
පසුගිය නොවැම්බර් මාසයේ ආ දිට්වා සුළිකුණාටුව රට හරහා යන විට වියළි කලාපයේ ග්‍රාමීය වැව්වලටත් එක සේ ඒ තර්ජනය බලපෑවත්, ඒ ගම්වලට ඇති වූ හානිය සාපේක්‍ෂ වශයෙන් මඳ බව මගේ හැඟීමයි. මේ වෙනස ගැන විමසා බැලීම ඉදිරියේ දී එන සුළිසුළංවලට මුහුණ දිය යුතු ආකාරය සඳහා ආධාරයක් වේ යයි සිතමි.
දිට්වා කුණාටුවේ විනාශය හා ශෝකාලාපය නින්දේ දුටු සිහිනයක් වැන්න. ඒ කුණාටුවට පේරාදෙණිය අසල දුම්රිය පාර සේදී ගොස්, සුන්බුන් වී, එහි පීලි හා සිල්බර කොටන් අප්‍රාණිකව, මකුළු දැලක දැවටුණ යෝධ සුරුට්ටු මාලයක් මෙන් එල්ලී තිබුණේ සිහිනයකින් නොවේ.
19 ට හා 20 වැනි ශතවර්ෂවලදීත් ලංකාවේ දිට්වා වැනි කුණාටු තිබී ඇත. ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවට :ඡඋෘ* අනුව, 1834 දී ඇති වුූ මහා කුණාටුවක දී මහවැලිය පිටාර ගලන විට ගම්පොළ නගරයේ දී එහි වතුර මට්ටම සාමාන්‍ය මට්ටමට වඩා අඩි 60ක් ඉහළට ගියේය. 1927 දෙසැම්බර් මස 30 වැනිදා ක්‍්බඉ්ර් ඔසපැි පුවත්පතේ පළ වූ පරිදි, ලංකාව හරහා ගිය කුණාටුවකින් 200ක් ජීවිතක්‍ෂයට පත්ව ගෙවල් 300,000 ක් විනාශ විය. ඊට දශක 3කට පසු, 1957 දෙසැම්බර් මස 25දා උතුරුමැද පළාතට ආ සුළිකුණාටුවට නාච්චාදූව ජලාශයේ බැම්ම කැඩී ඉන් පිට වූ ජලස්කන්ධය මල්වතුඔයට එකතුවී, අනුරාධපුර සිංහකුලුන අසල ඇති යකඩ පාලමට අඩි 10ක් ඉහළින් ගියේ ගෙවල් හා ගොඩනැගිලි ද යට කරමිනි.
එල්ලංගා පද්ධති - Tank cascades
දිට්වා ලංකාව පුරා තම බලය පෙන්වාගෙන යද්දී, වියළි කලාපයේ වැව් එම විනාශයට මුහුණ දුන් ආකාරය වෙනස්ය. එයට එක් හේතුවක් ලෙස මා හඳුන්වන්නේ මේ පළාත්වල කෘෂිකර්ම ලෝක උරුමයක් යයි හඳුන්වා ඇති වැව් එල්ලංගා පද්ධතීන්ය. ඒවා එකිනෙකට සම්බන්ධ වී, ඔවුන්ගේ ජල පෝෂක ප්‍රදේශයෙන් ජනිතවන ජලයේ හොඳ-නරක පාලනය කරගන්නා අයුරක් පෙනේ. අපේ ආදි මුතුන් මිත්තන් විසින් තම උපාය දක්‍ෂතාව, චිරාගත ප්‍රඥාසම්පත්තිය (Traditional wisdom) හා ග්‍රාමීය ඉංජිනේරු ශිල්පය භාවිත කර ඉදි කර ඇති එල්ලංගාවලට හිතූ තරම් හානියක් කිරීමට දිට්වා කුණාටුවට නොහැකි වූයේ ඇයි දැයි විමසමු.
ලංකාව පුරා ග්‍රාමීය වැව් 15,499ක් පමණ ඇති බවත් ඉන් අර්ධයක් පමණ හොඳ තත්ත්වයේ ඇති බවත් අචාර්ය සී. ආර්. පානබොක්කේ කියයි. ලංකාවේ බිම් ප්‍රමාණයෙන් සියයට 60ක තරම් ප්‍රමාණයක විහිදී ඇති මේ වැව්, ඒවාට ලැබෙන ජලය ඉතා හොඳින් පාලනය කරගෙන ගොවිතැනට සහාය වෙන අයුරු 1890 ගණන්වල උතුරුමැද පළාතේ දිසාපති වරයා වූ ආර්. ඩබ්ලිව්. අයිවර්ස් ලිවීය. මුල් වැව් බැන්දෝ තැනිතලා භූමි ලක්‍ෂණ ඇසුරු කරගෙන එම නිම්නවල ඒවා ඉදි කළ බව ඔහු දැක්කේය. යටත් විජිත කාලයේ ඉංජිනේරුවන්ද මෙම විශේෂත්වය දැක ඇතත්, ඔවුන්ට එල්ලංගා තාක්‍ෂණය ගැන අවබෝධයක් තිබුණ බවක් දැනගන්නට නැත.
එල්ලංගා පද්ධතියක වැව් හරහා යන ජලය අන්තිමේදී එකතු වන්නේ ගඟකට හෝ විශාල ජලාශයකටය. ඒ නිසා ඒ වැව්, එකමුතුවක් හෝ තනි තනිව හෝ, තම ජල පෝෂක ප්‍රදේශයේ ජලය ගලා බසින යාන්ත්‍රණයට සහභාගි වෙයි. මීට ශතවර්ෂ නවයකට පමණ පෙර මහා පරාක්‍රමබාහු රජ පොළොවට වැටෙන එකම දිය බින්දුවක්වත් අපතේ නොයවා ප්‍රයෝජනයට ගතයුතු යයි කීවේ එල්ලංගාවල ඇති මෙම අභිලක්‍ෂණය හඳුනාගෙනය. එවැන්නකට ජලය සපයන ජල පෝෂක ප්‍රදේශයේ ගලන සෑම ඇළක්ම එල්ලංගාවේ සෑම වැවකටම කෙළින්ම සම්බන්ධ නැතත්, වැව් අතරේ ඇති සම්බන්ධතාව නිසා ඇළ ද්‍රෝණියෙන් පිට ප්‍රදේශයක ඇති සාමාජික වැවකට වක්‍රාන්විතව හෝ එම ජලයෙන් ප්‍රයෝජනයක් ගත හැකි බව ගම්මු අවබෝධ කරගෙන සිටියහ.
මෙවැනි විශේෂ ලක්‍ෂණ ගැන කළ විමර්ශනයකින් පසු, 1985 වසරේදී මහාචාර්ය සී. ඇම්. මද්දුම බණ්ඩාර විසින් වියළි කලාපයේ ග්‍රාමීය වැව් එකිනෙකට සම්බන්ධ වී ඇති ව්‍යුහය ප්‍රසිද්ධියට පත් කර එවැනි වැව් එකමුතුවක් (Tank Cascade system) යනුවෙන් හැඳින් වීය. ආදිකාලවල සිට නුවරකලාවියේ එවැනි වැව් පද්ධතියකට එල්ලංගාව යයි කියන බව ආචාර්ය එම්. යූ. ඒ. තෙන්නකෝන් පසුව පැහැදිලි කළේය.

එල්ලංගාවක අඩු වශයෙන් වැව් 4ක් ඇති අතර එවැනි වැව් පද්ධති 475-900 අතර ප්‍රමාණයක් ඇතැයි සොයාගෙන ඇත. සිතියමක මෙම වැව් පෙනෙන්නේ මාලයක එල්ලෙන මුතු ඇට පෙළක් මෙන්ය. ගලන ඇළ පාරකට බද්ධ වී, එහි ජලය වැව් අතරේ බෙදාගැනීමෙන් අපේ පැරැන්නෝ තම ප්‍රදේශයේ එවැනි ක්‍ෂුද්‍ර ව්‍යාපෘති නිර්මාණයක ඇති වටිනාකම දැන සිටියහ.
එල්ලංගාවක වැවක් යටතේ ගෙවල් ඇතත්, එයට බද්ධව ගෙවල් නැති, කුඹුරු පමණක් ඇති, වැව් ද ඇත. එවැනි වැවකට කියන්නේ ,ඔලගම, කියාය. එයට ජලය සැපයෙන්නේ ගමේ වැවට ජලය එන ඇළෙන්ම හෝ එයටම ආවේණික වෙනත් ඇළකින්ය. ඔලගම වැව ගමේ වැවට ඉහළින්, පහළින් හෝ පැත්තකින් ඇති අතර, අවශ්‍ය වූ විටක සමහර අවස්ථාවල එයින් ගමේ වැව යටතේ ඇති කුඹුරුවලට ද ජලය ගැනීමට හැකිය.
වැවේ තාක්‍ෂණය හා සංස්කෘතිය
එල්ලංගා සංකල්පය තුළ ඉංජිනේරු තාක්‍ෂණයක්ද, සංස්කෘතිමය අඩිතාලමක් ද ඇත. එහෙත් වැව ඉදිකිරීමට සහභාගි වූ මුල්ගම්කාරයෝ රත්තරන් බෝඩර සහිත උපාධි සහතික ලද්දෝ නොවෙති. ඔවුහු ඇළක හා වැවක භෞතික හා භූමික ලක්‍ෂණත්, එවායේ හැසිරීම ගැනත් අවබෝධයක් තිබුණ පුරෝගාමීහුය.
වැව් බැම්මෙන් රඳවා ගත හැකි උපරිම ජල ධාරිතාව ගැන දන්නා නිසා, එහි බැම්මට පහළින් ඇති ගෙවල්වල ආරක්‍ෂාව සඳහා ගම්මු සරල ග්‍රාම නිර්මාණ ක්‍රම භාවිත කළහ. ඒ අනුව වැව්බැම්මට මුල් පස් පිඩැල්ල කැපීමටත් පෙර, ඔවුන් තම ගෙවල්වල පඩිමාකඩ (Floor Plan) ලකුණු කළේ ඇළපාර බැම්මට යාවෙන තැනම යටාවතින් නොව, වාන් දෙක දිසාවට දිවෙන බැම්මට පහළින්ය. එම පියස හැඳින්වූයේ ,ගම්මැද්ද, හෝ ,ගම්මණ්ඩිය, කියා ය. ගොඩවාන අසල උස් භූමියේත් ගෙපදලම් ලකුණු කළ අතර, එය ,ගම්ගොඩ, විය. උල්දියෙන් ඇති විය හැකි හානිය නිසාත් බැම්මෙන් පහළ ඇළ ඉවුර දිගේ ගෙවල් ඉදිකළේ නැත. බොහෝ ගම්වල, පන්සල හා දාගැබ වැනි ගොඩනැගිලි වෑකන් ද කෙළවරේ උස් බිමක හෝ ගල් තලාවක ඉදිකිරීමට එක් හේතුවක් වූයේ මෙයයි.
එල්ලංගාවක ගම්මු හොඳ නරක කාල දෙකේදීම එකා මෙන් සිටිති. බොහෝ විට ඔවුහු නෑදෑයෝය. ඒ නිසා එකිනෙකා කෙරේ ඇති සබැඳියාව, සහයෝගය හා වැව්වල ආරක්‍ෂාව පදනම් කරගෙන ඔවුහු ඇළේ හා වැවේ උපාංග ගැන සාමූහික වගකීමකින් කටයුතු කරති. එහෙත් විවිධ කුලවලට හෝ ජාතිවලට අයත් ගම් ද එල්ලංගාවකට අයත් විය හැකි බැවින්, පද්ධතියේ ආරක්‍ෂාව හා සුබ සාධනය සඳහා කුල හා ජාති භේදයෙන් තොරව සියලු දෙනාම එක සමූහණයක් ලෙස කටයුතු කරති.
එක වැවක් හදිසියේම කැඩී ගියොත්, එයට පහළින් ඇති වැව්වලට එල්ලවෙන තර්ජනය ගම්මු දනිති. ඒ නිසා තද වැස්සක ද,“එල්ලංගාවේ ගම්මු” ඔවුන්ගේ වැව්වල ජල මට්ටම ඉහළ යාම ගැන සෝදිසියෙන් සිටින අතර, යම්හෙයකින් වැව්බැම්ම බිඳේ යයි බියක් ඇති වුණොත් හෝ ඉහළ වැව වාන්දමන විට හෝ, ඒ බව පහළ වැවේ පංගුකාරයන්ට දන්වන්නේ එයින් ජනිතවන අතිරික්ත ජලය ගැන සෝදිසියෙන් සිටීමටය.
එල්ලංගාවක ජල තාක්‍ෂණයේ තවත් විශිෂ්ට ලක්‍ෂණයක් වූයේ ජල පෝෂක ප්‍රදේශයේ ඉදිකර ඇති උපාංගය. ගලා එන ජලයේ දිය වී එන අපද්‍රව්‍ය හා රොන්මඩ වැවට ඇතුළු වීම වැළැක් වීමට වැව ඉස්මත්තේ ඇළ හරහා කුඩා බැම්මක් බැඳ ඇති අතර, එයින් හැදෙන පොකුණ හෝ පතහට කුළුවැව, ,කැලෑවැව,පොට වැටිය, හෝ ,එබ, යයි කියයි. කුළුවැවෙන් වැවට එන ඇළ පාරේ වේගය ද අඩු කරන අතර, වනසතුන්ට එහි ජලය ප්‍රයෝජනයට ගත හැකි නිසා, ඔවුන්ගෙන් බවභෝග ද ප්‍රවේශම් වේ. වැවේ බැම්ම බිඳී ගොස් කූඹුරුවලට ජලය ප්‍රමාණවත් නොවන තත්ත්වයක් උදාවුව හොත්, කුළුවැවෙන් වේල්ලක් කපා ඒ දිගේ වතුර ගමේ වැවට ගෙනා අවස්ථා ද ඇත.
බොහෝ එල්ලංගාවල පහළ වැව්වල බැමි, ඉහළ වැව්වල බැමිවලට වඩා ප්‍රමාණයෙන් විශාලය. එයට හේතුව ඉහළ වැව්වලට ජලය මුලින්ම ලැබෙන නිසා බැම්මේ ලොකු-කුඩාකම එයට එතරම් අදාළ කරුණක් නොවීමය. එයින් පිටවෙන ජලය පහළ වැවට ඉතා වටිනා නිසා, එහි ජල ධාරිතාව උපරිම කර රඳවා ගැනීමටත්, හදිසියේම ඉහළ වැවෙන් අනපේක්‍ෂිත ජල ධාරිතාවක් ආවොත්, එය රඳවා ගැනීමටත්, පහළ වැවේ බැම්ම ශක්තිමත්ව තිබිය යුතුය.
ඇළපාරේ වාර්ෂික ජල ධාරිතාව රඳවා තබා ගැනීමට සුදුසු ලෙස වැවේ මුල් බැම්ම බැන්දත්, පසුව ගමේ පවුල් සංඛ්‍යාව වැඩිවන විට කූඹුරු අක්කර ප්‍රමාණය ද වැඩිවන බැවින්, ඒවාට අවශ්‍ය අතිරික්ත ජලය රඳවා ගැනීමට බැම්මේ හා වානේ උස ද වැඩි කරන ලදි.
රැඳවුම් බැමි, අමුණු හා ග්‍රාමීය ජල පාලනය
මහාචාර්ය මද්දුම බණ්ඩාර මීට අවුරුදු 40කට පෙර ලියා ඇත්තේ ජල මාර්ග දිගේ ග්‍රාමීය වැව් වැනි ජලය ගබඩා කිරීමේ ක්‍රම භාවිත නොකරන නිසා ජලය අපතේ යන බවත්, සමහර විට ඒ ජලය විනාශකාරී ස්වරූප ගන්නා බවත්ය. පසුගිය වසරේ ඇති වූ ජල ගැලීම් වැනි ව්‍යසන පාලනය කිරීමට ගංගා දිගේ ජලාශ ඉදි කිරීමේ ඇති වැදගත්කම ගැන පේරාදෙණියේ භූ ඉංජිනේරු අංශයේ හිටපු ප්‍රධානියා වූ උදේනි බණ්ඩාර අමරසිංහ ද මෑතක දී ලියා ඇත.
එල්ලංගාවක සාමාජික වැවක් යටතේ ජීවත්වී අත්දැකීම් ඇති මා සිතන්නේ මහවැලි වැනි විශාල ජලප්‍රභවයකත් එල්ලංගා වැනි ජල පාලන ක්‍රමයක් සුළු ප්‍රමාණයෙන් හෝ අනුකරණය කිරීමට බැමි හෝ හැරවුම්වේලි බැඳ තිබුණා නම්, කොත්මලේ සිට කි. මී. 40 දිගේ දිට්වා ගෙනා උදහස අඩුකර ගැනීමට ඉඩ තිබුණ බවය. කොත්මලේ හා පේරාදෙණිය අතර එවැන්නක් නොතිබුණ නිසා, කුපිත වී ඒ ආ ජලකන්දරාව රඳවා ගැනීමට හෝ එහි ජවය පාලනය කරගැනීමට මහවැලි ගඟට නොහැකි විය.

ගමේ වැව්බැම්ම බැඳ ඇත්තේ එයට ජලය ගෙනෙන ඇළ පාරේ ප්‍රධාන ගුණාංග වන එහි ගලන ජලයේ ප්‍රවේගය, පරිමාව හා එම ජලයේ ඇති විනාශකාරී බලයේ භෞතික ගුණාංග ගැන දැනුවත්ව නිසා, ගම්මු ඇළේ එන ජලයේ ඇති විනාශකාරීකම හීලෑකර, එය වාන, හොරොව් හා කරහන් හරහා යැවීමෙන් බලාපොරොත්තු වූයේ එම ජලය ප්‍රතිචක්‍රකරණය කිරීමකි. රැඳවුම් බැමි හෝ අමුණු නැති නිසා මහවැලි ගඟට එහි අතිරික්ත ජලය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ක්‍රමයක් නො වීය. බොහෝ විට ඔලගම වැවක් ගම අසල වෙනත් ක්‍ෂුද්‍ර ද්‍රෝණියක ඇළපාරකින් පෝෂිතවන නිසා, එයද, එල්ලංගාවක කුළුවැව් ඇතුළු වැව් දාමයේ ගලන ජලය පාලනය කරන රැඳවුම් බැමි යයි කීම නිවැරදිය.
වැවක ,මඩ, හා ගොඩ හොරොව් දෙකෙන් ජලය බෙදා හරින නිසා, ඒවා ද ජල පාලනය කිරීමේ කාර්යයට කෙළින්ම සහභාගි වී, බැම්මට එල්ලවන පීඩනය ඌන කරයි. වෙලේ ඉහළ හා පහළ ඇළපත් දෙකට හොරොව් දෙකෙන් ජලය මුදා හරින නිසා, එයින් ඇළපාර වැවට ගෙනා ජල ධාරිතාව දෙකට බෙදා යවයි. හොරොව්වකින් පිට වූ ජලය, ගමේ විවිධ කුඹුරු යායවලට යැවීමට කරහන් යොදා, ඒ මගින් ක්‍ෂුද්‍ර පාලනයකට ලක් කරයි. කුඹුරු හරහා අතිරික්ත ජලය මුදාහැරීමට අපහසු නම්, හොරොව්ඇළ, කුඹුරේ වනාත්වැට සාදා ඇති වනාත්වැටිය ඔස්සේ හරවා යවා වැවේ ගබඩාකර ඇති ජලයේ පීඩනය අඩු කරති. මේ බහිද්වාර සියල්ලෙන්ම ශූන වී යන ජලයේ ශේෂය වෙල් යායට පහළින් නැවත මව් ඇළට වැටී පහළ වැවට ගලා යයි. මේ වතුරට කියන්නේ ,වෙල් පහු වතුර, කියා ය.
ඇළ පාරේ හා වැවේ ජලය මේ අනුව ගලා බැසීමට සකස් කර ඇති නිසා, ජලයේ බලය අකර්මණ්‍යකර එල්ලංගාවේ පහළ වැව්වලට යොමු කිරීමෙන් වැව් දාමයේ සියලු වැව් එම ජලයෙන් තම අක්‍ෂය දිගේ ඇති විය හැකි හානිය ඌන කිරීමේ වගකීම බෙදා ගෙන ඇත. මෙවැනි ක්‍රමයක් මහා ගංගා හා ඔයවල්වල නැති බව දිට්වා කුණාටුවෙන්ද, 1957 නත්තල් දා කැඩීගිය නාච්චාදූව වැවෙන් ද අපි දැක්කෙමු. ඉදිරි කාලවලත් එවැනි විනාශකාරී ජාන රැගත් කුණාටු ආවොත්, ඒවා පාලනය කිරීමට ඉහතින් කී විධි ගැන සොයා බැලීම අගේය.
ජලාශ
ලංකාවේ ජලවිදුලිය නිෂ්පාදනය, ගොවි වගාව නගා සිටුවීම හා ජලගැලීම් වැළැක් වීමට ගංඟාවල ජලාශ ඉදිකිරීම පිළිබඳව මුලින්ම යෝජනාව ඉදිරිපත් වූයේ 1961 මැයි මස ලෝක බැංකුව විසින් නිකුක් කරන ලද ලංකා ගංඟා ද්‍රෝණි සංවර්ධනය (Rver valleyDevelopment) යන වාර්තාවෙනි. එහෙත් එහි සඳහන් මොරගහකන්ද ජලාශය ඉදිකිරීම ඉබිගමනින් ගිය නිසා, එය දියත් කිරීමට රජයට අවුරුදු 60ක් ගත විය. 1978 දී ආරම්භ කරන ලද කඩිනම් මහවැලි ව්‍යාපෘතියේ ප්‍රතිඵල බලා ගැනීමට ද වසර 30ක කාලයක් ගත විය.
දිට්වා වැනි කුණාටු කලින් කල ආ නිසා, එවැනි ප්‍රමාදවලින් කෙතරම් හානි හා ආර්ථික අලාභ වෙන්නට ඇත්ද.. ඉදිරි කාලවලදීත් එවැනි භීෂණ විය හැකි නිසා, එල්ලංගා ක්‍රමය අනුසාරයෙන් ගංගා ඔයවල් ආශ්‍රිතව අමුණු හා වේලි ඉදිකිරීම ඉක්මන් කළ යුතුය. මහා පරිමාණයේ ජල මූලාශ්‍රවලින් ඉපැදෙන ජල ගැලීම් ගැන අවධානයකින් යුතුව ගංගා ආශ්‍රිතව ද ජලාශ ඉදිකළ යුතු බව වාරිමාර්ග ඉංජිනේරුවෙකු වන වූ ජී.ටී. ධර්මසේන මෑතක දී මතක් කර දුන්නේ ය.
එල්ලී වැටී ඇති දුම්රිය පාර
උතුරුමැද පළාතේ ජලාශවලින් පහළ-මහවැලි ගඟේ විනාශකාරි සැලසුම් මෙල්ලවී ඇති හැටිත්, දිට්වා කුණාටුව යකා නටන වෙලාවේ, මේ ජලාශ සීරුවෙන් සිට, වියළි කලාපයට එයින් විය හැකි අලාභ හානි පාලනය කරගෙන සිටි හැටිත් අපූරුය.
කැලණි මිටියාවතේ හා මධ්‍යම පළාතේ ජනගහනය උතුරුමැද හා නැගෙනහිර පළාත් දෙකේ ජනගහනයට වඩා නවගුණයකින් වැඩි වුවත්, කැලණි-මහවැලි මිටියාවත්වල ඇත්තේ ගංගා ආශ්‍රිත ජලාශ 6ක් පමණි. එහෙත් උතුරුමැද හා නැගෙනහිර පළාත් දෙකේ ගංගා හා ඔයවල් ආශ්‍රිත ජලාශ 12ක් ඇත. මධ්‍යම පළාතටත්, කැලණිවැලි ප්‍රදේශයටත්, තව ජලාශ කීපයක් තිබුණා නම්, දිට්වා කුණාටුවෙන් ද ඇති වූ දේපළ හා ජීවිත හානිය අඩුකර ගැනීමට ඉඩ තිබුණි. ඒ නිසා කෝපි කාලේ නිර්මාණ යයි නොසිතා, එල්ලංගා පද්ධති ක්‍රමයෙන් පිහිටක් ලබා ගැනීම දුරදර්ශී අදහසකි. ඉහත කී යෝජනා ක්‍රියාත්මක කළ හැකි නම්, ඉදිරි කාලවල එන වැහි කුණාටුවලින් කඳුරට දුම්රිය පාරට වූ හානිය වැනි අභාග්‍යවලට තිරිංග තද කළ හැකිය.
කුණාටුවලට අමුතු සමාරකයක්
පේරාදෙණිය අසල එල්ලා වැටුණ පීලි හා සිල්බර කොටන් මාලයේ මතකය දිට්වා කුණාටුව අපට තබා ගිය ස්මාරකයක්ය.
මහවැලි ගඟ කලින් කලට පෙන්වූ කෙරුවාව සැමරීමට ගම්පොළ දුම්රිය ස්ථානයේත් ස්මාරක ඉරක් ඇඳ ඇති බව නාවලපිටිය දුම්රිය ස්ථානාධිපති රංජිත් ප්‍රේමලාල්ගෙන් මට දැනගන්නට ලැබිණ.
1957 නත්තල් දා උතුරුමැද පළාතට ඇදහැළුණු මහ ගංවතුර අනුරාධපුර මල්වතුඔයේ පාලමේ අත්වැටටත් උඩින් ගිය වෙලාවේ, ඔය ඉවුරේ දුම්රිය නිවාසයක පදිංචිව සිටි නිලධාරියෙක් වතුර මට්ටමේ මතකය සිහිකිරීමට බිහි කළ අසාමාන්‍ය ස්මාරකය අදත් ඒ අසලින් උඩමළුවට යන මගීන්ට දැකගැනීමට පුළුවන. ඔයේ වතුර නිවසේ උඩුමාලයටම ආ විට, එහි කොටු වූ නිලධාරියා වතුර බැස ගිය පසු, ඉදිරි පරම්පරාවලට ඒ නස්පැත්තියේ අරුමය දැන ගැනීමට බිත්තියේ සටහන් වී තිබුණ වතුර මට්ටම දිගේ ඉරක් ඇඳ ,ගංවතුර මට්ටම வெள்ள நிலை– 1957-12-25, යයි ලියා තැබීය.
දිට්වා යකඩයකා කළ යමයුද්දෙන් පසුවත් ඈ තබා ගිය ගංවතුර ලකුණ සැමරීමට, අනුරාධපුර එම දුම්රිය නිවාසයේම දැන් පදිංචි නිලධාරියා ද සම්ප්‍රදාය කඩ නොකර බිත්තියේ නිල් තීන්ත ඉරක් ඇඳ,2025-11-28, යනුවෙන් ලියා දුම්රිය ස්ථානාධිපති කෝච්චියේ ,ටැබ්ලට් මඩිය, (Token) දුම්රිය රියැදුරා අතේ ඊළඟ ස්ටේසමට යවන්නාක් මෙන්, මෙම භීෂණ ගංවතුරේ චරියාවත් ඉදිරි පරම්පරාවලට දැනගැනීමට ලියා තැබීය.
ලොකුබණ්ඩා තිලකරත්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd