහැකි තත්වයක් ඇති විය.
ප්‍රදේශවාසීන් බඩගින්නේ තැබිය නොහැකි නිසා භාණ්ඩ අවසන් වූ පසු ඒවා මිලදී ගැනීමට මෙන්ම රෝහල කරා යාමට ඇති අවශ්‍යතාව නිසා දින හතරක් වැනි කාලයකදී, නායයාම්වලින් අවහිර වී තිබූ ලැමසුරිය රිකිල්ලගස්කඩ මාර්ගය ප්‍රදේශවාසින් සමග පිළිසකර කර වාහන ගමනාගමනයට සුදුසු තත්ත්වයට පත් කර ඇත.
පසුව කීර්තිබණ්ඩාරපුර, අධිකාරිගම මාර්ගය අතර ජල පහරට හසු වී හානියට පත් කොහොඹගාන පාලම ද වාහනයකට ගමන් කළ හැකි ලෙස පිළිසකර කර බෙලිහුල්ඔයේ සිට මහනුවර, හඟුරන්කෙත, රිකිල්ලගස්කඩ, අධිකාරිගම ප්‍රදේශ කරා ගමන් කළ හැකි ලෙස සකස් කර දී ඇති අතර, මේ සඳහා රිකිල්ලගස්කඩ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ අධීක්ෂණය හා සහාය ඇතිව මුදල් ගෙවා බැකෝ යන්ත්‍ර ලබා ගෙන පිළිසකර කටයුතු සිදු කර තිබේ.
මෙම මාර්ගයේ කීර්තිබණ්ඩාරපුර සිට අධිකාරිගම අතර ඇති බෙලිහුල්ඔය පාලම මේ වසරේ මුල් මාසයේ පැවැති මහ වැස්සට නායවල් සමග පැමිණි මහ ජල පහරට ගසාගෙන පැමිණ ගැලවී ගිය විශාල ගස්, ගල් රැඳී පැවැතීම නිසා බෙලිහුල්ඔය පාලම ඇතුළතින් ජලය ගලා යාම අවහිර වී පාලම දෙපසින් ජලය ගලා යන බව වලපනේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්දසේන වීරසිංහ පවසයි.
තව දින කිහිපයකින් පාසල් ආරම්භ වී සේරුපිටිය, ඔතලාව, ඌරුමඩ ඇතුළු අවට ප්‍රදේශවල සිට හප්පාවර මහ විදුහල, අධිකාරිගම ජාතික පාසල හා අධිකාරිගම ප්‍රාථමික විද්‍යාලයට යන පාසල් සිසු සිසුවියන්, ගුරුවරුන් හා ප්‍රදේශයේ ඇඟලුම් ආයතනවල සේවය කරන සේවක සේවිකාවන්ට මෙම පාලමෙන් ගමන් කිරීම ගැටලුවක් වී තිබේ.
මේ වන විට බෙලිහුල්ඔය හරහා වැටී ඇති සියඹලා ගස මතින් ගැබිනි මවුවරුන් කුඩා ළමුන් සමග ප්‍රදේශවාසින් එගොඩ මෙගොඩ වන නිසා අනතුරක් වීමට පෙර විකල්පයක් ගත යුතු බවට විල්වල රාහුල හිමියන් කල්පනා කර ඇත. ඉවුරු දෙක හරහා ලී පඩිපෙළක් ඉදිකරමින් පවතිද්දී යුද්ධ හමුදාව විසින් බෙලිහුල්ඔය හරහා යකඩ පාලමක් ඉදිකිරීමට අවශ්‍ය යකඩ පාලමක් මීට දින දෙකකට පෙර ගෙනැවිත් ඇති බව වලපනේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පැවැසීය.

නුවරඑළිය, බදුල්ල, අම්පාර, මොනරාගල, මඩකලපුව සහ පෙළොන්නරුව දිස්ත්‍රික්ක මධ්‍යම පළාත හරහා කොළඹට යා කරන ප්‍රධාන මාර්ගයක් වන මෙම මහනුවර බදුල්ල රන්දෙණිගල මහවැලි රජ මාවත ඔස්සේ වලපනේ, බදුල්ල, අම්පාර, මොනරාගල, මහියංගණය, මඩකලපුව, පොළොන්නරුව ආදි ප්‍රදේශ ගණනාවක සිට මහනුවර බලා මගී ප්‍රවාහන බස් රථ මෙන්ම මහනුවර, නුවරඑළිය, කතරගම බලා විනෝද චාරිකා යන බස් රථ ද ගමන් කරයි.
තව ද වලපනේ සිට අධිකාරිගම ප්‍රදේශයේ ඇති ඇඟලුම් කර්මාන්ත ආයතනයට හා අධිකාරිගම හඟුරන්කෙත ප්‍රදේශවල සිට කීර්තිබණ්ඩාරපුර ප්‍රදේශයේ ඇඟලුම් ආයතනවල සේවයට පැමිණෙන ඇඟලුම් සේවක සේවිකාවන් ද මහත් අපහසුතාවට පත්ව ඇත.
මීට අමතරව සේරුපිටිය, ඔතලාව, කොහොඹගාන හා ඇඳිරියබැද්ද ඇතුළු අවට ප්‍රදේශවල එළවළු වගා කරන ගොවින්ට සිය එළවළු අස්වැන්න නගරයේ වෙළෙඳපොළ කරා ගෙන යාමට පවා නොහැකි තත්වයක් මෙම මාර්ග අවහිරතා නිසා ඇතිව තිබේ.
කීර්තිබණ්ඩාරපුර, හප්පාවර, සේරුපිටිය, ඔතලාව, කෙහොඹගාන, ඇඳිරියබැද්ද, මඩවලතැන්න, බෝගහතැන්න හා රත්මැටිප ප්‍රදේශවල පදිංචිකරුවන් මෙම මාර්ග පිළිසකර කරන කාර්යයේදී විශල කැප කිරීමක් කළ බවත්, රිකිල්ලගස්කඩ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජනේරුවරිය හා කාර්මික නිලධාරින් ද අධීක්ෂණය කරමින් අවශ්‍ය උපකරණ ලබා දෙමින් මේ සඳහා දායකත්වය ලබා දී ඇති බවත්, විල්වල රාහුල හිමියෝ පවසති.
වලපනේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්දසේන වීරසිංහ අදහස් දක්වමින් මෙසේ ද පැවැසීය.
“මේ බෙලිහුල්ඔය පාලමට කිසිම අනතුරක් වෙලා නෑ. පාලම හදනකොට ඉවුරු දෙපැත්තට දමන ලද පස් සෝදාගෙන ගොස් දෙපස ඉවුරු කඩාගෙන ගිලාබැහැලා තියෙන්නේ. රාජ්‍ය මට්ටමට වඩා වැඩි සේවයක් උදෑසන සිටම, මාර්ගවලට නායගොස් කඩාවැටී තිබූ පස් කඳු ඉවත් කර මාර්ග යථා තත්වයට පත් කිරීම ඇඳිරියබැද්ද විහාරස්ථානයේ විහාරාධිපති විල්වල රාහුල හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු වෙනවා.
බෙලිහුල්ඔයේ පාලමේ රැඳී ඇති ගස්, ගල් ඉවත් කළේ නැති නම් නැවත ඔයේ ගලා එන විශාල ජල පහරට පාලමේ රැඳී ඇති ගස්, ගල් නිසා පාලම ඇතුළතින් ජලය ගලා නොගොස් පාලම දෙපසින් ගලාගෙන ගොස් ඉවුරු කඩාගෙන යනවා. ඒක නිසා මේ පාලම අසල ඇති ගස්, ගල් ඉවත් කරන්න ඕනෑ.

හාමුදුරුවෝ පාලම නැති නිසා විකල්පයක් ලෙස ජනතාවට යන්න ඉවුරු දෙක හරහා පඩිපෙළක් හදලා දෙන්න සූදානම් වෙනවා. පාසල් පටන්ගන්න ළඟ නිසා පාසල් දරුවෝ පාසල් යන්න එගොඩ මෙගොඩ කරන්න, දැන් දින දෙකකට පෙර යුද්ධ හමුදාවෙන් යකඩ පාලමක් ගෙනාවා. හාමුදුරුවන්ට ලී පඩිපෙළක් හදලා දෙන්න පුළුවන් නම් රාජ්‍ය නිලධාරින්ට පාලම හදලා දෙන්න කියන්න. ඉංජිනේරු මහත්වරුන්ගේ එක එක කතා අහලා වැඩක් නැහැ. එක එක කාලයට වාර්තා දෙනවා. ඒ වාර්තා වැඩක් නැහැ, පාලම හදලා දෙන්න කියන්න.
වලපනේ පදියපැලැල්ල මාර්ගයේ මලපට්ටාව මාර්ගය නායගොස් අනතුරුදායක තත්වයක තියෙන නිසා වාහන ගමනාගමනයට මේ පාලම කඩිනමින් සකස් කරගන්න ඕනෑ. හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට, හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවට, හඟුරන්කෙත විධායක ඉංජිනේරු බලප්‍රදේශයට, හඟුරන්කෙත පොලිස් බලප්‍රදේශයට තමයි මේ ප්‍රදේශ අයත් වන්නේ.
බෙලිහුල්ඔයේ පාලමේ එක් ඉවුරක් වලපනේ ප්‍රදේශයට අයත්ව තිබෙන නිසාත්, වලපනේ බස් රථ හා ජනතාව මේ මාර්ගයේ ගමන් කරන නිසාත් තමයි අපි මේ ගැන සොයා බලන්නේ. මෙහිදී ඇඳිරියබැද්ද විහාරස්ථානයේ විහාරාධිපති විල්වල රාහුල හිමියන් ප්‍රදේශවාසින් සමග මාර්ග යථා තත්ත්වයට පත් කරන්න විශාල සේවයක් කරනවා.”
වලපනේ - අරුණ ඩයස්‍්


COMMENTS