අලුත් පරපුරේ කතාබහ

 

දෙමළ භාෂාවෙන් පැමිණි වචන විශාල ප්‍රමාණයක් සිංහල භාෂාවේ දක්නට ලැබෙයි. එළාර රජුගේ කාලයටත් පෙර සිටම දෙමළ භාෂාවේ බලපෑම සිංහල භාෂාව විෂයයෙහි බලපැවැත්විණි. නූතන සිංහල ව්‍යවහාරයේදීත් අපි බහුල ලෙස දෙමළ වචන කටවහරට ගන්නෙමු. ඈත අතීතයේදී දෙමළ භාෂාවෙන් ගත් ඇතැම් වචන දෙමළ වචන යැයි නොසිතෙන තරමට අපේ එදිනෙදා ව්‍යවහාරයේ පැලපදියම් වී ඇත. ඒවා කොතෙක් දුරට සිංහල භාෂාවේ මුල් බැසගත්තාදැයි කියන්නේ නම් ඒවා දෙමළ වචන යැයි අපි නොසිතමු.   


අම්මා - බහතෝරන ළමයි කියන මුල්ම වචනය දෙමළයි.   


‘අම්මා’ යන වචනය දෙමළ භාෂාවෙන් පැමිණි එකකි. එය සිංහල භාෂාවේ ස්ථාවර වන්නට පටන්ගත්තේ ඈත අතීතයක සිටය. අම්මා දෙමළ වචනයක් වුණත් ඒ බව නොහැඟෙන තරමටම එහි භාවිතය සුලභ වී ඇත. බහතෝරන කුඩා දරුවන් මුලින්ම උච්චාරණයට හුරුවන වචනය ද ‘අම්මා’ ය. අම්මා හැඳින්වීමට සිංහල භාෂාවේ භාවිත වන වචනය ‘මව’ යන්නයි. සංස්කෘත භාෂාවේ ‘මාතෘ’ ලෙසත් පාලි භාෂාවේ ‘මාතා’ ලෙසත් එය යෙදෙයි. සිංහල භාෂාවේදී එය ‘මව’ නැති නම් ‘මව්’ වශයෙන් යෙදෙයි. මව්බස, මව්බිම, මව්කිරි යන වචන නිර්මාණය වී තිබෙන්නේ ද ඒ අනුවය. මව හැඳින්වීමට එවැනි සිංහල වදන් තිබුණ ද නූතනයේදී කිසිවෙක් ඒවා භාවිත නොකරති. ඒ වෙනුවට දෙමළ භාෂාවෙන් පැමිණි ‘අම්මා’ යන්න වහරති.   


හෙළ උරුමයේ උරුමය දෙමළ 

 
‘උරුමය’ යනු ද ඒ ආකාරයට දෙමළ භාෂාවෙන් පැමිණ සිංහල භාෂාවේ ස්ථාවර වූ වචනයකි. හෙළ උරුමය කියා දේශපාලන පක්ෂයක් ද ඇත. එහි ‘හෙළ’ යන්න සිංහල වචනයක් වුවත් ‘උරුමය’ යන්න දෙමළ වචනයකි. දෙමළ භාෂාවේ එන ‘උරුමක්කාරන්’ යන වචනෙන් ‘උරුමය’ යන්න සිංහලයට පැමිණ තිබෙයි.

   
මචන්   


මෙය දෙමළ භාෂාවෙන් පැමිණි තවත් වචනයකි. අප බොහෝවිට හොඳම යහළුවන් ඇමතීමට ‘මචන්’ යන්න යොදා ගන්නෙමු. දෙමළ භාෂාවේ එන ‘මචාන්’ යන්නෙන් මේ වචනය බිඳී ඇත. ‘මචාන්’ යන්නෙහි තේරුම ‘මස්සිනා’ යන්නයි.   


අප්පා   


‘අප්පා’ යනු ද දෙමළ වචනයකි. එය ද බහුලව සිංහලයේ ව්‍යවහාර වෙයි. බොහෝවිට පියා හැඳින්වීමේදී සිංහලයෝ ද ‘අප්පා’ කියා කියති. පියා හැඳින්වීමට සංස්කෘත භාෂාවේ ‘පීතෘ’ යන වචනයත් පාලි භාෂාවේ ‘පිතා’ යන්නත් ව්‍යවහාර වන අතර එය සිංහලයේ ව්‍යවහාර වන්නේ ‘පියා’ ලෙසය. තවත් අවස්ථාවන්හිදී මතු සඳහන් පරිදි ද ‘අප්පා’ ව්‍යවහාරයට ගනිති. 

 
“මොනවා කරන්නද අප්පා”


අම්මා අප්පාට අමතරව අයියා, අක්කා, මාමා ද දෙමළ භාෂාවේ එන වචනය.   


උප්පු උප්පු සෙල්ලම නොහොත් ලුණු සෙල්ලම   


කුඩා දරුවන් කර තබාගෙන කරන සෙල්ලමට ‘උප්පු උප්පු’ කියා කියති. ‘උප්පු’ යනු දෙමළ වචනයක් වන අතර එහි අර්ථය ‘ලුණු’ ය. සිංහලයේදී අපි මේ සෙල්ලමට ලුණු ගෙන යනවා යැයි කියති.   


අම්බිලි මාමා   


මේ දෙවදනම දෙමළ භාෂාවේ එන වචනය. ‘අම්බිලි’ යන දෙමළ වචනයේ තේරුම ‘හඳ’ ය. එය හඳ හැඳින්වීම සඳහා කුඩා දරුවන් අතර යෙදෙන ජනප්‍රිය යෙදුමක් බවට පත්ව ඇත.   


මූනු නාලු 

 
දෙමළ භාෂාවෙන් අංක තුන හා හතර හැඳින්වීම සඳහා පිළිවෙළින් යෙදෙන මූනු හා නාලු යන වචන දෙක ද ඇතැම් අවස්ථාවලදී සිංහල භාෂාවේ ව්‍යවහාර වනු දැකිය හැකිය. විශේෂයෙන්ම යමෙකු තවත් කෙනෙකු සම්බන්ධයෙන් කෝපයෙන් කතා කරන විට ඒවා යොදා ගන්නා ආකාරයක් දැකිය හැකිය.   


“දෙන්න හිතෙනවා මූනු නාලු වෙන්න.”


පයිත්තියන්   


පිස්සු අය හැඳින්වීම සඳහා දෙමළ භාෂාවේ යෙදෙන වචනය වන්නේ ‘පයිත්තියන්’ යන්නය. සිංහලයෝ ද එවදන සුලභව ව්‍යවහාර කරති.   


“උඹට පයිත්තියන්ද”   


සක්කරවට්ටම

   
විසේකාර ගැහැනුන් හැඳින්වීම සඳහා සුලභව ව්‍යවහාර වන මේ ‘සක්කරවට්ටම’ යන වචනය ද දෙමළ භාෂාවට අයත් එකකි. එහි තේරුම ‘කැරකෙන’ යන්නයි.   


“අර සක්කරවට්ටම අදත් එනවා”


ආලවට්ටම   


අනවශ්‍ය හා වැඩිපුර කියන කතා හැඳින්වීමේදී ‘ආලවට්ටම්’ යන වචනය අපි භාවිත කරමු. එය ද දෙමළ භාෂාවේ එන වචනයකි.   


“ඕකි අපේ කොල්ලව රවට්ටා ගත්තා ආලවට්ටම් දාලා”


මළ කෝළං   


‘කෝළං’ යනු ද දෙමළ වචනයකි. දමිළ ජනතාව ඔවුන්ගේ නිවෙස්වල ගෙමිදුලේ අඳින අලංකාර රටා සහිත සිතුවම්වලට ‘කෝළං’ යැයි කියති. සිංහලයේදී කෙනෙකුගේ විකාරරූපී හැසිරීම් ගැන කීමේදී මෙවදන නිතරම භාවිත වෙයි. 

 
“මෙයාගෙ මළ කෝළං”


පක්කලිකන් කිරීම   


පහත් ක්‍රියා හැඳින්වීමට දෙමළ භාෂාවේ ව්‍යවහාර වන වචනයකි. 

 
සක්කිලියෝ   


මෙය ද දෙමළ භාෂාවේ එන වචනයකි. ඉතාම පහත් වැඩ කරන අය හැඳින්වීමට යෙදෙයි. ඇතැම් කාලවලදී මෙරට රජ මාලිගයේ කතාබස් සිදු වූයේ ද දෙමළ භාෂාවෙනි. වෙසෙසින්ම කෝට්ටේ යුගය වනවිට දෙමළ භාෂාවට ඉහළ පිළිගැනීමක් හිමිව තිබූ අතර නූතනයේදී ඉංග්‍රීසී භාෂාවට හිමි ආකාරයේ වැදගත්කමක් එයට හිමි වී තිබිණි. එවකදී සිංහලයන් වශයෙන් හැඳින්වුණේ දෙමළ, සංස්කෘත සහ පාලි යන භාෂාත්‍රය නොදත්තවුන්ය. මෙරට සමාජයේ දෙමළ භාෂාව සඳහා පැවැති ඒ ගරුත්වය නැති වී ගියේ ඉංග්‍රීසී පාලන සමයේ ලාභ ශ්‍රමය උදෙසා ඉන්දියාවෙන් ගෙන් වූ දමිළ කම්කරුවන් නිසාය. ඔවුන්ගේ කෑකොස්සන් ගැසීම් හා ඇතැම් චර්යාවන් නිසා දෙමළ භාෂාව කෙරෙහි සිංහලයන්ට තිබූ ගරුත්වය බිඳ වැටුණි. 

 
ඔවුන්ගේ ඝෝෂාකාරී හැසිරීම් හැඳින්වීමට 

 
“දෙමළු පඩි ගත්තා වගේ” වදන් ද නිර්මාණය විය.   

 

 

සටහන - උපුල් වික්‍රමසිංහ