IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


අමරණීය මතක ඉතිරි කළ බෝසත් රාජා

 

 

  • 1986 වසරේ අගෝස්තු මස 20 දින  ජාතික වස්තුවක් ලෙස එවකට ජනාධිපතිව සිටි ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් රාජා ඇතා නම් කරන ලදී. ඒ අනුව ජාතික වස්තුවක් ලෙස නම් කරන ලද ලොව පළමු හීලෑ ඇතාට හිමි ගෞරවය රාජා හස්තියාට හිමි විය. මිය ගිය පසුව සංරක්ෂණය කොට ප්‍රදර්ශනයට එක් කරන ලද මෙරට පළමු ඇතා රාජාය. 
  • දළදා මාලිගාවේ ඇසළ පෙරහර සමයේදී සිදු වූ විශාලතම අලි කුලප්පුව වාර්තා වූයේ 1959 වසරේදීය. මෙම අලි කුලප්පුවේදී සියලු‍ම අලි ඇතුන් මෙන්ම නැට්ටුවන්, බෙර වාදකයන් මෙන්ම පෙරහර නරඹන්නෝද සී සී කඩ දිවයන්නට වූහ. එහෙත් සධාතුක කරඬුව පෙරහරේ වැඩම්ම වූ රාජා නිසොල්මන්ව සිටියේ අලි කුලප්පුව ගැන වගේ වගක් නැතුවා සේය.
ඓතිහාසික සෙංකඩගල පුරවරයේ අසිරිමත් මෙන්ම මහත් අභිමානවත් මංගල්‍යය ලෙස සැලකෙන දළදා පෙරහර ආරම්භවීමට ඇත්තේ තව නොබෝ දිනකි. දළදා පෙරහර කියූ සැණින් කාගෙත් සිත් තුළට කිඳා  බසිනුයේ දළදා කරඬුව රැගෙන මහත් ගෞරවයෙන් හා අභිමානයෙන් මෙන්ම ගරු ගාම්භීරව,  දිගැති දළ යුගලයක් සහිත පෙරහරේ ගමන් ගන්නා හස්තියාගේ හා අනෙකුත් අලි ඇතුන්ගේ  රූපයන්ය. 
 
මෙරට වැසියන් මහත්සේ ගෞරව කරන ලද දළදා පෙරහර අභිමානවත් කළ රාජා හස්තියා සහ නැදුන්ගමුවේ රාජා හස්තියා මේ වනවිට අප අතහැර ගොස් සිටී. රාජා හස්තියා මිය ගොස් පසුගිය ජූලි මස 16 දිනට වසර 35 ක් ගතව තිබේ. නැදුන්ගමුවේ රාජා හස්තියා මිය ගොස් පසුගිය මාර්තු මස 07 දිනට වසරක් සම්පූර්ණ වී ඇත. මෙම ඇතුන් දෙදෙනා බෝසත් ගුණ පිරි ඇතුන් ලෙස මෙරට ජනතාව අතර, දැඩි ගෞරවයට හා භක්තියට ලක් වූ ඇතුන් දෙදෙනෙකු ලෙස ප්‍රකටව සිටියහ.
නැදුන්ගමුවේ රාජා හස්තියාගේ සිරුර සංරක්ෂණය කොට නැවත ජනතාවට දැක බලා ගැනීමට පියවර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනු ලැබුවත් එම හස්තියාගේ සිරුර තවමත් ශීතකරණයක තැන්පත් කොට ඇති බවට පසුගිය දිනවල මාධ්‍ය විසින් වාර්තා කොට තිබිණි. 
 
මෙරට පවතින හීලෑ අලි ඇතුන්ගේ උග්‍ර අඩුවත්, රාජා හා නැදුන්ගමුවේ රාජා යන හස්තීන්ගේ අඩුවත් හේතුවෙන් දළදා කරඬුව වැඩම්මවීමේ පෙරහර මංගල්‍යයට අලි ඇතුන්ගේ දැඩි අඩුවක් නිර්මාණය වෙමින් පවතින බව දළදා  මාලිගාවේ දියවඩන නිලමේ  ප්‍රදීප් නිලංග දෑල  මහතා පවසයි. මේ ආකාරයට ගියහොත්, 2040 වසර වනවිට මෙරට හීලෑ අලි ඇතුන් 11  දෙනකු දක්වා අඩු වන බව ද ඔහු පෙන්වා දෙයි. පෙරහර මංගල්‍යයන් සඳහා සහභාගි කරවා ගත හැකි හීලෑ අලි ඇතුන් දැනට මෙරට සිටිනුයේ 94ක් බවත්, ඔවුන්ගේ බහුතර අලි ඇතුන් පිරිසක් වයස අවුරුදු 50 ඉක්මවූවන් බවද ඒ මහතා පවසයි.
මෙරට හීලෑ අලි ඇතුන් එසේ ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතින යුගයක මෙරට විසූ උතුම් වූ බෝසත් ගුණයෙන් පරිපූර්ණ වූ හස්තියෙකු ලෙස සැලකෙන රාජා හස්තියා පිළිබඳව කතා නොකර සිටිය නොහැකිය. රාජා හස්තියා දළදා මාලිගාව  සෙවණේ හැදී වැඩී පනස් වසරක් මුළුල්ලේ උතුම් වූ දළදා  පූජෝපහාරයට එක්වීමට තරම්  වසානාවන්ත වූවෙකි. දළදා  වහන්සේට ඉතාමත් ගෞරව භක්තියක් දැක්වූ රාජා හස්තියා තිරිසන් සතෙකු වුවද බෝසත් ගුණ පිරි හස්තියෙකුවීම හේතුවෙන් “බෝසත් රාජා” යන නමින්ද රාජා හස්තියා ආමන්ත්‍රණය කිරීමට මෙරට ජනයා පෙළෙඹී සිටියහ.
 
රාජා ඇතා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සමග
 
මහනුවර දළදා පෙරහර කියූ සැණින් අප කාගේත් සිත් තුළට කිඳා බසින්නේ මෙන්ම මැවී පෙනෙන්නේ සදාතුක කරඬුව පෙරහරේ වඩම්මවාගෙන යනු ලබන තේජවන්ත ඇත් රජෙකුගේ අසිරිමත් රූප සොබාවයි. සදාතුක කරඬුව පෙරහරේ වඩම්මාගෙන යාමට එසේ මෙසේ ඇතෙකුට නොහැකිය. ඒ සඳහා තේජවන්ත එමෙන්ම පින්වන්ත මංගල ඇතෙකු ඕනෑ වේ.
එවැනි ඇතෙකු එකල මහනුවර දළදා මාලිගාවේ ඇත් පන්තිය සතුව සිටි අතර, එම ඇතා මෙලොව හැර ගොස් මේ වනවිට වසර 35 ක් ඉක්ම ගොස් තිබේ. මාලිගාවේ ඇතා කියූ සැණින් මෙරට ජනතාවගේ මුවඟට නිරායාසයෙන්ම එනුයේ රාජා යන නාමයයි.  
 
1988 වසරේ ජූලි මස 16 දින පෙරවරු 10.16 ට මෙළොව හැරගිය රාජා හස්තියා අපිට අදත් දැනෙනුයේ තවමත් ජීවත්ව සිටිනවා සේය. අධික කාලයක් ආයු වැළඳූ රාජා හස්තියා හදිසි රෝගාබාධ තත්ත්වයක් මත මියයන විට වයස අවුරුදු 75 ක් පමණ  කාලයක් ජීවත්ව සිටීමට තරම් වාසනාවන්ත විය.
මඩකළපුව, එරාවුර් හි කැලෑ ප්‍රදේශයකදී අලි අල්ලන මුස්ලිම් අයෙකු විසින්   1925 වසරේ දෙසැම්බර් මස 11 දින අංක 1318 දරන රජයේ බලපත්‍රය මගින්  රාජා ඇත් පැටවා අල්ලාගෙන තිබේ. රුපියල් 3300 ක් ගෙවා මහනුවර, ගිරාගම, ටිකිරි බණ්ඩා මාම්පිටිය දිසාවේ විසින් මෙම ඇත් පැටවා එම මුස්ලිම් ජාතිකයාගෙන්  මිලට ගෙන තිබේ. එවකට මෙම ඇත් පැටවා අඩි හතරයි අඟල් තුනක් උසකින් යුක්ත වූ ඉතාමත් නිරෝගිමත්  ඇත්පැටවෙක් විය. මෙම අලි අල්ලන්නා කැලෑවලින් අල්ලා ගනු ලබන අලි පැටවුන් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ජීවත් වන වංශක්කාර පුද්ගලයන්ට මුදලට විකුණා ජීවත් වූ අයෙකු ලෙස ප්‍රකට පුද්ගලයෙකි.
එදා එසේ මාම්පිටිය වලව්වට රැගෙන එන ලද ඇත් පැටවාට රාජා යන නම තැබීය.  එම වලව්වේ මාම්පිටිය දිසාවගේ කරුණාබර ඇප උපස්ථාන  මැද සුවසේ හැදී වැඩුණු මෙම ඇත් පැටවා රැක බලා ගැනීමේ ගැටලුවකට මුහුණපාන ලද්දේ මාම්පිටිය දිසාවේ වයසට යාමත් සමගය.
 
රාජා සමග ජනාධිපති ආර්. ප්‍රේමදාස සහ දියවඩන නිලමේ නෙරන්ජන් විජේරත්න මහත්වරු
 
 
ඒ නිසාවෙන් 1937 ජූලි මස 31 දින මාම්පිටිය දිසාවේ කදිම තීරණයක් ගනු ලැබීය. ඔහු එවකට දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා වූ ටිකිරි බණ්ඩා රත්වත්තේ මහතාට මෙම ඇත්පැටවා භාර දුන්නේ මාලිගාවට පූජා කරමිනි. එදින දෙනෝදාහකගේ සාධුකාර හඬ මැද්දේ මාම්පිටිය දිසාවේ විසින් මෙසේ රාජා  ඇත් පැටවා මාලිගාවට පූජා කිරීම මගින්, මාලිගාවේ ඇත් පරපුරේ නව සන්ධිස්ථානයක් බවට පත්වෙතැයි මාම්පිටිය දිසාවේවත්, රත්වත්තේ දියවඩන නිලමේවරයාවත් එමෙන්ම අන් කිසිවෙකුවත් සිතන්නට නැති බව නම් නිසැකය.
 
රාජා ඇත්පැටවා එම වසරේම  ඇසළ පෙරහරේ  සධාතුක කරඬුව ගෙන යන ඇතාගේ පරිවාර හස්තියෙකු ලෙස යාමට තරම් වාසනාවන්ත වූ අතර, උපශාන්ත ගමනින්, සන්සුන් මනසින් යුතුව එදා පෙරහරේ ගමන් ගත් රාජා සෑම අයෙකුගේම ආදරය, කරුණාව දිනා ගැනීමට පළමු පෙරහරේදීම සමත්කම් දැක්වීය. එසේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්තියට එක් වූ රාජා හස්තියා, සධාතුක කරඬුව වැඩමකරවීමේ මංගල හස්ති රාජයෙකුගේ සතු සියලු‍ම සුදුසුකම් සපුරා තිබිණි. මංගල හස්තියෙකුගේ අංග හතක් පොළොවේ ස්පර්ශ විය යුතුය යන්න පිළිගැනීමයි. ඇතෙකුගේ පාද හතර, හොඬවැල, වල්ගය මෙන්ම ලිංගය බිම ස්පර්ශ වේ නම් ඔහු මංගල හස්ති රාජයෙකුවේ. ඊට අමතරව මංගල හස්තියෙකු වීමට තවත් ගුණාංග රාශියක්ද තිබිය යුතුය. පුළුල් පිට, පුළුල් කුඹුතල, උදාර ලීලාව, තේජන්විත දළ යුගල, මනා කීකරු බව ආදී එකී කරුණුද රාජා ඇතා   සපුරා තිබිණි. 
ලෝකයේ සිටින සතුන් අතරින් ඥානාන්විතම සත්වයෙකු ලෙස රාජා ඇතා පිළිගැනේ. රාජා එසේ වූයේ මිනිසාගේ විෂම සිතුවිලි, ආවේග මෙන්ම හැඟීම් අසුරු සැණින් හඳුනාගැනීමේ ඥානයත්, ඉවසීමත් නිසාය. දුක, සතුට, හොඳ, නරක වෙන්වෙන්ව හඳුනාගැනීමට කදිම ප්‍රඥාවක් මෙන්ම ඉවක් තිබූ රාජාට තවත් නම්බුවක් වූයේ දළදා වහන්සේගේ පහස විඳිමින් වසර 50 ක පමණ  කාලයක් දළදා මාලිගාවේ පෙරහරට සම්බන්ධවීම නිසාය. එයින් වසර 37 ක කාලයක් සධාතුක කරඬුව වඩම්මාගෙන යාමට තරම් රාජා ඇතා පින්කොට තිබිණි. තීක්ෂණ බුද්ධියෙන් හෙබි ඥානාන්විත රාජාගේ එකී බුද්ධිය විදහාපාන ලද අතුරු කතාවන්ද රැසක් පවතී. 
දළදා මාලිගාවේ පෙරහර පැවැත්වූ 1955 වසරේදී පෙරහරේ අපූර්වතම සිද්ධියක් සිදුව තිබේ. රාජා හස්තියා කරඬුව වඩම්මාගෙන තේජවන්ත ලීලාවෙන් පෙරහරේ ගමන් කරමින් සිටියදී එක්වරම රැජින හෝටලය ආසන්නයේදී නතර විය. දන්නා කියන සියලුම ශිල්ප භාවිත කරමින් රාජා පෙරහරේ ඉදිරියට රැගෙන යාමට ඇත්ගොව්වා කටයුතු කළද රාජා එකදු  අඩියක්වත් ඉදිරියට තැබුවේ නැත. සිද්ධිය සැලවීමත් සමග එවකට දියවඩන නිලමේවරයා වූ සී.බී. නුගවෙල මහතා රාජා හස්තියාගේ ඉදිරියට ගොස් කතා කෙළේය. රාජා සිහින් හඬින් කෙඳිරි ගෑවා මිස ඉදිරියට ගියේ නැත. නුගවෙල මහතා වහාම කරඬුව හෙබි රන්සිවිගෙයි බැඳ  ඇති පටි පරීක්ෂා කිරීමට උපදෙස් දුන් අතර, එවිට දැක ගැනීමට හැකි වූයේ එහි ලණුපටක් සම්පූර්ණයෙන්ම ගැලවී  ගොස් ඇති බවයි. රාජා තවත් අඩියක් දෙකක් ඉදිරියට ගියේ නම් කරඬුව බිම වැටීමට පවා ඉඩ තිබිණි. එකී අඩුපාඩුව සැකසූ පසුව යළි රාජා ඇතා ආඩම්බරයෙන් යුතුව පෙරහරේ ගමන් කරන ලද්දේ පෙරහර නැරඹීමට පැමිණ සිටි දෙනෝදාහක් ජනයාගේ සාධුකාර හඬ මැද්දේය.
වරක් රාජා හස්තියා කටුගස්තොට ප්‍රදේශයේදී මදකිපී මාර්ගයේදී විශාල පෙරළියක් කරන්නට විය. මහජනයා හිස් ලූ ලූ අත දිවයන්නට වූයේ මදකිපීමෙන් කලබලයට පත් රාජාගෙන් බේරීමටය. මාර්ගය හරහා මාරුවෙමින් සිටි අන්ධ පුද්ගලයෙකුට මෙම කාලගෝට්ටිය ඇසී ‘‘අනේ මට නම් මුකුත් කරන්න එපා’’ යයි කෑ ගැසීය. කුලප්පු වූ රාජා එම අන්ධ පුද්ගලයාව හොඬවැලෙන් ඔසවා ආරක්ෂාකාරීව මාර්ගය අයිනේ තැබුවේ එදෙස බලා සිටි සියල්ලන්ම මවිතයට පත් කරමිනි. 
 
පනික්කාර් රුපියල් දහසේ මුදල් නෝට්ටුව
 
තවත් වරක්, මහවැලි ගංගාවේ දිය නෑමට ගිය රාජා දැඩි ලෙස කුලප්පු වී කැලෑවට වැදිණි. එවකට දියවඩන නිලමේවරයා වූයේ නෙරංජන් විජේරත්න මහතාය. සිද්ධිය සැලවීමත් සමග මහවැලි ගඟේ රාජා සිටි ලේවැල්ලට ගිය නෙරංජන් විජේරත්න මහතා, රාජාට වාර කීපයක් හයියෙන් කෑගසා අඬ ගැසීය. කුලප්පු වී කැලෑවට වැදී සිටි රාජා එම හඬට අවනතව කැලෑවෙන් එළියට ආවේ කිසිවක් සිදු නොවූ පරිදි ඉතාමත් ශාන්ත ලීලාවෙනි.
 
දළදා මාලිගාවේ ඇසළ පෙරහර සමයේදී සිදු වූ විශාලතම අලි කුලප්පුව වාර්තා වූයේ 1959 වසරේදීය. මෙම අලි කුලප්පුවේදී සියලු‍ම අලි ඇතුන් මෙන්ම නැට්ටුවන්, බෙර වාදකයන් මෙන්ම පෙරහර නරඹන්නන් සී සී කඩ දිවයන්නට වූහ. එහෙත් සධාතුක කරඬුව පෙරහරේ වැඩම්මවූ රාජා නිසොල්මන්ව සිටියේ අලි කුලප්පුව ගැන වගේ වගක් නැතුවා සේය.
එසේ වසර 75 කට අධික කාලයක්  ජීවත් වූ රාජා 1988 ජූලි මස 16 වෙනි දින මියගියේ බෞද්ධ මෙන්ම අන්‍යාගමිකයන්ගේද හදවත් උණු කඳුළෙන් තෙත් කරවමිනි. රාජා හස්තියා මිය ගොස් වසරක් වැනි කෙටි කලකදී යළි ජීවමාන ලෙස දළදා මාලිගාව පරිශ්‍රයේ සිටගනු ලැබුවේ රාජාගේ මතකයන් යළිත් සිහි කරවමිනි. දළදා මාලිගාව පරිශ්‍රයේ පිහිටි කෞතුකාගාරය තුළ රාජාගේ තේජවන්ත රූපකාය මතු පරපුර වෙත යළි එසේ බලාගනු පිණිස සකසන ලද්දේ 1989 වසරේ දෙසැම්බර් මස 12 වැනිදාය. මුද්දර කාර්යංශය මගින් අංක 182 යටතේ රාජා ඇතාගේ රුව රැගත් මිලිමීටර් 29/36 ප්‍රමාණයේ ශත හැත්තෑපහක වටිනාකමකින් යුත් මුද්දරයක්ද  එදිනම නිකුත් කරන ලදී.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2004.04.10 දින නිකුත් කරන ලද රුපියල් 1000 ක වටිනාකමකින් යුතු මුදල් නෝට්ටුවේ ඉදිරිපසට රාජා ඇතා කරඬුව දරාගෙන  සිටින චිත්‍රයක් ඇතුළත් කොට තිබේ. එහි අසල සිටින ඇත්ගොව්වාගේ රුව රාජා ඇත් පැටවා අල්ලා ගනු ලැබූ මුස්ලිම් ජාතිකයා බව පැවැසේ. එම නෝට්ටුවේ පිටුපස කොටසට ශ්‍රී දළඳා  මාලිගාවේ රුවක් එක් කොට තිබේ.
 
රාජා ඇතා දියවඩන නිලමේවරුන් සය දෙනෙකුගේ කරුණාව  යටතේ ජීවත්වූ සුන්දර හා වාසනාවන්තම හස්තියෙකු ලෙස ප්‍රකටය. ටිකිරි බණ්ඩා රත්වත්තේ (1937-1947), කුඩා බණ්ඩා  නුගවෙල (1947-1961) , හැරිස් ලෙව්කේ රත්වත්තේ (1961-1964) , හීන් බණ්ඩාර උඩුරාවණ (1964-1975) , නිශ්ශංක විජේරත්න (1975-1985), නෙරංජන් විජේරත්න (1985-2005)  එම දියවඩන නිලමේවරුන්ය.
 
1986 වසරේ අගෝස්තු මස 20 දින  ජාතික වස්තුවක් ලෙස එවකට ජනාධිපතිව සිටි ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් රාජා ඇතා නම් කරන ලදී. ඒ අනුව ජාතික වස්තුවක් ලෙස නම් කරන ලද ලොව පළමු හීලෑ ඇතාට හිමි ගෞරවය රාජා හස්තියාට හිමි විය. මිය ගිය පසුව සංරක්ෂණය කොට ප්‍රදර්ශනයට එක් කරන ලද මෙරට පළමු ඇතා රාජාය. 
වර්තමානය වන විට  මාලිගාවේ දළදා කරඬුව වඩම්මවාගෙන යාමට ඇත් පරපුරේ අඩුවක් පවතී. රාජා හස්තියා මියයාමෙන් පසුව වරින්වර දළදා  කරඬුව රැගෙන යාමට වාසනාවන්ත වූ තවත් උතුම් ගුණාංගවලින් පිරිපුන් ඇතෙකු වූ නැඳුන්ගමුවේ රාජාද ඉකුත්  වසරේ මාර්තු මස 22 දින මිය යන ලදී. 
වර්තමානය වනවිට මෙරට හීලෑ අලි ඇතුන්ගේ අඩුවක් නිර්මාණය වී පවතින යුගයක විශේෂයෙන්ම  රාජා ඇතාගේ  හා නැදුන්ගමුවේ රාජාගේ අඩුව  මනාව පෙනේ. 
 
 
තලවකැලේ
■ ශාන්ත චන්ද්‍රසිරි
හුලංනුගේ
 

 



අදහස් (0)

අමරණීය මතක ඉතිරි කළ බෝසත් රාජා

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3781 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 43 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1476 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 461 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 170 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 275 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 357 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1755 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1586 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site