මහ රැජින සිය කිරුළ අතහරින බවත් කිරුළ හිමි චාල්ස් කුමරුන් ඉනික්බිති රජවන බවත් ඉකුත් දිනවල ආරංචි විය. එසේ වූ විට රාජකීය ඔටුන්න පළඳින්නේ චාල්ස් කුමාරයාය. රැජින වන්නේ කැමිලාය. එංගලන්තයේ රැජිනගේ ඔටුන්න මත රැඳී ලොවටම දීප්තියක් දුන් දියමන්තිය ගැන මගේ මතකයට ආවේ ඒ පුවතත් සමගමය.   


එංගලන්ත මහ රජුගේ හෝ රැජිනියගේ ඔටුන්න සරසන මැණික් ගණනාවකි. ඒ අතර ප්‍රසිද්ධම මැණික වූයේ ‘කොහිනූර්’ නමැති දියමන්තියයි. ලොව වඩාත් ප්‍රසිද්ධියට පත් වූත් වැඩිම දෙනකුගේ කතාබහට ලක්වූත් මැණිකක් වී නම් ඒ කොහිනූර් දියමන්තියම විය යුතුය.   


කොහිනූර් නම ඇසෙන විටම එය අරාබි වචනයක් යැයි නිකමට මෙන් සිතේ.   


පුදුමය වන්නේ කොහිනූර් දියමන්තිය එංගලන්ත රාජකීය ඔටුන්න සැරසූයේ කෙසේද යන්නය. එ් ප්‍රශ්නයට විසඳුම් සොයාගන්නට නම් දියමන්තියේ ඉතිහාසය සොයා අතීතයේ අහමුළු ඇවිස්සීමට සිදුවේ.   


වාර්තා වන හැටියට මේ දියමන්තියේ උපත සිදුව ඇත්තේ ක්‍රිෂ්ණ ගංගාවේය. ගොල්කොන්ඩා රාජධානියට අයත් කොල්ලූර් ප්‍රදේශයේ ක්‍රිෂ්ණ ගංගාවේ දකුණු ඉවුරෙහි හෑරූ පතලක මඩ අතර තිබීය. ඒ ද අඩි දහතුනක පමණ ගැඹුරකය. මඩ සෝදාගත් ඒ වටිනා දියමන්තිය ගියේ රජුගේ සම්පත් අතරටයි. දිල්ලි සුල්තාන් රාජ්‍යය මේ වනවිට බලවත් වෙමින් පැවතිණි. එහි දෙවැනි පාලකයා වූයේ අලහුදීන් ඛල්ජි ය. ඔහු දකුණු ඉන්දියාවේ කුඩා රාජ්‍ය ආක්‍රමණය කළ අතර අර කොහිනූර් දියමන්තිය ඔහුට පැහැරගත හැකිවිය. 1304 දී සිදුවූ මේ ආරවුලෙන් පසුව ගෙවීගියේ වසර දෙසීයක් පමණි. ඒ වනවිට බලවත් වෙමින් සිටියේ මෝගල්වරු ය. මෝගල් අධිරාජ්‍යයේ බාබුර්, දිල්ලි සුල්තාන් රාජ්‍යය ආක්‍රමණය කරමින් පනිපත් සටන ඇරඹුවේය. එහිදී අග්‍රා සහ දිල්ලි බලකොටු යටත් කරගන්නට සමත් වූ ඔහු කොහිනූර් දියමන්තිය පැහැර ගත්තේය. පස්වැනි මෝගල් අධිරාජ්‍යයා වූ ප්‍රතාපවත් ෂා ජෙහාන් ඔහුගේ විසිතුරු සිංහාසනයේ වටිනාකම තවත් වැඩිකරගනු පිණිස එම දියමන්තිය සිංහාසනයේ සවිකර ගත්තේය.   


ප්‍රේමාතුර අධිරාජයා මුම්ටාස් බිසව වෙනුවෙන් ටජ්මහල ඉදි කළේය. රාජ්‍ය පාලනය නොසලකා වැලපෙමින් සිටි සමයේදී ඔහුගේ පුත් ඖරසෙබ් රාජ්‍යය පැහැර ගත්තේය. කොහිනූර් දියමන්තිය සිංහාසනයෙන් ගැලෙව්වේය.   


ඔහු මේ දියමන්තිය කපා ඔපමට්ටම් කරවූ අතර එවිට ගලෙහි බර කැරට් 186 ක් දක්වා අඩු වූ බවද සඳහන්ය. ඉනික්බිති මේ දියමන්තිය ගියේ ඖරසෙබ් මූගල් අධිරාජයාගේ භාණ්ඩාගාරයටය. එහෙත් දියමන්තියේ ශාපයට දෝ මූගල් අධිරාජ්‍යයට එරෙහි ආක්‍රමණයක් හට ගත්තේය. ඒ 1739 වසරේදීය. එවර දිල්ලිය ආක්‍රමණය කරන ලද්දේ පර්සියාවේ නදීර් ෂා රජුය. ඔහුගේ හමුදාව මූගල් අධිරාජයාගේ අනගි භාණ්ඩාගාරය කොල්ලකෑ අතර එහි තිබූ වටිනා කියන හැම දෙයක්ම පැහැර ගත්තේය. ඒ සම්පත් අතර සුරක්ෂිතව සඟවා තිබූ කොහිනූර් දියමන්තිය ද වූවේය.   


මේ අනගි දියමන්තිය ගැන කලින් අසා තිබූ පර්සියන් අධිරාජයා තමන් සතු වූ දියමන්තිය ඔසොවා ආලෝක ශිඛරය යැයි කෑ ගෑවේය.   
ඔහු මූගල් අධිරාජ්‍යයෙන් පැහැරගත් අන් හැම මැණිකකටම වඩා මේ කොහිනූර් දියමන්තියට ඇලුම් කළේය. එහි දීප්තිය ඔහුට දැනුණේ හිරු කිරණක් සේය. එහෙත් 1747 අවුරුද්දේදී මේ පර්සියානු රජුට උදාවූයේ අවාසනාවකි. ඔහු ඝාතනය කරනු ලැබිණි. එවිට අර ආලෝක ශිඛරය උරුම වූයේ රජුගේ මුනුබුරාටය. ඔහු නමින් ෂූජා ෂා ය. ෂූජා මේ දියමන්තිය අත් පළඳවනාවක් ලෙස පාවිච්චි කළේය. පසු කලෙක පර්සියාව ඇෆ්ගනිස්ථානය සමග සටනකට අර අදිද්දි ෂූජා ෂා ආරක්ෂාව පතා ලාහෝරයට පලා ගියේය. එවක ලාහෝරය පාලනය කළේ රංජිත් සිං ය. ෂූජා වෙත දිගු කළ මිත්‍රත්වයේ හස්තය වෙනුවෙන් ප්‍රතිඋපකාර ලෙස මැණික් ලබා දෙන්නයැයි රංජිත් ෂූජාට පැවසුවේ ඔය අතරය. ෂූජා ඔහු අත පැළඳි දියමන්තිය රංජිත්ට දුන්නේය. 1813 වසරේදී රංජිත් සිං ප්‍රාර්ථනා කළ පරිදිම කොහිනූර් අනගි දියමන්තිය ඔහුට ලැබුණේය. එහෙත් ෂූජා විශ්වාස කළේ රංජිත් නොවේ. එබැවින් ඔහු දියමන්තිය ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ට දී මනා පරීක්ෂාවකට ලක් කළේය. ඔවුන් දින දෙකක් තිස්සේ පරීක්ෂා කිරීමෙන් පසුව එය කොහිනූර් නමැති අගනා දියමන්තිය බව තහවුරු කළේය. මෙහි වටිනාකම? රංජිත් සිංගේ ඊළඟ ප්‍රශ්නය එය විය.   


එහෙත් ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ට දියමන්තියේ වටිනාකම තක්සේරු කිරීම උගහට විය. රංජිත් සිංට දැනුණේ මෙතෙකැයි කිව නොහැකි සතුටකි. ඔහු රුපියල් 125,000 ක මුදලක් ෂූජාට පරිත්‍යාග කළේය.   


ලොව වටිනාම දියමන්තිය හිමිකර ගැනීමේ සතුට දරාගන්නට රංජිත් අපොහොසත් විය. ෂා ජහාන් වැන් රජවරු සතුව තිබූ දියමන්තියක හිමිකරු වීමේ ප්‍රීතිය දරාගනු බැරි වූ ඔහු සිය හිස් වැස්මේ ඉදිරියෙන් මේ දියමන්තිය සවිකරවා ගත්තේය. තම මංගල හස්තියා පිට නැගුණු ඔහු මහත් උජාරුවෙන් වීදි සංචාරය කළේ නගර වැසියන්ට දියමන්තියේ අපූරුව දැකබලා ගන්නටය. සුවිශේෂ රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී දියමන්තිය රැගෙන යාම පුරුද්දක් කරගත් ඔහු බ්‍රිතාන්‍යය නිලධාරීන්ට, සුවිශේෂ අමුත්තන්ට දියමන්තිය ප්‍රදර්ශනය කළේය.   


හැබැයි ඔහු සිටියේ බියෙනි. අතීතයේ දවසක රංජිත් සිං බීමත්ව සිටි මොහොතක ඔහුගේ ස්වර්ණාභරණ සහ මැණික් සොරකම් කර තිබිණි. එපරිද්දෙන්ම මේ අනගි දියමන්තියත් සොරෙකුගේ ග්‍රහණයට අසුවිය හැකිය. මේ බිය නිසාම ඔහු කළේ බලකොටුව තුළ ආරක්ෂිතව තැන්පත් කර තැබීමය. එහෙත් තම පම්පෝරිය කිවයුතු නිසා විශේෂිත අමුත්තන් හමුවේ දියමන්තිය ප්‍රදර්ශනය කිරීමට රංජිත්ට අවශ්‍ය විය. මේ නිසා බලකොටුවේ සිට දියමන්තිය ප්‍රවාහනය කිරීමට ඔහු ඔටු හමුදාවක් යොදා ගත්තේය. මේ හැම ඔටුවාගේ පිටකම සමාන භාජනයක් තැන්පත් කර තිබිණි. දියමන්තිය ඇත්තේ කුමන ඔටුවාගේ පිට මතද යන්න සියල්ලන්ටම රහසක් විය. එය දැන සිටියේ රංජිත්ගේ භාණ්ඩාගාරයේ පාලක මිස්රි බෙලි පමණක්ම විය. 


ගෙවී ගියේ වසර තිස්හයක් පමණි. එක් දිනෙක රංජිත් සිං ආඝාතයට ගොදුරු විය. එය ඔහු ආඝාතයට ගොදුරු වූ තුන්වැනි අවස්ථාව විය. තවදුරටත් ජීවත්වීම පිළිබඳ බලාපොරොත්තු ඔහුටවත් වෛද්‍යවරුන්ටවත් නොතිබිණි. මරණ මංචකයේ සිට සිය සම්පත් ඔහු පූජනීය ස්ථානවලට පවරා දෙන්නට විය. කතා කිරීමට අපහසු වූ ඔහු සියල්ල කළේ හස්ත මුද්‍රාවෙනි. වැඩිමහල් පුත් බාරක් සිංට රාජ්‍යය පවරාදුන් පසුව පැන නැගුණු ලොකුම ගැටලුව වූයේ කොහිනූර් දියමන්තියයි. රංජිත් සිංගේ ප්‍රධාන බ්‍රාහ්මණයා මේ මොහොතේ සිටියේ ඔහු අසලය. ඔහු දියමන්තිය පූරි නගරයේ පිහිටි ජගන්නාත් දේව කෝවිලට ලබාදෙන ලෙස ඉල්ලීය. රජු හස්ත මුද්‍රාවෙන් කුමක් කීවත් බ්‍රාහ්මණයා කීවේ රජු එය තමාට දුන් බවයි. එහෙත් භාණ්ඩාගාරික බෙලි පැවසුවේ මේ දියමන්තිය රාජ්‍ය දේපලක් මිස පුද්ගලික දේපලක් නොවන බවය. එනිසා එය මෙතෙක් කලක් පැවති ලෙසම බලකොටුව තුළ සුරක්ෂිතව තැන්පත් කර තැබිය යුතු බවය. එසේම එහි අයිතිය බාරක් සිං ට පැවරිය යුතු බවය. තර්ක විතර්ක අවසන බෙලිගේ අදහස ජය ගත්තේය. දියමන්තිය භාණ්ඩාගාරය තුළ සුරක්ෂිත විය. දියමන්තිය ලාහෝරයෙන් පිටතට ගෙන නොයා යුතු බවට බාරක් සිං අණ කළේ අනතුරුවය.   
බාරක් සිංගේ අගමැති ලෙස කටයුතු කළේ ටියන් සිං ය. බාරක් සිං අධිරාජ පදවිය දරා හරියටම මාස තුනහමාරකට පසුව එළැඹි දවසක අගමැති, අධිරාජයාගේ බලය පැහැර ගත්තේය. එසැනින්ම අගමැතිගේ සොයුරු ගුලාබ් සිං අනගි දියමන්තිය තමන් සන්තක කර ගත්තේය. බලයෙන් පහකළ බාරක් සිං සිරගත කර සිටි අතර ඔහු සිර ගෙය තුළදී මිය ගියේය. ඔහු ස්වභාවික මරණයකට ගොදුරු වීද නැතිනම් මරා දැම්මාද යන්න ඉතිහාසයෙන් සැඟවී ගිය කාරණාවකි. හැබැයි බාරක් සිංගේ මරණයෙන් දින කිහිපයකට පසුව ඔහුගේ පුතුද අභිරහස් ලෙස මිය ගියේය. ඒ සමගම අගමැති මියන් සිං රාජ්‍යයේ පාලන බලය සියතට ගත්තේ අනාගත හිමිකරුවකුගේ නැගී සිටීම ගැන බියක් සැකක් නැතුවය. එහෙත් අවාසනාවකටදෝ ගුලබ් සිංට මේ අනගි දියමන්තිය ළඟ තබාගත හැකි වූයේ ටික කාලයක් පමණි.   


ගෙවී ගියේ දෙවසරක් පමණි. අජිත් සිං නමැත්තෙකු බලයට කෑදරව, ෂෙර් සිං සහ අගමැති ටියන් සිං යන දෙදෙනාම ඝාතනය කළේය. අනතුරුව ඔහු බලයට පත්වීමට උත්සාහ කළේය. එහෙත් ඊට පසුදාම මියන් සිං ගේ පුතු හීරා සිං ක්‍රියාත්මක වී අජිත් සිංගේ දිවි තොර කළේය. අනතුරුව ඔහු අගමැති ලෙස පත්ව පස් හැවිරිදි දුලිප් සිං අධිරාජයා ලෙස පත් කළේය. කොහිනූර් දියමන්තිය ඉනික්බිතිව ගියේ දුලිප් සිංගේ අත් පළඳනාවකටය.   


ඉන් මාස කිහිපයකට පසුව හීරා සිං ද ඝාතනය කරනු ලැබිණි. මෙතෙක් කලක් ජම්මු ප්‍රදේශය පාලනය කළ ගුලාබ් සිං ලාහෝරයේ සිදුවීම් දෙස බලා සිටියේය. එහෙත් හදිසියේ පැන නැගුණ ඉංග්‍රීසි - සික් යුද්ධයේදී ගුලාබ් සිං, සික් අධිරාජ්‍යයේ අගමැති භූමිකාව හෙබවීය. ඔහු යුද්ධය ජයග්‍රහණය කරා මෙහෙයවීමට උත්සාහ කළත් ජය ගත්තේ ඉංග්‍රීසීන් ය. එහෙත් ගුලාබ් සිංට ජම්මු කාශ්මීරයේ මහරාජා තනතුර හිමිවිය.   


ඉන් අවුරුදු පහකට පසුව නැවත වරක් ඉංග්‍රීසි - සික් දෙපාර්ශ්වය අතර යුද ගිනිදැල් මතුවිය. එම යුද්ධයෙන්ද ජයගත්තේ ඉංග්‍රීසීන්ය. පන්ජාබය බ්‍රිතාන්‍ය පාලනය යටතට ගැනුණු අතර ඒ සමගම අනගි කොහිනූර් දියමන්තිය බ්‍රිතාන්‍ය රාජිනියට පවරාදීමට පරාජිතයන්ට සිදුවිය. එ් සමගම දුලිප් සිං එංගලන්තයට පිටුවහල් කෙරුණු අතර තවදුරටත් සික් රාජ්‍යයක් ඉන්දියාවේ නොවීය.  


දැන් කොහිනූර් දියමන්තිය බ්‍රිතාන්‍ය මහරැජිනිය සතු වස්තුවකි. එහෙත් එය පළමුවෙන් හිමිවූයේ ආණ්ඩුකාර ලොගින්ගෙන්ටය. මෙය එංගලන්තයට යැවීම ඊළඟ අභියෝගය විය. ඒ සඳහා චීනයේ සිට පැමිණි වාෂ්ප නැවකින් දියමන්තිය යවනු ලැබීය. යකඩ සේප්පුවක බහාලූ රතු මැණික් පෙට්ටියක මේ දියමන්තිය තැන්පත් කර තිබිණි. කෙසේ හෝ වේවා මේ නාවික ගමනටද අභියෝග රැසකට මුහුණ පෑමට සිදුවිය. නැව මුරුසියේ තිබියදී කොලරාව පැතිරිණි. ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම වූයේ හැකි ඉක්මණින් නැවට පිටමං වන ලෙසය.  
ඊළඟට නැවට දරුණු සුළි කුණාටුවකටද මුහුණදීමට සිදුවිය. කෙසේ වෙතත් නැවට නිරුපද්‍රිතව එංගලන්තයට ළඟාවීමට හැකිවිය. 1850 ජූලි 1 වැනිදා ඩිපිට්හෙඩ් වරායේදී කොහිනූර් දියමන්තිය එංගලන්ත පොළොව මතුපිටට සම්ප්‍රාප්ත වූවේය. එය බ්‍රිතාන්‍ය මහරැජින වෙත පිළිගන්වන ලද්දේ ඉන් දෙදිනකට පසුව බකිංහැම් මාලිගයේදීය. එදින නැගෙනහිර ඉන්දීය වෙ​ෙළඳ සමාගමට වසර 250ක් පිරුණු දිනය වීම ද සුවිශේෂ සිදුවීමකි. හිමිකරුවන් කිහිප දෙනකු අතර හුවමාරු වෙමින් තිබූ අනගි දියමන්තිය එංගලන්ත වැසියන්ට දැකබලා ගන්නට දිය යුතු යැයි රැජිනට සිතිණි. එහෙත් ඇය ලාහෝරයේ රංජිත් සිං මෙන් හිස්වැස්මේ පැළඳගෙන අලියා පිට නැගී නගරය වටා ගියේ නැත. ඇය කළේ ලන්ඩනයේ හයිඩ් පාක් හිදී ප්‍රදර්ශනයක් පැවැත්වීමය.  


මේ ප්‍රදර්ශනයට මිලියන දෙකක තරම් ජනතාවක් පැමිණි අතර ඔවුන් කොහිනූර් දෙස බැලුවේ තම රටට හිමි වූ මහඟු සම්පතක්ය යන හැඟීමෙනි. ආඩම්බරයෙනි. එහෙත් මේ දියමන්තියට නරඹන්නන් සතුටු කිරීමට නොහැකි වූයේ එහි සැබෑ වටිනාකම නරඹන්නන්ට වටහාගත නොහැකි වීම නිසාය. හේතුව වූයේ දියමන්තිය නිසි අයුරින් කපා නොතිබීමය. මේ නිසා දියමන්තියට සැබෑ වටිනාකමක් ලැබෙන පරිදි යළිත් කැපීමට සහ ​ඔප දැමීමට ඇල්බට් කුමරු තීරණය කළේය. මේ සඳහා දවස් තිස් අටක් ගත වූ අතර මුදලින් පවුම් අටදහසක් ද වියදම් විය. ඒ සමගම දියමන්තියේ බර ද කැරට් 105.6ක් දක්වා අඩුවිය. දියමන්තිය පැති හැට හයකින් යුක්ත වූ අතර එය සාමාන්‍ය දියමන්තියක පැති සංඛ්‍යාවට වඩා පැති හයකින් වැඩිවීමකි.  


කෙසේ හෝ වේවා මේ අනගි දියමන්තිය වික්ටෝරියා රැජිනගේ අමන්දානන්දයට හේතු විය. ඒ වනවිට එංගලන්තයේ රැකවලෙහි සිටි ලාහෝරයේ දුලිප් සිං මහාරාජාට පෙන්වීමට වික්ටෝරියා රැජිනට අවශ්‍ය විය. දුලිප් සිං ​මේ අපූරු දියමන්තිය දැක පුදුමයට පත්වූයෙන් ඔහුගේ මුව ගොළුවී දෙනෙත් නලලට ගියේය. වික්ටෝරියා මහ රැජින මියගියේ 1902 දීය. ඉනික්බිති රජ කිරුළ උරුම වූයේ හත්වැනි එඩ්වඩ් රජුටය. ඔහුගේ බිරිඳ ඇලෙක්සැන්ඩ්‍රා රැජිනගේ ඔටුන්නට මේ අනගි කොහිනූර් දියමන්තිය සවිකිරීමට එඩ්වඩ් රජු තීරණය කළේය. එතෙක් කලක් පිරිමින් සන්තකයේ පැවති දියමන්තිය 1911 දී මේරි රැජිනගේ ඔටුන්න වෙතද 1937 දී මව්රැජිනගේ ඔටුන්න වෙත ද ඇය මිය ගිය විට ඇගේ දේහය මතද තැන්පත් කර තිබිණි.  


ඉනික්බිති මෙය ලන්ඩන් ටවරයේ ස්වර්ණාභරණ මාළිගයේ සුරක්ෂිතව තැන්පත් කෙරුණි. එහෙත් දෙවන ලෝක මහා සංග්‍රාමය සමයේදී වැඩි ආරක්ෂාව පතා මේ දියමන්තිය වින්ඩ්සර් මාළිගය වෙත රැගෙන ගියේය. එය පොකුණක් තුළ සඟවා තබා තිබුණේ යුද්ධයෙන් පූර්ණ ආරක්ෂාව සැලසෙන පරිදිය. එය යළි ලන්ඩන් කුළුණට රැගෙන ගියේ යුද්ධය නිමාවීමෙන් අනතුරුවය.  


කොහිනූර් දියමන්තිය හිමිකරගත් පිරිමින්ට ශාපයක් වූ බව පවතින විශ්වාසයයි. ඉතිහාසගත සිදුවීම් එකින් එක ගෙන බලන විට ඒ විශ්වාසයේ වැරැද්දක් ද නොපෙනේ. එය හිමිකරගත් හැම පිරිමියකුටම පාහේ එක්කෝ රජකම අහිමි විය. නැතිනම් ජීවිතය අහිමි විය. ඒ නිසා අප සිතිය යුත්තේ කොහිනූර් පිරිමින්ට විනාශයක් ගැහැනුන්ට වාසනාවක් ගෙනා අරුම පුදුම දියමන්තියක් විදිහටය. සිංහාසනයටත් ඔටුන්නටත් ආලෝකයක් වූ දියමන්තියක් ජීවිතයට අවාසනාවක් වූයේ කෙසේද යන්න සදහටම ගැටලුවකි. 

 

 

 

ශාන්ත කුමාර විතාන