IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


පවුම් මිලියන 33ක රාජකීය විවාහ මංගල්‍යය

ලෝකෙන් ටිකක්

 

ලොව වැඩි දෙනකුගේ අවධානයට පාත්‍ර වූ වසරේ සිදුවීම බවට සනිටුහන් කරමින් බ්‍රිතාන්‍යයේ හැරී කුමරු හා අැමෙරිකානු නිළියක වන මෙගාන් මාකල් අතර රාජකීය විවාහය පසුගිය සතියේ පැවැත්විණි.   


වින්ඩ්සර් මාලිගයේ ශාන්ත ජෝජ් දේවස්ථානයේදී බ්‍රිතාන්‍යයේ වේලාවෙන් උදෑසන 9ට මංගල උත්සවය ආරම්භ කෙරුණු අතර රාජකීය සම්ප්‍රද‌ාය අනුව ඒ මොහොතේ සිට හැරී සහ මෙගාන් සසෙක්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය ලෙස නම් කෙරිණි. මංගල උත්සවය සඳහා ආරාධිතයෝ 600ක් පමණ සහභාගී වී සිටියහ. රාජකීය පවුලේ සහ මෙගාන්ගේ පවුලේ සාමාජිකයන් හා හිතමිතුරන්ට අමතරව ප්‍රකට නළු නිළියන්, ගායක ගායිකාවන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, සමාජ ක්‍රියාකාරීන් වැනි විශාල පිරිසක් එයට සහභාගී වී සිටියහ.   


දේවමෙහෙය පැවැති ශාන්ත ජෝජ් දෙව්මැදුර ඉතා අලංකාර ලෙස මලින් සරසා තිබිණි. එම මල් වර්ග පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් 53න් ගෙන එන ලද ඒවා විය. දෙව් මැදුරට පිවිසෙන දොරටුව සුදු පැහැති රෝස මල්වලින් සරසා තිබුණේ හැරී කුමරුගේ මව වූ ඩයනා කුමරිය සුදු රෝස මල්වලට බෙහෙවින් ප්‍රිය කළ බැවින් ඇයට උපහාරයක් ලෙස යැයි කෙන්සිංටන් මාලිගය සඳහන් කර තිබිණි.   


ආරාධිතයන් දෙව්මැදුරට පිවිසීමෙන් පසු රජ පවුලේ සාමාජිකයෝ පැමිණ එහි අසුන් ගත්හ. හැරී කුමරුගේ දෙවැනි මනාලයා වූයේ තම සොහොයුරු විලියම් කුමරුය. ඔවුන් දෙදෙනා දිගු කබායක් සහිත තද නිල් පැහැති රාජකීය නිල ඇඳුමින් සැරසී සිටියහ. විලියම් කුමරුගේ විවාහ මංගල උත්සවයේදී ඔහුගේ දෙවැනි මනාලයා වූයේ හැරී කුමරුය. දෙවැනි එලිසබෙත් මහ රැජින තම සැමියා වන පිලිප් කුමරු සමඟ එහි පැමිණියාය.   
මනාලිය වූ මෙගාන්, ක්ලෙයාර් වෙයිට් කෙලර් විසින් නිර්මාණය කළ චාම් එහෙත් අතිශයින් අලංකාර සුදු දිගු ගවුමකින් සැරසී සිටියාය. ඇයගේ හිස පැළැඳි වේලය මීටර් 5ක් දිගු වූ අතර එය ලේස්වලින් නිර්මාණය කළ පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් 53ට අයත් ජාතික පුෂ්පවලින් අලංකාර කර තිබිණි. මංගල ඇඳුම සඳහා වැය වූ මුදල පවුම් ලක්ෂ 2ක් බැව් පැවසේ. ඇය අත වූයේ කුඩා මල් පොකුරකි.   


ඇගේ හිස පළඳනාව වූයේ 1893 මේරි බිසව සඳහා නිර්මාණය කරන ලද මකුටයයි. එය දියමන්ති සහ ප්ලැටිනම්වලින් නිර්මාණය වූවකි. දෙවැනි එළිසබෙත් රැජින විසින් එම මකුටය විවාහ මංගල දිනයේ පැළඳීම සඳහා මෙගාන් හට ලබා දී තිබුණාය. ඒ හැර ඇය පැළැඳ සිටියේ දියමන්ති අත් පළඳනාවක් සහ කරාබු යුවලක් පමණි.   


විවාහ මංගල උත්සවයට මල් කුමර කුමරියෝ දස දෙනෙක් සහභාගී වූහ. කුඩා කුමරුවන් දෙදෙනකු විසින් මනාලියගේ වේලය අල්ලාගෙන ප්‍රධාන දොරටුවෙන් දෙව් මැඳුරට ඇතුළු වූ පසු සෙසු මල් කුමර කුමරියෝ ඇය සමඟ එක් වූහ.   


මෙගාන්ගේ පියා කොකේසියානු සම්භවයක් සහිත තෝමස් මාකල්ය. ඔහු සිනමා කැමරා ශිල්පියෙකි. ඔහුට කලින් විවාහයකින් ලද දරුවන් දෙදෙනෙක් සිටිති. මෙගාන්ගේ මව කළු ඇමෙරිකානු කාන්තාවක වන ඩෝරියා රග්ලන්ඩ්ය. ඇය භෞත චිකිත්සකවරියක හා සමාජ සේවිකාවකි.   


මනාලිය අල්තාරය වෙත කැඳවාගෙන යා යුත්තේ ඇගේ පියා විසිනි. එහෙත් මේ වනවිට හදවත් සැත්කමකට බඳුන්ව සිටින මෙගාන්ගේ පියාට විවාහ මංගල උත්සවයට සහභාගි විය නොහැකි විය. මංගල උත්සවයට මෙගාන්ගේ මව සහභාගි වූවාය. මනාලියගේ පියා නොමැති හෙයින් ඇය අල්තාරය වෙත කැඳවාගෙන ගොස් මනාලයාට භාර දීමේ කාර්යභාරය පැවරුණේ මනාලයාගේ පියා වන චාල්ස් කුමරුටය. ඔහු මෙගාන් අල්තාරය වෙත කැඳවාගෙන ගිය අතර, හැරී කුමරු ඔහුට තම කෘතඥතාව පළකරනු දැකිය හැකි විය.   

 

 

හැරී කුමරුගේ මව වූ ඩයනා කුමරියගේ පවුලේ සාමාජික සියල්ලෝ විවාහ මංගල උත්සවයට සහභාගී වී සිටියහ. ඩයනා කුමරියගේ සොහොයුරිය වූ ජේන් ආර්යාව විශේෂ කතාවක් කළාය.   


කැන්ටබරියේ අගදරගුරු ජස්ටින් චෙල්බි දේවගැතිවරයා විසින් හැරී සහ මෙගාන්ගේ මංගල දේවමෙහෙය පවත්වන ලදී. මෙගාන් ඇමෙරිකානු ජාතික කාන්තාවක වන හෙයින් ඇමෙරිකාව නියෝජනය කරමින් චිකාගෝහි දේවගැති මයිකල් බෲස් කරී දේවගැතිවරයා සහභාගී විය. මාටින් ලූතර් කිංගේ පාඨයක් උපුටා දැක්වූ ඔහු ප්‍රේමයට සියලු බාධක ජයගත හැකියැයි ප්‍රකාශ කළේය. දේවමෙහෙය අතර කිංග්ඩම් නමැති කළු ජාතික ගායක කණ්ඩායම ‘ස්ටෑන්ඩ් බයි මී’ නමැති ගීතිකාව ගායනා කළහ. මුදු මාරු කර ගැනීමෙන් පසු ඔවුන් දෙදෙනා නීත්‍යනුකූල අඹු සැමියන් බවට පත් වූහ.   


විවාහ මංගල උත්සවයේ සමස්ත වියදම පවුම් මිලියන 33කි. සියලු වියදම් රාජකීය පවුලේ සාමාජිකයන් විසින් දරන ලද බවට කෙන්සිංටන් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්විණි.   


විවාහයෙන් පසු දෙව් මැඳුරෙන් පිටතට පැමිණි යුවල තම නිවහන වන වින්ඩ්සර් මාලිගය බලා යෑමට තෝරාගෙන තිබුණේ අසුන් සිවු දෙනකු විසින් ඇදගෙන යනු ලබන රාජකීය මංගල රථයයි. මෙම රථය සාමාන්‍යයෙන් භාවිත වනුයේ මෞලි මංගල්‍ය, රාජකීය මංගල උත්සව වැනි සුවිශේෂ අවස්ථාවලදී පමණකි. දෙව් මැඳුරෙන් පිටතට පැමිණි රාජකීය නව යුවල රථයට ගොඩවීමට පෙර එකිනෙකා සිපගත්හ. ඉන්පසු අශ්වාරෝහකයන් පෙරටු කරගත් ඔවුහු එම විශේෂ රාජකීය මංගල රථයෙන් දෙව්මැඳුරේ සිට වින්ඩ්සර් මාලිගය බලා පිටත් වූහ. ප්‍රධාන වීදිය, ෂීට් වීදිය, රජ වීදිය හා ඇල්බට් වීදිය ඔස්සේ ගමන් කළ නව යුවල මග දෙපස රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනතාවට අත වනමින් ගමන් කළ අතර ජනතාව ප්‍රීති ඝෝෂා කරමින් ඔවුනට සුබ පතනු දැකිය හැකි විය. මග දෙපස බ්‍රිතාන්‍ය ධජවලින් අලංකාර කර තිබිණි.   


දෙවැනි එලිසබෙත් රැජින විසින් වින්ඩ්සර් මන්දිරයේදී පවත්වන ලද භෝජන සංග්‍රහයට සියලු ආරාධිතයන් සහභාගී වූ අතර, බ්‍රිතාන්‍යයේ සුප්‍රකට ගායක එල්ටන් ජෝන් නව යුවල වෙනුවෙන් ගීතයක් ද ගායනා කළේය. ඩයනා කුමරියගේ අවමංගල්‍ය උත්සවයේදී ‘කැන්ඩ්ල් ඉන් ද වින්ඩ්’ නමැති ගීතය ගැයුවේ ද එල්ටන් ජෝන් ය.   


තම පියා වන චාල්ස් කුමරුගේ සංකේතාත්මක ඡන්ම දිනයට සහභාගි විය යුතු බැවින් තම මධුසමය දිනකින් කල් දැමූ බැව් හැරී කුමරු ප්‍රකාශ කර තිබේ. චාල්ස් කුමරුගේ 70 වැනි ඡන්ම දිනය යෙදී ඇත්තේ නොවැම්බරයේ වුවද මෙවර එය මැයි 22 දින සිදු කිරීමට නියමිතය. එම ඡන්ම දින උත්සවයට දෙවැනි එලිසබෙත් රැජින ඇතුඵ සියලු රාජකීයයන් සහභාගී වන හෙයින් තමා සහ මෙගාන් ද එම අවස්ථාවේ පියා සමඟ සිටින්නට ඇවැසි යැයි හැරී කුමරු සඳහන් කර තිබේ.   


ඒ අනුව විවාහයෙන් පසු සසෙක්ස්හි ආදිපාදවරයා හා ආදිපාදවරිය වන හැරී සහ මෙගාන්ගේ පළමු රාජකීය උත්සවය වනුයේ චාල්ස් කුමරුගේ උපන් දින උත්සවයයි. පසුගිය සඳුද‌ා විවාහ මංගල උත්සවයට සහභාගී වූ සියලු දෙනාට ස්තුති කළ හැරී සහ මෙගාන් විවාහයේ නිල ඡායාරූප තුනක් ද ප්‍රකාශයට පත් කර තිබේ. ඉන් එකක් වින්ඩ්සර් මාලිගයේදී ගන්නා ලද ඔවුන් දෙදෙනා ආදරණීය ඉරියව්වකින් පෙනී සිටින්නකි. දෙවැන්න දෙවැනි එලිසබෙත් රැජින ඇතුළු රාජකීයයන් සමඟ පෙනී සිටින ඡායාරූපයකි. තෙවැන්න නව යුවල හා මල් කුමර කුමරියන් පෙනී සිටින සේයාරුවකි. 

 

 
එළැඹෙන ඉරුදින නව යුවල පෞද්ගලික සංචාරයක් සඳහා වින්ඩ්සර් මාලිගයෙන් නික්ම යෑමට නියමිතය.   

 

 

 

 

 

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා   

 



අදහස් (0)

පවුම් මිලියන 33ක රාජකීය විවාහ මංගල්‍යය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1090 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1112 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 421 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site