
ටෲඩෝ, බිරිඳ සෝෆි සහ දරුවන්
ජස්ටින් ටෲඩෝ කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකි. කැනඩාවේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ එරට පාලක පක්ෂයේ නායකයාටය. 2015 මැතිවරණයෙන් කම්කරු පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවිය. පක්ෂය ඒ, ජයග්‍රහණය කරා මෙහෙයවීම කළේ, තරුණ කඩවසම් ටෲඩෝ ය. ඒ අනුව, කැනඩාවේ ළාබාලතම අග්‍රාමාත්‍යවරයා ලෙස, එදා 43 හැවිරිදි ටෲඩෝ අග්‍රාමාත්‍ය ධුරයට පත් විය. ජස්ටින් ටෲඩෝ කැනඩාවේ 23 වැනි අග්‍රාමාත්‍යවරයා විය. කැනඩා ඉතිහාසයේ දෙවැනියටම ළාබාලතම අගමැතිවරයා ද විය. ටෲඩෝ උපන්නේ 1971 දෙසැම්බර් 25 වනදාය.
ජස්ටින් ටෲඩෝ උපතින්ම දේශපාලන පවුලකට උරුමකම් කියන්නෙකි. ඔහුගේ පියා පියරේ ටෲඩෝ ය. ඔහු කැනඩා ඉතිහාසයේ අතිශය ජනප්‍රිය මෙන්ම දීර්ඝ කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ අග්‍රාමාත්‍යවරයා ද වෙයි. 2015 මැතිවරණය ජය ගනිමින්, ජස්ටින් ටෲඩෝ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම කැනඩා දේශපාලන ඉතිහාසයේ අග්‍රාමාත්‍යවරයකුගේ දරුවකු අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු පළමු අවස්ථාවය. ටෲඩෝගේ ආකර්ෂණීය කඩවසම් පෙනුම, තරුණ ජවය සහ සමාජ මාධ්‍ය හැසිරවීම නිසා ඔහු ලොව පුරා විශාල ප්‍රසිද්ධියක් ලබා ගත්තේය.
ප්‍රගතිශීලී දේශපාලන ප්‍රතිපත්තියක් අනුගමනය කරන ටෲඩෝ, කාන්තා අයිතීන් හා පරිසර සංරක්ෂණය වෙනුවෙන් පමණක් නොව දේශගුණික විපර්යාසයන්ට එරෙහිව ද සංක්‍රමණිකයන් වෙනුවෙන් ද හඬ නැගූ අග්‍රාමාත්‍යවරයෙකි. දේශපාලනයට පිවිසීමට පෙර ටෲඩෝ ගුරුවරයකු, පරිසරවේදියකු සහ සමාජ ක්‍රියාකාරිකයෙක් ද විය.
ටෲඩෝ සම්බන්යෙන් ප්‍රහේලිකාවක් ඇත. බොහෝ දෙනාගේ කුතුහලය අවදි කළ මෙම ප්‍රහේලිකාව, ලෝක දේශපාලන කරළියේ කාගේත් කතාබහට ලක්වුණු කාරණාවකි. එම කාරණාව නම්, ජස්ටින් ටෲඩෝ සහ කියුබාවේ අසහාය විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝ අතරේ ලේ බැදීමක් ඇති බවය. තවත් සරලව පැහැදිලි කළොත්, ජස්ටින් ටෲඩෝ ගේ පියා පියරේ ටෲඩෝ නොව, කියුබා විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝ බවය. ෆිදෙල් කැස්ත්‍රෝ අටුවා ටීක අවශ්‍ය නැත. ඔහු කඩවසම්ය. තරුණියන්ගේ ආකර්ෂණය දිහූ හැඩිදැඩි පිරිමියෙකි.
![]() |
| කැතී පෙරී සමග |
ටෲඩෝ, අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ 2015 වසරේදීය. ෆිදෙල් කැස්ත්‍රෝ මෙලොව හැර ගියේ 2016 වසරේදීය. එදා ජස්ටින් ටෲඩෝ ඔහු වෙනුවෙන් ශෝක ප්‍රකාශයක් නිකුත් කළේය. ඒ, කැනඩා අග්‍රාමාත්‍යවරයා ලෙසය. එතැන් පටන් අන්තර්ජාලයේ ළැව්ගින්නක් සේ ‘අර කාරණාව’ යළිත් වරක් කතාබහට ලක් විය. ‘ජස්ටින් ටෲඩෝ යනු කැනඩාවේ හිටපු අගමැති පියරේ ටෲඩෝ ගේ පුත්‍රයා නොව, ෆිදෙල් කැස්ත්‍රෝගේ රහසිගත පුත්‍රයා බවයි.
ඒත් එය එසේ වන්නේ කොහොමදැයි ඔබට සිතෙනු ඇත. එය සිනහවට කරුණක් ද විය හැකිය. ඒත්, මේ ‘කසුකුසුව’ පිටුපස ඇති තර්ක විතර්ක සහ ඡායාරූප සාක්ෂි දෙස බලන විට, ඕනෑම අයකු මොහොතකට නතර වී ඒ ගැන දෙවරක් සිතනු නිසැකය. මේ කසුකුසුවට ඇති ප්‍රධානම සාධකය ජස්ටින් ටෲඩෝ සහ තරුණ අවදියේ ෆිදෙල් කැස්ත්‍රෝ අතර ඇති පුදුමාකාර රූපමය සමානකමය. උස මහත, මුහුණේ හැඩය, නාසය, ඇස් පිහිටීම පමණක් නොව, ඔවුන් දෙදෙනාගේ සිනහව පවා එකිනෙකට බෙහෙවින් සමානය. සේයාරූ පිරික්සන්නන් පවසන්නේ ජස්ටින් ටෲඩෝ තමන්ගේ නිල පියා යැයි කියන පියරේ ටෲඩෝ ට වඩා කැස්ත්‍රෝට සමාන වන බවය. කෙසේ නමුත්, මෙය ප්‍රමාණවත් සාක්ෂියක් නොවෙයි. එක හා සමාන අය බොහෝ සිටිති.
කසුකුසුවට අදාළ දෙවැනි කාරණාව, ජස්ටින් ටෘඩෝගේ මවය. ඇය මාග්‍රට් ටෘඩෝ ය. මාග්‍රට් සහ පියරේ අතර වයස් පරතරය අවුරුදු 29 කි. මාග්‍රට්, පියරේ සමග විවාහ වෙද්දී ඇයට අවුරුදු 22 කි. පියරේගේ වයස අවුරුදු 51 කි. මාග්‍රට් සහ ෆිදෙල් කැස්ත්‍රෝ අතර තිබූ සමීප මිත්‍රත්වය වටාය. 1970 දී අගමැති පියරේ ටෘඩෝ සහ ඔහුගේ රූමත් බිරිඳ මාග්‍රට් කියුබාවේ නිල සංචාරයක නිරත වූහ. එහිදී කැස්ත්‍රෝ සහ ටෘඩෝ යුවළ අතර දැඩි හිතවත්කමක් ඇති විය. විශේෂයෙන්ම මාග්‍රට් සහ කැස්ත්‍රෝ එකිනෙකා දෙස බලා සිටින, ඉතා ළෙන්ගතු ඡායාරූප පවා එකල මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කෙරිණි. කැස්ත්‍රෝ, මාග්‍රට්ගේ කුඩා දරුවකු (ජස්ටින්ගේ සොහොයුරා) වඩාගෙන සිටින ඡායාරූපයක් ද එසේ ප්‍රසිද්ධියට පත්වුණු ඡායාරූප අතරේ වෙයි. මේ සියල්ල එක් කරමින් ලෝකයේ ‘ඕපාදූප’ ගැන උනන්දුවන්නන් පෙන්වා දෙන්නේ කියුබා සංචාර අතරේ මාග්‍රට් සහ ෆිදෙල් කැස්ත්‍රෝ අතරේ රහස් ප්‍රේම සම්බන්ධයක් ගොඩනැගෙන්න ඇති බවත් ජස්ටින් ටෲඩෝ එහි ප්‍රතිඵලයක් බවත්ය.
මෙහි ඇත්ත නැත්ත සම්බන්ධයෙන් තර්ක කළොත්, ජස්ටින් ටෲඩෝ උපත ලැබුවේ 1971 දෙසැම්බර් 25 වනදාය. එසේ නම් ඔහු පිළිසිඳගත යුත්තේ 1971 මාර්තු හෝ අප්‍රේල් මාසවලදීය. ඓතිහාසික ලේඛන පිරික්සීමේදී පෙනී යන්නේ ටෲඩෝ යුවළ සිය ප්‍රථම නිල කියුබානු සංචාරය සිදු කර ඇත්තේ 1976 වසරේදී බවය. ඊට පෙර ඔවුන් නිල වශයෙන් කියුබාවට ගොස් නැත. ඔවුන් කියුබාවට ගොස් ඇත්තේ ජස්ටින් උපත ලබා වසර පහකට පසුවය. ඇතැමුන් තර්ක කරන්නේ, 1976 වසරේ නිල සංචාරයට පෙර, මාග්‍රට් රහසිගතව කැරිබියන් දූපත්හි සංචාරය කළ බවත්, එහිදී ඇයට අහඹු ලෙස කැස්ත්‍රෝ මුණගැසුණු බවත්ය.

කස්ත්‍රෝ සහ ටෲඩෝගේ මව
වසර කිහිපයක් යටපත්ව තිබූ ‘කාරණාව’ යළිත් වරක් කරළියට පැමිණියේ කස්ත්‍රෝගේ දියණිය අලීනා ෆර්නැන්ඩස් නිසාය. අලීනා සම්මුඛ සාකච්ඡාවකට සම්බන්ධ කර ගැනීමට ඇමෙරිකන් මාධ්‍ය ආයතන කීපයක් කටයුතු කළේය. එහිදී එක් මාධ්‍ය ආයතනයක නිවේදිකාවක, අලීනාගෙන් මෙසේ විමසයි. ‘කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ඔයාගේ අර්ධ සොහොයුරා වෙන්න පුළුවන්. මේ ගැන ඔයාට මොනවද කියන්න තියෙන්නේ?’ ඊට පිළිතුරු දෙමින් අලීනා මෙසේ කියයි. ‘කසුකුසුවක් තියෙනවා තමයි. ජස්ටින් ටෲඩෝ ගේ මව අවස්ථා ගණනාවකදී කියුබාවට ආ ගිය කෙනෙක්. ඉතිං ඒ කාරණාවේ ඇත්ත නැත්ත හොයන්න මම උනන්දු වෙන්නේ නැහැ. ඒ වගේමයි ඒ ගැන ඇත්ත නැත්ත හොයන්නැයි හිටපු අගමැති ජස්ටින් ටෘඩෝට කියන්න මට අයිතියකුත් නැහැ. ඇත්ත නැත්ත දැන ගන්න ඔහුට ඕනෑ නම්, ඔහු ඒක සොයා ගනීවි.’
ජස්ටින් ටෲඩෝ - ෆිදෙල් කැස්ත්‍රෝ කතාව දේශපාලන ලෝකයේ නූතන ජනප්‍රවාදයක් වැනිය. මිනිසුන් සැමවිටම කැමති සාමාන්‍ය සත්‍යයට වඩා අසාමාන්‍ය ප්‍රබන්ධයන්ටය. ජස්ටින් ටෲඩෝ දේශපාලනයට සම්බන්ධ වී සිටිද්දී, දේශපාලන පක්ෂ මෙන්ම, ටෲඩෝගේ විරුද්ධවාදීහු ද ඔහුට ‘මඩ ගැසීමේ’ අරමුණින් මෙම ‘කතාව’ උපක්‍රමශීලීව භාවිත කළහ. ජස්ටින් ටෲඩෝ අග්‍රාමාත්‍ය ධුරයට සමුදුන්නේ 2025 වසරේදීය. දශකයක් පමණ අග්‍රාමාත්‍ය ලෙස රාජකාරි කළ ඔහුට ලැබුණු දේ මෙන්ම අහිමි වුණු දේ ද බොහොමය. ටෘඩෝ තිදරු පියෙකි. ඔහුට දියණියක සහ පුතුන් දෙදෙනෙක් සිටිති. බිරිඳ සෝෆි ග්‍රෙගරි ය. අග්‍රාමාත්‍ය ධුරයට සමුදෙද්දී, ජස්ටින් ටෲඩෝ ට බිරිඳ ද අහිමි විය. බිරිඳගෙන් වෙන් වුණු ජස්ටින් ටෲඩෝ ට දැන් අලුත් පෙම්වතියක සිටී. ඇය ජනප්‍රිය ඇමෙරිකන් පොප් ගායිකාවක, ගීත රචිකාවියක මෙන්ම රූපවාහිනී තරුවක ද වන 41 හැවිරිදි කැතී පෙරීය.
ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි

ටෲඩෝගේ මව සහ පියා


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd