සැබෑ ගුරුවරයා සිය ජීවිත කාලය තුළම ලබන්නේ සිය රාජකාරි දිවිය සාර්ථක කර ගැනීමෙන් ලබන ආත්ම තෘප්තිය මිස මිල මුදල් නොවේ. එවන් ගුරුවරුන් මුළුමහත් සමාජයටම ආදර්ශයකි.අකුරක් කියාදුන් දරුවකුගේ යහපත් හෙට දවස දෙස දයාර්ද්‍රයෙන් යුතුව බලා හිඳිනා ආදරණීය ගුරු මවුපියවරුන් අතරේ ඇයද තම තිස් පස් වසක ගුරු දිවිය තුළ යුතුකම්, වගකිම් මැනවින් ඉටුකළ ආදරණීය ගුරු මවකි. ඇය ඉන්ද්‍රා පුෂ්පාණි ජයවර්ධන ය.

ඉන්ද්‍රා පුෂ්පාණි ජයවර්ධනගේ උපන්ගම මාතර ය. එදා එතරම් ජනාකීර්ණ නොවූ මාතර පුරවරයේ එක් පසෙකින් ගලා බසින නිල්වලා ගං තීරයත් අනෙක් පසින් මහා සාගරයත් නිරන්තරයෙන් ඇස ගැටෙමින් ගෙවුණු ඇගේ ජීවිතයේ මහා සවිය වූයේ තම ආදරණීය පවුලය. ඇයගේ පියා රටක් හඳුනන ප්‍රකට කවියකු වූ කිරලගහවෙල මාර්ටින් ජයවර්ධන ය. මව චන්ද්‍රා විදානපතිරණ ය. මල්ලිලා දෙදෙනකුටත් නංගිලා තිදෙනකුටත් ආදරණීය වැඩුමහල් සහෝදරිය වී ඇය ගෙවූ ළමා විය අතීශය සුන්දරය.

අපේ අම්මයි තාත්තයි දෙන්නම රාජ්‍ය සේවකයො. ඒ වගේම ඒ දෙන්නම හොඳ කවි කිවිඳියො. අපේ ගෙදර නිරන්තරයෙන් පොත පත රැඳුණු තැනක්. ඒ ආභාසය නිසා වෙන්න ඇති මටත් පුංචි කාලෙ ඉඳලම පුදුම ආසාවක් තිබුණා පොතපත කියවන්න. ඒ වගේම අපේ පවුලත් එක්ක අපේ නෑදෑයො හරිම එකමුතුවක් තිබුණා. ඒ දවස්වල අපේ ප්‍රියතම දේ වුණේ ගුවන්විදුලිය ඇසීම. මට මතකයි මම ආසම ස්වදේශීය සේවය අහන්න. ඒ තුළ විකාශය වන වැඩසටහන් මම නොවරදවා අහනවා වගේම ගුවන්විදුලියට කවිත් ලියා යැවුවා. තාත්තගෙ කවි ලිවීමේ ආභාසය තමයි මටත් පිහිටන්න ඇත්තේ කියා මා අදත් විශ්වාස කරනවා.”

ඉන්ද්‍රා ප්‍රථමයෙන්ම පාසල් ගියේ මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයට ය. ඉංග්‍රීසියෙන් ඉගැන්වූ පෞද්ගලික පාසලක් වූ එයට ඇයට ඇතුළත් වීමට සිදුවුණේ සිය පියාට ලැබුණු ස්ථාන මාරුවක් හේතුවෙන් මරදානට පැමිණීමට සිදුවූ බැවිනි. ඉන්පසුව ඇය පහ ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වාම අධ්‍යාපනය හැදෑරුවේ මාතර සුජාතා බාලිකා විදුහලෙනි.

පාසලේ දි නම් මම ටිකක් දඟ චරිතයක්. ඒ වුණත් හැම ගුරුවරයකුගෙම ආදරය දිනාගෙන වැඩ කළා. පාසලේ සමිති සමාගම් වල නිලතල දරමින් කටයුතු කළ ක්‍රියාශීලි ශිෂ්‍යාවක් කිව්වොත් හරි. ක්‍රීඩාව පැත්තෙනුත් මම කැපී පෙනුණු ශිෂ්‍යාවක් ඒ කාලයේ. මගේ වැඩි කැමැත්තක් තිබුණෙ නම් නිර්මාණශීලී දේ වලට වුණාට අපේ තාත්තට ඕනකම තිබුණා මාව වෛද්‍යවරියක් කරන්න. ඒ නිසා මම උසස් පෙළ හැදෑරුවේ ජීව විද්‍යා අංශයෙන්. මම උනන්දුවෙන් වැඩකළත් සත්ත්ව විද්‍යාවට ටිකක් අකමැත්තක් දැක්වූවා. ඒ මොනවා වුණත් මගේ ළමා වියේ ඉඳලම තිබුණු හීනයක් තමයි ගුරුවරියක් වෙනවා කියන එක. මට ඕන වුණේම ඒ අරමුණ ඉටු කරගන්නයි.”

පාසල් අධ්‍යාපනය හමාරවනවාත් සමගම ඉන්ද්‍රාට ගුරු පත්වීමක් හිමිවුණේ එකල පැවැති උසස් පෙළ සමතුන්ට ගුරු පත්වීම් ලබාදීමේ ක්‍රමවේදය අනුවය. එහි දී ගුරු පුහුණුව ලැබෙන්නේ රැකියාව කරන අතරතුර ය. ඇය පුහුණුව ලැබුවේ තම පළමු පත්වීම හිමිවූ මාතර දිසාවේ පිටබැද්දර මහා විදුහලේ කටයුතු කරන අතරතුර ය.

පළමු ගුරු පත්වීම ලැබුණෙ 1978 අගෝස්තු මාසෙ 21දා. සාරියක් ඇන්දත් අපිව පෙනුණෙ ළමයි වගේ. ඒ පාසල පැවැත්වුණේ සාමාන්‍ය පෙළ දක්වා විතරයි. සාමාන්‍ය පෙළ පන්ති වල හිටිය පිරිමි ළමයි අපිට වඩා ‌උසයි. හරිම අහිංසක දරුවො ටිකක් හිටියෙ. මට උගන්වන්න ලැබුණෙ ගණිතය විෂය. මම උගන්වපු පළමු අවුරුද්දෙම ළමයි වැඩි සංඛ්‍යාවක් ගණිතය සමත් වුණා. ඒක විශාල සතුටක්. ඒ වගේම තමයි මම ඊට පසුව මාතර කඹුරුගමුව මහා විදුහල, මාතර මහාමායා බාලිකා විදුහල, පානදුර සුමංගල බාලිකා විදුහල වාගේ පාසල් කීපයකම වැඩ කළා. ඒ හැම පාසලකදීම මුණ ගැහුණෙ හරිම අහිංසක දරුවො. විශේෂයෙන් මිශ්‍ර පාසල්වල දරුවො ගැහැනු පිරිමි කියලා බේදයක් නැහැ. අද වගේ නෙමෙයි. හරිම සුහදත්වයෙන් ඒ ළමයි පාසල ඇතුළේ කටයුතු කළේ. හැමෝගෙම තිබුණෙ සහෝදරත්වය කියන හැඟීම. අද වගේ රැල්ලට ටියුෂන් දුවන ළමයි නෙමෙයි හිටියෙ. ඒ නිසා අපිත් දිවා රෑ නොබලා ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් හැම දෙයක්ම කළා.”

ඉන්ද්‍රා පුෂ්පාණි ජයවර්ධන ගුරු දිවියෙන් විශ්‍රාම ලැබුවේ කොළඹ ඩී.එස්. සේනානායක විදුහලෙනි. පිරිමි දරුවන් පමණක් අධ්‍යාපනය ලබන පාසලක සේවය කිරීම තරමක් බැරෑරුම් කටයුත්තක් සේ පෙනුණද ඇය තම ගුරු දිවියේ සුවිශේෂම පාසල ලෙස දකින්නේ එම පාසලයි.

මතුපිටින් බලන අය හිතන්නේ පිරිමි පාසලක උගන්වන එක හරිම අමාරු වැඩක් කියලා. එහෙම නෑ. මම හරිම සතුටින් අධ්‍යාපනය දුන් පාසලක් තමයි කොළඹ ඩී.එස්. සේනානායක විදුහල. එහි මාධ්‍ය ඒකකය බාරව කටයුතු කළෙත් මම.

“මතුපිටින් බලන අය හිතන්නේ පිරිමි පාසලක උගන්වන එක හරිම අමාරු වැඩක් කියලා. එහෙම නෑ. මම හරිම සතුටින් අධ්‍යාපනය දුන් පාසලක් තමයි කොළඹ ඩී.එස්. සේනානායක විදුහල. එහි මාධ්‍ය ඒකකය බාරව කටයුතු කළෙත් මම. එදා මගෙන් විවරණ ගනිපු දරුවො අද මාධ්‍ය ක්ෂේත්‍රය පුරාම දකින්න ලැබීම පුදුමාකාර සතුටක්. ඒ වගේම තමයි මම උගන්වපු විෂය ගණිතයට වැඩිය ළමයි කැමති නෑ. ආසාවෙන් ඉගෙන ගන්නෙ ඒ විෂයට කැමති ළමයින් විතරයි .අනෙත් ළමයි පස්ස ගහනවා වැඩියි. මම ඇත්තටම මගේ ගුරු ජීවිතය පුරාම වැඩියෙන්ම හිටියේ ළමයි එක්ක. හිනාවෙලා සතුටින් ඉන්න මම හරි කැමතියි. හැබැයි උගන්වන්න පන්තියට ගියාම මම වෙනම මූණක් මවා ගන්නවා. ඒ දරුවො හැම කෙනාම ගොඩ දාන්න ඕන නිසා.”

ඉන්ද්‍රා පුෂ්පාණි තම යුගදිවිය අරඹන්නේ අප කවුරුත් හඳුනන ප්‍රවීණතම නිවේදකයකු වූ කරුණාතිලක හඳුවල සමගය. ඔවුන්ගේ ආදරණීය දියණිය කොළඹ මියුසියස් විදුහලේ ගුරුවරියක වන අතර, පුතා පදිංචිව සිටින්නේ කැනඩාවේ ය. ඉන්ද්‍රා පුෂ්පාණි මේ වන විට ආදරණීය මිත්තණියකි.

“ඒ කාලයේ මගේ මහත්තයා ගුවන්විදුලියේ කාර්ය බහුලම කෙනෙක්. නිවේදකයකු, පිටපත් රචකයකු වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස ඔහු කටයුතු කළා. මම තමයි ගෙදර වැඩ සියල්ල කරට අරගෙන කළේ. දරුවන්ගේ අධ්‍යාපනය හා පාසලේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මම හැම දෙයක්ම නොපිරිහෙළා ඉටු කළා.”

ඉන්ද්‍රා පුෂ්පාණි ජයවර්ධන ගුරු වෘත්තියට අමතරව කවුරුත් හඳුනන දක්ෂ ලේඛිකාවකි. මේ වනවිට කෘති 20ක් පමණ ලියා පළකර ඇති ඇය තම ප්‍රථම කෘතිය ලියා පළ කළේ, උසස් පෙළ අධ්‍යාපනය හදාරන අවධියේය ය.

“මගේ ලේඛන දිවියටත් ගුරු වෘත්තියෙන් ලැබුණේ විශාල අත්වැලක්. ලිවීම, කියවීම ජීවිතයකට මොන තරම් වැදගත් ද කියන කාරණාව මම පාසලේ දරුවන්ටත් නිරන්තරයෙන් අවබෝධ කර දුන්නා. වගේම ඒ මග  ගිය දරුවොත් ඉන්නවා. ඒ වගේම මම අදටත් පුදුම සතුටක් ලබනවා ගුරුවරියක වීම ගැන. පිටින් හරි සරලයි කියා දැක්කත් මේ වෘත්තිය තරම් වගකීම් සහගත වෘත්තියක් තවක් නැහැ. ඒ වගේම මම ගුරු විද්‍යාලයේ දී ඉගෙනගත් බොහෝ දේවල් වෘත්තිය ජීවිතයට එකතු කරගත්තා. අධ්‍යාපන මනෝ විද්‍යාවේ කියමනක් තියෙනවා - ජෝන්ට ලතින් ඉගැන්වීමට නම් ගුරුවරයා ලතින් වගේම ජෝන්වත් හොඳින් දැන හැඳිනිය යුතුයි කියලා. ඒ වගේම තමයි අපිට නිරන්තරයෙන් වැඩ කරන්න ලැබෙන්නෙ නව යෞවනයේ දරුවන් එක්ක. එදා අපි ඒ දරුවො එක්ක හැකිතාක් කටයුතු කළා. ඒ දරුවො එකිනෙකා ගැන වෙන වෙනම හැඳින ගත්තා. ඒ නිසා තමයි අදටත් ඒ දරුවො අපි මඟතොටක දැක්කත් ආදරයෙන් වැලඳගන්නෙ.”

ඉන්ද්‍රා පුෂ්පාණි ජයවර්ධන ආදරණීය ගුරු මව මේ වනවිට වසර 35ක ගුරු ජීවිතයෙන් ඉසිඹු ලබා සිටියි. නමුත් ඇයගේ කාර්යය අද දවසේද අවසන් නොමැත.

“වයස කියන්නෙ ඉලක්කමක් විතරයි. ඇත්තටම මම හරිම සතුටින් තමයි මේ කාලය ගෙවන්නෙ. මේ වෙද්දිත් මම මගේ ලේඛන කටයුතුවල නිරතවනවා වගේම මහජන පුස්තකාලයෙ ලේඛක පාඨක හමුවේ සංවිධාන කටයුතුත් කරනවා. මම හිතනවා ගුරුවරියක ලෙස මම මගේ වගකීම හරියට කළා කියලා. ගුරුවරයකුට පමණයි තමන්ගෙ දරුවන්ගෙ වගේම වෙනත් දරුවකුගෙ ජයග්‍රණයක් වෙනුවෙන් හැබෑවටම සතුටු වෙන්න පුළුවන්. මම ඒක අත් විඳලා තියෙනවා. මේ ජීවිතයට ඒ ඇති.”

සුජිත් ප්‍රසංග