ශ්‍රී ලංකාවේ වර්තමාන සමාජයේ දේව ඇදහිලි, පාරම්පරික ගුප්ත ශාස්ත්‍ර සම්ප්‍රදායන් සහ ආධ්‍යාත්මික පිළිවෙත් කෙරෙහි දැඩි විශ්වාසයක් තබන පිරිසක් විශාල වශයෙන් දක්නට ලැබේ. මුතුන්මිත්තන්ගේ යුගයේ සිට පරම්පරාවෙන් පරම්පරාවට සුරුකිව පවත්වාගෙන ආ මෙම සම්ප්‍රදායන්හි මිනිස් ජීවිතයේ යහපත, ආරක්ෂාව, සෞභාග්‍යය, මානසික සැනසීම හා සමාජීය දියුණුව උදෙසා විවිධ ආකාරයේ ආධ්‍යාත්මික ක්‍රමවේද භාවිත කර ඇති බව පෙනී යයි. එවැනි සම්ප්‍රදායන් අතර යන්ත්‍ර, මන්ත්‍ර සහ තන්ත්‍ර යන අංශ තුනට හිමි වන්නේ ඉතාමත් සුවිශේෂ ස්ථානයකි.

ගුප්ත ශාස්ත්‍රයෙහි මෙම ප්‍රධාන අංශ තුන අතුරින් යන්ත්‍ර ශාස්ත්‍රය විශේෂයෙන්ම දේව ශක්තිය හා විශ්ව ශක්තිය සංකේතාත්මක රේඛා, අක්ෂර, බීජාක්ෂර සහ ජ්‍යාමිතික රටාවන් මඟින් ආකර්ෂණය කරගැනීමේ ක්‍රමවේදයක් ලෙස සැලකේ. යන්ත්‍රයක් යනු හුදෙක් චිත්‍රයක් හෝ සංකේතයක් නොව, නිශ්චිත ශාස්ත්‍රීය නීතිරීති අනුව නිර්මාණය කර ජීවම් කරන ලද ආධ්‍යාත්මික බල ශක්තියක ආසනයක් බව පාරම්පරික විශ්වාසයන්හි දැක්වේ.

අෂ්ටකර්ම සහ ගුප්ත ශාස්ත්‍රයේ වැදගත්කම

ගුප්ත ශාස්ත්‍ර සම්ප්‍රදායන්හි විශේෂයෙන් සඳහන් වන කරුණක් වන්නේ ”‍අෂ්ටකර්ම”‍ හෙවත් කර්ම අට පිළිබඳ සංකල්පයයි.. මිනිස් අවශ්‍යතා, ආරක්ෂාව, සාමය හා බලශක්තියන්ගේ මෙහෙයවීම සඳහා භාවිත වූ මෙම කර්ම අට පහත පරිදි දැක්වේ.

ශාන්ති කර්මය, වශී කර්මය, ආකර්ෂණ කර්මය, මෝහන කර්මය, ස්ථම්භන කර්මය, විද්වේෂණ කර්මය, උච්චාටන කර්මය, මාරණ කර්මය.

මෙම අෂ්ටකර්ම අතරින් ආකර්ෂණ කර්මයට අයත් වූ අතිශය බලගතු යන්ත්‍ර රත්නයක් ලෙස ”‍ශ්‍රී මහා මාතාංගේශ්වරි යන්ත්‍ර රත්නය”‍ පිළිබඳ පාරම්පරික ග්‍රන්ථ, පුස්කොළ පොත් සහ ගුරු පරම්පරාවන්හි විශේෂ සඳහන් වේ.

ශ්‍රී මහා මාතාංගේශ්වරි යන්ත්‍ර රත්නය යනු කුමක්ද?

පාරම්පරික මන්ත්‍ර-යන්ත්‍ර ශාස්ත්‍රයට අනුව ශ්‍රී මහා මාතාංගේශ්වරි යන්ත්‍ර රත්නය යනු ආකර්ෂණය, වාග් ශක්තිය, ජනප්‍රියත්වය, සෞභාග්‍යය සහ සර්වජන ප්‍රසාදය උදාකර ගැනීම සඳහා භාවිත කළ බව විශ්වාස කෙරෙන අතිශය දුර්ලභ යන්ත්‍රයකි. ලාංකීය යන්ත්‍ර ශාස්ත්‍රයෙහි මාතංගී ශ්‍රී යන්ත්‍ර විවිධ පරම්පරාවන් අනුව වෙනස් ආකාරයෙන් නිර්මාණය වී ඇති අතර, හින්දු ආගමික හා තාන්ත්‍රික සම්ප්‍රදායන්හි මාතංගී දේවියට අදාළ යන්ත්‍ර රාශියක් පවතින බව සඳහන් වේ. එහෙත් ඒවා අතරින් ”‍ශ්‍රී මහා මාතාංගේශ්වරි යන්ත්‍ර රත්නය”‍ ඉතාමත් උසස් තත්ත්වයේ යන්ත්‍රයක් ලෙස සැලකේ.

පුස්කොළ පොත්වල සඳහන් වන අපූරු පාඨය

මෙම යන්ත්‍රය පිළිබඳව පාරම්පරික පුස්කොළ පොත්වල පහත සඳහන් පාඨය දැක්වේ.

”‍පූර්වාභිමුඛං වෛශ්‍යං, දක්ෂිණාභිමුඛ චොරකං,

පශ්චි මේ ධනලාභංච, උත්තරේ ශාන්තිදායකම්

මාතාංගේශ්වර සමං යන්ත්‍රං, ත්‍රිලෝකේෂශ්වර දුර්ලභම්”‍

පාරම්පරික අර්ථකථනයට අනුව මෙම පාඨයෙන් වශීකරණය, ධනලාභය සහ ශාන්තිකරණය සඳහා මෙම යන්ත්‍රයට සමාන වූ තවත් මහා බලගතු යන්ත්‍රයක් තුන් ලෝකයෙහි දුර්ලභ බව ප්‍රකාශ කරයි.

කවුද මාතාංගේශ්වරි මෑණියන්?

මාතංගී දේවිය හෙවත් මාතංගේශ්වරි මෑණියන් දස මහා විද්‍යාවන් අතර නවවන ස්ථානය හිමි කරගන්නා විද්‍යා ශක්ති ස්වරූපයකි. ඇය තාන්ත්‍රික සම්ප්‍රදාය තුළ වාග් ශක්තිය, කලාත්මක හැකියාවන් සහ උසස් දැනුම නියෝජනය කරන දේවතාවියක් ලෙස සැලකේ.

දස මහා විද්‍යාවන්
කාලී දේවිය
තාරා දේවිය
ත්‍රිපුරා සුන්දරී දේවිය
භුවනේශ්වරී දේවිය
භෛරවී දේවිය
ඡින්නමස්තා දේවිය
ධූමාවතී දේවිය
බගලාමුඛී දේවිය
මාතාංගී දේවිය
කමලා දේවිය

මාතාංගී දේවිය බොහෝ විට කොළ පැහැති ශරීරයකින් යුක්තව, වීණාවක්, උක්දණ්ඩක් සහ මනුෂ්‍ය ශීර්ෂ කපාලයක් දරාගෙන සිටින ආකාරයෙන් නිරූපණය කෙරේ. ඇය මහා සරස්වතී දේවියගේ තාන්ත්‍රික ස්වරූපයක් ලෙසද සැලකේ.

භක්තිවන්තයන්ගේ විශ්වාසයට අනුව ඇය,වාග් ශක්තිය වර්ධනය කරන, කථන බලය වැඩි දියුණු කරන, සංගීත හා ගායන හැකියාවන් දියුණු කරන,කලාත්මක නිර්මාණශීලීත්වය වර්ධනය කරන, සාහිත්‍යමය දක්ෂතා ප්‍රවර්ධනය කරන, දැනුම හා බුද්ධිය වර්ධනය කරන, මානසික ශක්තිය ඉහළ නංවන,සෞභාග්‍යය හා ජීවිත දියුණුව උදාකර දෙන දේවතාවියක් ලෙස ගෞරවයට පාත්‍ර වී ඇත.

පාරම්පරික ගුප්ත ශාස්ත්‍රීය හා ආගමික විශ්වාසයන්ට අනුව ශ්‍රී මහා මාතාංගේශ්වරි යන්ත්‍ර රත්නය යනු ආකර්ෂණය, ජනප්‍රියත්වය, වාග් ශක්තිය, සෞභාග්‍යය සහ සමාජීය පිළිගැනීම උදාකර ගැනීම සඳහා භාවිත කළ මහා බලගතු යන්ත්‍රයක් ලෙස සැලකේ.

මාතංගී දේවියගේ උප්පත්ති කතා

මාතාංගී දේවිය සම්බන්ධයෙන් විවිධ පුරාණ කතා සහ උප්පත්ති විස්තර පවතී.ඇතැම් සම්ප්‍රදායන්ට අනුව ඇය පාර්වතී දේවියගේ ශක්ති ප්‍රකාශයක් ලෙස සැලකේ. තවත් පුරාණ කතා අනුව ”‍මාතාංග”‍ නම් මුනිවරයා විසින් සිදු කළ දැඩි තපස් බලයේ ප්‍රතිඵලයක් ලෙස මෙම දේවී ශක්තිය ප්‍රකාශ වූ බව සඳහන් වේ.

මෙම විවිධ සම්ප්‍රදායන් සියල්ලම මාතාංගී දේවියගේ දැනුම, වාග් බලය සහ ආධ්‍යාත්මික බලය යන ගුණාංග අවධාරණය කරයි.

ශ්‍රී මහා මාතාංගේශ්වරි යන්ත්‍රය ජීවම් කිරීමේ සම්ප්‍රදාය

පාරම්පරික ශාස්ත්‍ර සම්ප්‍රදායන්ට අනුව යන්ත්‍රයක් ආවාට ගියාට ඇඳීමෙන් හෝ ජීවම් කිරීමෙන් එහි ප්‍රතිඵල ලබාගත නොහැකි බව දැඩිව අවධාරණය කරයි.

යන්ත්‍රයක් නිර්මාණය කිරීම ද්විත්ව රේඛාවෙන් යන්ත්‍රය ඇඳීම, ඉරි එකිනෙකෙට නොකැපී බැඳි අකුරු එලෙසමත් නොබැඳි අකුරු එලෙසමත් ඇඳිය යුතුය අතර ජීවම් කිරීම සඳහා සුදුසු කාලවේලාවන්, නැකත්, දිශා හා ආචාර විධි පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇදුරාට තිබිය යුතුය

එහිදී, අව පක්ෂය නොව පුර පක්ෂය තෝරා ගැනීම, සුදුසු නැකත් මූලික කර ගැනීම, මරු සිටින දිශාවට පිටුපා යන්ත්‍රය ඇඳීම, යන්ත්‍ර ජීවම් කරන්නා ඉතා සිල්වත්ව සිටීම, පේවි සිටීම, ස්ත්‍රී ආශ්‍රයෙන් තොරව සිටීම, ස්ත්‍රියක් ලවා ආහාර පිස නොගැනීම, සුරාසූදුවෙන් වැළකීම, මස් මාංශයෙන් වැළකීම, යන කරුණු අවම වශයෙන් දින හතක් හෝ පිළිපැදිය යුතු වේ.

යන්ත්‍ර පූජා විධි

යන්ත්‍ර පූජාසනය සකස් කිරීම සඳහා විවිධ පූජා ද්‍රව්‍ය භාවිත කළ බව පාරම්පරික විස්තරවල දැක්වේ.

ඒවා අතර,අල වර්ග හතක්,බොඩ වර්ග හතක්, කැවිලි වර්ග හතක්, පලතුරු වර්ග හතක්,මී පැණි, අමු කහ, හඳුන්, කිරි, විලඳ, සුවඳ වර්ග, මල් වර්ග හතක් ආදී නොයෙක් පුද පූජා ඇතුළත් වේ.

ඉන් අනතුරුව පහත ක්‍රමවේදයන් අනුගමනය කරන බව සඳහන් වේ.

පූජාසනය කිලිහරණය කිරීමට

කිලිහරණ මන්ත්‍රයෙන් මතුරා දුම් ඇල්ලීම, කහදියර ඉසීම, ගුරු වරම් මන්ත්‍රයෙන් දුම් දීම, ප්‍රධාන දිෂ්ටි මන්ත්‍රයෙන් දිෂ්ටි කිරීම, කැප කිරීමේ මන්ත්‍රයෙන් පුද කැප කිරීම, ප්‍රාණ මන්ත්‍රයෙන් ප්‍රාණ ගැන්වීම, ජීවම් මන්ත්‍රයෙන් නියමිත වාර ගණනක් 108,1008,10000 වර හෝ ලක්ෂවර ජීවම් කිරීම, පලිප්පු මන්ත්‍රයෙන් පිලිප්පු ගැන්වීම, සිද්ධි මන්ත්‍රයෙන් සිද්ධි ගැන්වීම, සුඬිය මන්ත්‍රයෙන් සුඬිය කිරීම, පුට මන්ත්‍රයෙන් පුට කිරීම යන්ත්‍ර ජීවමේ අවසානය වේ.

මෙම සියලු‍ ක්‍රමවේද නිසි පිළිවෙළින් සිදු කිරීමෙන් අනතුරුව යන්ත්‍රය භාවිතයට සුදුසු තත්ත්වයට පත්වන බව පාරම්පරික විශ්වාසයන්හි සඳහන් වේ.

යන්ත්‍රය පැලඳවීමේ සාම්ප්‍රදායික ක්‍රමය

අවසානයේ යන්ත්‍රය නිසි පරිදි හකුළා රන් සුරයකට හෝ රිදී සුරයකට දමා ආරක්ෂා කරයි.

ඉන් පසුව, සූර්යාලෝකය පොළොවට පතිත වන උදෑසන හිමිදිරියේ, නියමිත හෝරාව බලා, දොස් ඉවත් කිරීම සඳහා දෙහි කපා, සූර්යයා දෙස බලා, යන්ත්‍රය පැලඳවීම සාම්ප්‍රදායික ක්‍රමවේදයක් ලෙස සඳහන් වේ.

මාතාංගේශ්වරි මන්ත්‍රයේ සඳහන් බල

මෙම යන්ත්‍රයට අදාළ මන්ත්‍රයක කොටසක පහත සඳහන් පාඨය ඇති බව කියැවේ.
”‍සර්ව රාජ වසං කරී, සර්ව ස්ත්‍රී පුරුෂ වසංකරී, සර්ව දුෂ්ට මෘග වසංකරී, සර්ව සත්ත්ව වසංකරී, සර්ව ලෝක වසංකරී, සර්ව ජන වසංකරී, සර්ව යක්ෂ භූත ප්‍රේත පිසාච වසංකරී.”‍

පාරම්පරික අර්ථකථන අනුව මෙම පාඨයෙන් රාජරාජ අමාත්‍යවරුන්, ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය, දුෂ්ට සතුන්, සාමාන්‍ය ජනතාව මෙන්ම යක්ෂ, භූත, ප්‍රේත සහ පිසාච ආදී අමනුෂ්‍ය බලවේග පවා ආකර්ෂණය කර ගැනීමේ හැකියාව මෙම යන්ත්‍රයට ඇති බව විශ්වාස කෙරේ.

එසේම ධන ධාන්‍ය ආකර්ෂණය, සෞභාග්‍යය වර්ධනය, ජනප්‍රියත්වය සහ සමාජීය පිළිගැනීම උදාකර ගැනීම සඳහාද මෙය භාවිත කළ බව පාරම්පරික සම්ප්‍රදායන්හි සඳහන් වේ.

වර්තමාන සමාජය හා ශාස්ත්‍රය

වර්තමානය වන විට ශාස්ත්‍රය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති ඇතැම් පුද්ගලයන් විසින් මිනිසුන් මුළාවට ඇද දමමින් පාරම්පරික ශාස්ත්‍ර සම්ප්‍රදායන් විකෘති කරන අවස්ථා දක්නට ලැබේ.

මෙම යන්ත්‍රය නිර්මාණය කිරීම, ජීවම් කිරීම සහ පැලඳවීම අතිශය දුෂ්කර කාර්යයක් බවත්, ඒ සඳහා ගුරු පරම්පරාවෙන් ලැබුණු නිසි දැනුම, ආචාර විධි සහ ශාස්ත්‍රීය පළපුරුද්ද අත්‍යවශ්‍ය බවත් අවධාරණය කෙරේ.

ශාස්ත්‍රය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති පුද්ගලයන් විසින් මෙවැනි කටයුතු කිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොලැබෙන බවත්, ඇතැම් විට අහිතකර ප්‍රතිඵල පවා ඇති විය හැකි බවත් පාරම්පරික විශ්වාසයන්හි සඳහන් වේ.

පාරම්පරික ගුප්ත ශාස්ත්‍රීය හා ආගමික විශ්වාසයන්ට අනුව ශ්‍රී මහා මාතාංගේශ්වරි යන්ත්‍ර රත්නය යනු ආකර්ෂණය, ජනප්‍රියත්වය, වාග් ශක්තිය, සෞභාග්‍යය සහ සමාජීය පිළිගැනීම උදාකර ගැනීම සඳහා භාවිත කළ මහා බලගතු යන්ත්‍රයක් ලෙස සැලකේ. විශේෂයෙන් ව්‍යාපාරිකයන්ට, ජනතාව අතර කැපී පෙනීමට අපේක්ෂා කරන අයට, කථිකයන්ට, කලාකරුවන්ට, ගායකයන්ට සහ සර්වජන ප්‍රසාදය අපේක්ෂා කරන පුද්ගලයන්ට මෙය ගැළපෙන බව පාරම්පරික සම්ප්‍රදායන්හි සඳහන් වේ.

කෙසේ වෙතත්, මෙම ලිපියේ සඳහන් සියලු‍ කරුණු පදනම් වී ඇත්තේ පාරම්පරික ගුප්ත ශාස්ත්‍රීය, තාන්ත්‍රික හා ආගමික විශ්වාසයන් මත බව අවධාරණය කළ යුතුය. එම විශ්වාසයන්හි ප්‍රතිඵල පිළිබඳ අදහස් සහ පිළිගැනීම් පුද්ගලයාගේ ආගමික දැක්ම, සංස්කෘතික පසුබිම සහ පෞද්ගලික විශ්වාස අනුව වෙනස් විය හැකිය.

ඒ අනුව, ශ්‍රී මහා මාතාංගේශ්වරි යන්ත්‍ර රත්නය යනු ලාංකීය ගුප්ත ශාස්ත්‍ර සම්ප්‍රදායේ ඉපැරණි දැනුම, ආගමික භක්තිය, ආධ්‍යාත්මික සංකල්ප සහ සංස්කෘතික උරුමය එක්තැන් වූ දුර්ලභ පාරම්පරික යන්ත්‍ර රත්නයක් ලෙස සැලකිය හැකි අතර, එය පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් ශ්‍රී ලාංකීය ජන සම්ප්‍රදායන්ගේ ගැඹුරු ආධ්‍යාත්මික චින්තනය හා පුරාණ දැනුම් පද්ධතිය පිළිබඳ වැදගත් අවබෝධයක් ලබාගත හැකි වේ.