• අපි ඉල්ලු‍වේ කුඩා පාලමක් මන්ත්‍රීවරයා තමයි ලොකු පාලමක් දුන්නේ.
  • මන්ත්‍රීවරයා කළේ කහට එකක් ඉල්ලු‍වම ටී එකක් දෙනවා වගේ වැඩක්. මගේ නෝනා කියන්නේ එහෙමයි. 

- පාලම ඉල්ලූ කමල් පියතිලක


 

අම්පාර දිස්ත්‍රික්කයේ පැරණිගම W.27/A ග්‍රාම සේවා වසමට අයත් පවුල් 350- 400ක් පමණ ජීවත් වෙති. ගොවිතැන මූලික කරගත් මෙම ජනතාවගේ වගා බිම් අක්කර 350 කට වඩා පිහිටා ඇත්තේ මීගහපල්ලම ග්‍රාමයේය. මීගහපල්ලම ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු කරගෙන යාමේදී මීට වසර 40කට පෙර ඉදි වූ අබලන් පාලම ගිලා බැසීමට ආසන්න හෙයින් ට්‍රැක්‍ටර් හා අනෙකුත් යන්ත්‍ර හෝ වී පැටවීමට යන ලොරි රථද පාලමෙන් ගියේ අවදානමක්ද සමගිනි. මේ නිසා තම වගා බිම් වලට යාමට පාලමක් ඉක්මණින් ඉදිකොට දෙන ලෙස ගොවි පවුල් 150කට වඩා දේශපාලන බල අධිකාරියෙන් ඉල්ලීම්කර තිබුණි. ඒ මීට පෙර අවස්ථා ගණනකදීය. 

 


 

  • මගෙන් පාලමක් ඉල්ලු‍වා. මම පාලමක් දුන්නා.

- පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ

 


 


මේ පාලමේ අවශ්‍යතාව පිළිබඳව අම්පාර දමන ප්‍රාදේශීය කමිටුවේදී ද දැඩි අවධානයක් යොමු විය. එහිදී දමන ප්‍රාදේශීය සංවර්ධන කටයුතු ලයිස්තුගත කිරීමේදී මූලිකම සහ ප්‍රමුඛතම අවශ්‍යතාව ලෙස පෙන්නා මීගහපල්ලම පාලම ඉදිකිරීමට රුපියල් ලක්ෂ 100ක්ද වෙන්කොට එය කඩිනමින් ඉදිකිරීමට යෝජනා වී තිබූ බව මීගහපල්ලම ගොවි සංවිධානයේ සභාපති එම්.ජී. මුණිදාස කියා සිටියි. මෙම සංවර්ධන කමිටුවට දමන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා, සංවර්ධන නිලධාරිවරයා, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරි සහ සමෘද්ධි නිලධාරිවරයා මෙන්ම ගමේ සමිතිවල ප්‍රජා නායකයින්ද සිටි බව මීගහපල්ලම ගොවි සංවිධානයේ සභාපති මුණිදාස පවසයි.   


 මෙම පාලම ඉදිකිරීමේ මූලික සැලසුම ලෙස සංවර්ධන කමිටුවේදී පෙන්වා දුන්නේ ‘‘ජනතාවට සිය ආර්ථික බෝග හා නිෂ්පාදන නිසි ​ෙවලාවට වෙළෙඳපොළට රැගෙන යාමට හා දෛනිකව ප්‍රවාහන ගැටලු‍ වළක්වා ගනිමින් ඔවුන් නගා සිටුවීමේ අරමුණ ඇතිව”‍ මෙම පාලම ඉදිකරන බව කියාය. එහෙයින් පාලම සඳහා හදවත් යා කරන පාලම ලෙස නමක්ද යෝජනා වූ බව මීගහපල්ලම ගොවි සංවිධානයේ ලේකම් ඒ.ජී. කීර්තිරත්න පවසයි.   


කෙසේ වෙතත් ගොවි ජනතාවට සහ ග්‍රාමීය සංවර්ධන කමිටුවේ යෝජනාවට පයින් ගසා ගොවි ජනතාවට කිසිසේත්ම ප්‍රයෝජනයක් නැති තැනක් වූ RB-17 ඇළ මාර්ගය හරස්කොට හිඟුරාණ පැරණිගම දකුණ 3 වැනි මාවත සම්බන්ධ කරමින් පාලම ඉදිකිරීම අරඹා ඇති බවත් ඒ සඳහා රුපියල් ලක්ෂ 66ක් පමණ යන බව දැනගන්නට ඇතැයිද මීගහපල්ලම ගොවි සංවිධානයේ ලේකම් පෙන්වා දෙයි. තම වගා බිම්වලට යාමට ඉදිකිරීමට නියමිතව තිබූ පාලම RB 17 ඇළ හරස් කරමින් ඉදි කෙරෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයෙන් වියත් මග හරහා මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මූලික වීමෙන් බවද මීගහපල්ලම ගොවි සංවිධානයේ ලේකම් කියා සිටියි.   


අම්පාර - කොළඹ ප්‍රධාන පාරේ වළේ කඩේ පැරණිගම හන්දියට ආසන්නයෙන් පිහිටා ඇති 3 වන මාවතේ සිට පාලම ඉදිකෙරෙන RB17 ඇළ ළඟට ඇත්තේ මීටර 160ක් පමණ දුරකි. එසේ නම් මහජන මුදල් රුපියල් ලක්ෂ 66ක් වියදම් කොට පාලමක් ඉදි කිරීමේ අවශ්‍යතාව කුමක්ද යන්න පැහැදිලි නැති බව මීගහපල්ලම සංවර්ධන කමිටුවේ ලේකම් රෝහණ කුමාර පවසයි. දඹන සියඹලාණ්ඩුව ප්‍රධාන පාරේ සිට එන තුන්වැනි මාවත අඩි 14ක් පමණ පළල බවත් එහි දිග මිටර 160න් මීටර 100ක් අඩි 9 පළලට කොන්ක්‍රීට් දමා ඇති බවද රෝහණ කුමාර පෙන්වා දෙයි. එම පාරෙන් ඍජුවම ප්‍රයෝජනය ගත හැකිව තිබියදී එම පාර ඉතිරි කොටස සංවර්ධනය කොට ප්‍රයෝජනය ගන්නවා වෙනුවට භුආතීන් වන පවුල් 8ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 66ක් වියදම් කොට අදාළ නැති තැනකට පාලමක් තම හිතවතෙකුට පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ ඉදිකරන්නේ කුමන අරමුණක් ඇතිවද යන්න නොදන්නා බව රෝහණ කුමාර පෙන්වා දෙයි. 

මීගහපල්ලම පාලම ඉදිවීමට තිබූ ස්ථානය.

 3 වැනි මාවත

 

 


මෙම ස්ථානයේ පාලම ඉදි නොකරන ලෙසත්, පාලම දැඩිව අවශ්‍ය කරන ගොවි ජනතාවට ලක්ෂ 100 වෙන් වූ පාලම ලබා දෙන ලෙසත් ඉල්ලා ගොවීන් 90 දෙනකු අත්සන් කළ ඉල්ලීමක් කළ බවද රෝහණ කුමාර පෙන්වා දෙයි. එම ලිපියේ පිටපත් ජනාධිපතිවරයාට සහ අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආණ්ඩුකාරවරයා, දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරයාට මෙන්ම වෛද්‍ය තිලක් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ද ලිබිතව දැනුම් දුන් බව රෝහණ කුමාර කියා සිටියි. එහෙත් එම ලිපියට කිසිදු දේශපාලකයෙකු හෝ රාජ්‍ය නිලධාරියෙකු ඇහුම්කන් නොදුන් බව රෝහණ කුමාර කියා සිටියි.   


මීට අමතරව පාලම ඉදි කිරීමේදී මීගහපල්ලම ගොවි සංවිධානය විරෝධතා කිහිපයක්ම පවත්වමින් පෙන්වා දී ඇත්තේ එතැනට පාලමක් අවශ්‍ය නම් සුදුසු වෙනත් පාලමක් හෝ තුන් වැනි මාවත කොන්ක්‍රීට් කර හෝ කාපට්කර සංවර්ධනය කර දෙන ලෙසය.   


  • මේ පාලම හදන්න හෝ ගොවීන්ට පාලම හදන්න මම නිර්දේශ 
  • දුන්නේ නෑ

- දමන ප්‍රා. සභාවේ සභාපති
මහින්ද මංගල ගුණවර්ධන



RB 17 ඇළ හරස් කරමින් ඉදිවෙන පාලමට මුල්ගල තබන්නේ පසුගිය මාර්තු මාසයේදීය. අප එහි යනවිට මෙම පාලමේ වැඩ සියයට 75ක පමණ වැඩ අවසන් කර තිබුණි. මෙම පාලම ඉදිකිරීමේදී හදවත යා කරන පාලම ලෙස නම් කර ඇත. නමුත් එම නම යෝජනා වූයේ මීගහපල්ලම ගොවිබිම්වලට යන මාර්ගයේ ඉදිවෙන පාලමටය. එම නම යෝජනා කළේ මීගහපල්ලම ගොවි සංවිධානය මගිනි. එසේම පාලම ඉදිකිරීමේදී එය ගොවි ජනතාවගේ නිෂ්පාදන ප්‍රවාහනයට පහසු ලෙස නාම පුවරුවේ සඳහන්ව ඇත. එයද සඳහන් කිරීමට යෝජනා වූයේ මීගහපල්ලම ගොවි සංවිධානයේ ඉල්ලීම මතය. නමුත් තමන් යෝජනා කළ අදහස් සහ නම භාවිත කොට පාලම වෙනත් තැනක ඉදිකර ඇති බව මීගහපල්ලම ගොවි සංවිධානයේ නියෝජිතයෝ තහවුරු කරති. RB 17 ඇළ මාර්ගය හරස් කරමින් ලක්ෂ 66ක් වියදම් කොට පාලමක් ඉදිවෙන්නේ 3 වන මාවතේ පිහිටි ගලක් නිසාය. එම ගල කඩා දමා 3වන මාවත කාපට් කර හෝ කොන්ක්‍රීට් කර පවුල් 8 සඳහා ලබා දන්නේ නම් පාලම සඳහා වියදම් කළ මුදල වෙනත් සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා වැය කිරීමට තිබුණි.   
එසේම දැන් පාලම ඉදිවෙන RB 17 ඇළ 3 වන මාවතේ කිසිම වාණිජ පරමාර්ථ ඇතිව ගොවිතැන කරන අය නැති බවද කියැවෙයි. එසේ නම් මෙම පාලම ඉදිකිරීම සිදු වෙන්නේ පවුල් 8ක අවශ්‍යතාව මතය. ඒ ඔවුනට ප්‍රධාන මාර්ගයට ගමන් කිරීමට මීටර 160ක් දිග අඩි 14 පළල මාර්ගයක් තිබියදීය. එම පාර සකසාදීම නොකළ රාජ්‍ය නිලධාරීන් මෙන්ම දේශපාලකයන් ලක්ෂ 66ක පලමක් පමණක් නොව 3 වැනි මාවතේ තිබූ ගලද කඩා පාර පුළුල් කොට සකසාදීමට මේ වෙනවිට පියවර ගෙන ඇත. අනවශ්‍ය තැනක අවශ්‍යතාව පෙන්වමින් පාලමක් ඉදිකොට මහජන මුදල් රුපියල් ලක්ෂ 66ක් කාබාසිනියා කරන තෙක් රාජ්‍ය නිලධාරීන් ද නිශ්ශබ්දව සිටීම පුදුම සහගතය.   

 

දැන් පාලම ඉදිවන ස්ථානය.

 


තම නිවසට යන මාර්ගයේ කළු ගලක් ඇති බවත් එය ඉවත් කර දෙන ලෙස දමන ප්‍රාදේශීය සභාවෙන් සහ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ඉල්ලූ බව කමල් පියතිලක කියා සිටියි. ඒ වැඩේ නොවුණ නිසා වියත්මග පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතාගෙන්ද පාලමක් ඉල්ලූ බව කමල් පියතිලක කියා සිටියි. මීට පෙරද පාලමක් ඉල්ලූ නමුත් එය ඉටු නොවූ බවද ඔහු කියා සිටියි. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂගෙන් ඇළ මාර්ගය හරහා පාලමක් ඉල්ලූ විට ලක්ෂ 66ක් වියදම් කොට පාලමක් ලබා දෙයි කියා සිතුවේ නැති බවද කීය. කහට එකක් ඉල්ලූ විට මන්ත්‍රීවරයා ටී එකක්ම ලබා දී ඇති බව තම බිරිඳ ද පවසන බව කමල් පියතිලක පවසයි.   


අම්පාර කොළඹ ප්‍රධාන මාර්ගයේ සිට තම නිවෙසට ඇත්තේ මීටර 160ක දුරක් බවත්, එම මාර්ගය අඩි 12ක් පළල බවද කමල් පියතිලක තහවුරු කරයි. මෙම මාර්ගයේ ඇත්තේ ගෙවල් 8කි. ගල තිබුණ නිසා තම වාහනය පවා ගැනීමට නොහැකි වූ බව ඔහු කියා සිටියි. නමුත් ගල පිහිටි ඉඩම් හිමියන් නෑදෑයින් වුවත් ඇති අමනාපකම් මත ගල කඩා පාර හැදීමට ඉඩ නොදුන් බවද කීය. පාලම හදන කොන්ත්‍රාත්කරු අදාළ ඉඩම් හිමියන් සමග කතා කොට ගල කඩා පාරද දැන් සකසා ඇතැයි කමල් පියතිලක කියා සිටියි. පාරේ අවුල නිසා තමාට සුඛෝපභෝගී වර්ගයේ කාරයක් ගැනීමට නොහැකිවූ බවත්, ඒ වෙනුවට ගැනීමට හැකිවූයේ කුඩා වර්ගයේ කාරයක් බවද කමල් පියතිලක පවසයි. මහජන මුදල් නාස්ති කොට පාලමක් ඉදිකර ගත්තා යන චෝදනාව තමන් ප්‍රතික්ෂේප කරන බවද කමල් පියතිලක පවසයි. චූටි පාලමක් ඉල්ලු‍වම මේ තරම් ලොකු පාලමක් දුන්නේ වෛද්‍ය තිලක් රාජපක්ෂ මන්ත්‍රීවරයා බවත් එම පාලම එතැනට සුදුසු බව තීරණය කළේ අම්පාර මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරුවරයා බවද කමල් පියතිලක පවසයි. එසේ නම් වැරද්ද කළේ මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරුවරයා බවද කීය. මීගහපල්ලම ගොවි සංවිධානයට හිමි පාලම මෙය නොවන බවත් එතැනට වෙනත් පාලමක් යෝජනා වී ඇති බවද ඔහු පවසයි.   


එසේ නම් 3 මාවතේ තිබෙන ගෙවල්වල වාණිජ කෘෂිකර්මාන්තය කරනවාදැයි අප විමසූ විට කමල් පියතිලක නිරුත්තර විය. පාලමේ පුවරුවේ ගසා ඇති ගොවි බෝග ප්‍රවාහනය ගැන විමසූ විට කමල් පියතිලක කියා සිටියේ පාරෙන් තම මාමණ්ඩියගේ නිවසට වී ටික ගෙනියන්න බැරි නිසා පාලම ප්‍රයෝජනය වන බවය. එසේම ඔහු කියා සිටියේ පාලමේ බෝඩ් එකේ තියෙන පාලම මෙය නොවන බවත් ඉදිවෙන පාලම ගැන තමන්ට අදාළ නැති දෙයක් බවය.   


මෙම පාලම ලබාදීම ගැන ජනතාව චෝදනා ඉදිරිපත් කරන වියත්මග පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතාගෙන්ද මේ ගැන විමසා සිටියෙමු. එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ ඡන්ද කාලේ යනවිට මිනිස්සු පාරවල් පාලම් ලිඛිතව සහ සංවර්ධන කමිටු හරහා ඉල්ලු‍ බවය. එම ඉල්ලීම් සෑම එකක්ම සංවර්ධන කමිටුවලට නොගිය බවත් එම ඉල්ලීම් මාර්ග සංවර්ධන අධිකාරිය හරහා ඉටු කරන බවය. එසේ කරන විට ජනතා විරෝධය එන බවද මන්ත්‍රීවරයා කිය. RB 17 ඇළ මාර්ගය හරස් කරමින් ඉදිවෙන පාලමට ද එවැනි ගැටලු‍ මතු වූ තැනක් බවය. කෙසේ වෙතත් මීගහපල්ලම ගොවි සංවිධානය ඉල්ලූ පාලමද අනුමත වී ඇති බැවින් ඉදිරියේදී එය ඉදිකරන බව මන්ත්‍රීවරයා කීය. RB 17 ඇළ හරස් කරමින් ඉදිවෙන පාලම මීගහපල්ලම ගොවි සංවිධානයට අනුමත වූ පාලම නොවේ. මෙම පාලමට රුපියල් ලක්ෂ 66ක් පමණ යන බව ගණන් බලා තිබෙනවායි මන්ත්‍රීවරයා කීය.   


පවුල් 8කට යන්න ලක්ෂ 66ක් වියදම් කොට පාලමක් හදන්නේ නැතිව මීටර 160 දිග පාර හැදුවා නම් සුදුසු නැද්ද කියා අපි මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියෙමු. එහිදී මන්ත්‍රීවරයා පවසන්නේ පාලම ඉදි කළේ ඒ වේලාවේ ඒ අයට බලපා තිබූ ගැටලු‍ පදනම් කරගෙන බවය. මම ඒ පාලම පෞද්ගලික වුවමනාව මත කළ දෙයක් නොවන බවද මන්ත්‍රීවරයා පවසයි. පාලම්වල ප්‍රමිතිය සහ වියදම ගැන තීන්දු කරන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය බව ද මන්ත්‍රීවරයා කියා සිටියි. මම එතැනට ගියාම පෙන්නුවේ 3 වන මාවත පවුල් 8 අයට පාවිච්චි කරන්න දෙන්නේ නෑ කියලා. මෙයාලාගේ වාහනය ගන්න බෑ. ඒ නිසා තමයි පාලම දාලා දුන්නේ. මගෙන් පාලම ඉල්ලු‍වේ පවුල් අටක් එයාලට පාලම දුන්නා යැයි මන්ත්‍රීවරයා කීය.   


පාලම ඉදිවෙන්නේ කෘෂිකාර්මික කටයුතු සඳහා යැයි කියා ඇති කාරණයද අපි මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියෙමු. එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් එම පුවරුවේ ගොවිබිම්වලට යාමට ඇතැයි කියා ලියා ඇති බව නොදුටු බවය. මිනිස්සු මගෙන් පාලමක් ඉල්ලු‍වා මම ඒක දුන්නා. ගොවිබිම්වලට යන්න කියා පාලම ඉල්ලු‍වේ නැති බවද මන්ත්‍රීවරයා කියා සිටියි. පාලම සඳහා වියදම ඇස්තමේන්තු කළේ මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරුවරයා ඊට වගකිව යුතු බවද මන්ත්‍රීවරයා කියා සිටියි. මේ පාලම එතැනට නොගැලපෙනවා නම් එහි ඉදිකිරීම් නවතා දමන ලෙසටද දැනුම් දුන් බව මන්ත්‍රීවරයා කීය. මිනිස්සු අත්සන් කළ විරෝධතා ලියුමක් මම දැක්කේ නෑ. එහෙම විරෝධතාවක් මුල්ගල තියෙන කම් ආවේ නෑ. එහෙනම් අදාළ බලධාරීන්ට මෙම පාලම ඉදිකරන එක නවතා දැමීමට තිබුණ බවද මන්ත්‍රීවරයා කියා සිටියේය. 

 
මීගහපල්ලම ගොවි සංවිධානයේ ලේකම් සහ සභාපති පවසන පරිදි අම්පාර දමන ප්‍රාදේශීය සංවර්ධන කමිටුව නියෝජනය කළා යැයි කියන දමන ප්‍රාදේශීය සභාවේ සභාපති මහින්ද මංගල ගුණවර්ධනගෙන්ද මේ ගැන විමසා සිටීමේදී කියා සිටියේ මීගහපල්ලම හෝ RB 17 ඇළ හරස් කරමින් පාලමක් ඉදිකිරීමට හෝ පාර ඉදිකිරීමට කිසිදු නිර්දේශයක් තමන් ලබා නොදුන් බවය. එම කමිටුවේ තමන් නැති බවත් අදාළ පාලම තමන්ගේ බල ප්‍රදේශයේ වුවත් මුල්ගල තබන තෙක් එය ඉදිවෙන තැනද තමන් දැන නොසිටිය බව සභාපතිවරයා කියා සිටියි. නමුත් එම පාලම ගෙවල් අටක් සඳහා ඉදිකර ඇති බවත් එම ඉල්ලීම පරිදි පාලම ඉදිකර ඇති බවද සභාපතිවරයා කියා සිටියි. පාලම ඉදිකිරීමට මූලික වුණේ තිලක් රාජපක්ෂ මන්ත්‍රීවරයා නිසා ඒ ගැන මන්ත්‍රීවරයාගෙන් දැනගත යුතු බවද සභාපතිවරයා කියා සිටියේය.   


අප මේ ගැන විමසීමට සංවර්ධන කමිටුවට සහභාගි වූ දමන සංවර්ධන නිලධාරිනියට කතා කළ මුත් ඇය නිවෙසින් බැහැරව ගොස් ඇති බව ඇයගේ පුත්‍රයා කීවේය. ඒ අනුව ඇය සම්බන්ධ කර ගැනීමට නොහැකි විය. ඉන් පසු දමන සමෘද්ධි නිලධාරියාට කතා කිරීමට ගත්තත් සමෘද්ධි නිලධාරිවරයා සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.   


දමන කෘෂිකර්ම සංවර්ධන නිලධාරිවරිය එච්.පී.අයි. නිල්මිණි කුලතුංගගෙන් අපි මේ ගැන විමසීමක් කළෙමු. එහිදී ඇය කියා සිටියේ පාලම ඉදිකිරීමට නිර්දේශ වූයේ මීගහපල්ලම ගොවි කලාපයේ බවය. දැන් පාලම ඉදිවෙන තැන පාලමක් ඉදිකිරීමට සංවර්ධන කමිටුවෙන් නිර්දේශ නොකළ බවය. දමන ප්‍රාදේශීය සභාපතිවරයා ද අදාළ සංවර්ධන කමිටුවේ සිටින බව කෘෂිකර්ම සංවර්ධන නිලධාරිනිය කියා සිටියාය. ගොවීන්ගේ පාලම ඉදිකිරීම මූලික වූ බවත් දැන් පාලම ඉදිකිරීමෙන් පවුල් තුනකට පමණක් ප්‍රතිලාභ හිමිවෙන බවද ඇය කියා සිටියාය. කමල් මහතාද හොඳ ගොවියෙකු බවත් ලස්සන ගෙවත්තක් ඔහුටද ඇති බවත් ඇය කියා සිටියාය. නමුත් එම ගෙවත්තේ වාණිජ වශයෙන් නොව පරිභෝජනය සඳහා වගා කටයුතු සිදු කරන බවද ඇය පැවසුවාය.   


පසුව අපි පැරණිගම W 27/A ග්‍රාමසේවා වසමේ ග්‍රාමනිලධාරි පොඩිමැණිකේ මහත්මියට කතා කළෙමු. ඇය කියා සිටියේ තමන් මේ වසමට අලු‍ත් බවත් තමන් පැමිණි පසු සංවර්ධන කමිටු තිබුණේ නැති බවය. එනිසා හිටපු ග්‍රාමනිලධාරිනිට කතා කරන ලෙසද කියා සිටියාය. අපි මේ ගැන හිටපු ග්‍රාම නිලධාරිනිය වන අයි.ඒ. වාදසිංහ මහත්මියටද කතා කළෙමු. ඇය කියා සිටියේ සංවර්ධන කමිටුවේදී යෝජනා බොහොමයක් ගත් බවත් මීගහපල්ලම පාලම ඉදිකිරීමද ඊට ඇතුළත් වූ බවය. නමුත් දැන් ඉදිවෙන පාලම ගැන නොදන්නා බවද ඇය කියා සිටියාය. මේ ගැන තමන් හරියට නොදන්නා බවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඒ ගැන දැන ගන්නා ලෙසද ඇය කියා සිටියාය. මෙම සංවර්ධන කමිටුවට දමන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද සහභාගි වූ බව ඇය කියා සිටියාය.   


අප මේ ගැන අම්පාර දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී. වීරසිංහ මහතාගෙන්ද විමසා සිටියෙමු. එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ මන්ත්‍රීවරුන්ට පාලමක් හදන්න ඊට ප්‍රතිලාභ වෙන් කොට එවා තිබුණා. ඔය පාලම හදන්න මූලික වුණේ තිලක් රාජපක්ෂ මන්ත්‍රීතුමා. ඒක කළේ එතුමාට ආව යෝජනාවක් අනුව. ඔය ගැන මටත් ගම්වාසීන් දැනුම් දුන්නා. මම ඒ අයට කිව්වේ තිලක් රාජපක්ෂ මන්ත්‍රීවරයාට කතා කොට පාලම හදන එක වෙනස් කර ගන්න කියලා. ඒක වෙලා නෑ. එතැන පාලම හදනවා. ඒ යෝජනාව වෙනස් කරන්න ඕනැ අදාළ මන්ත්‍රීවරයා. ඒ යෝජනාව වෙනස් කළා නම් හොඳයි කියා තමන් සිතන බවද මන්ත්‍රීවරයා කීය.   


මේ කාරණාව ගැන මීගහපල්ලම ගොවි සංවිධානයේ සාමාජිකයින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියටද පැමිණිල්ලක් යොමු කර තිබුණි. අප මේ ගැන මුලින් විමසීමේදී ආණ්ඩුකාරවරිය කියා සිටියේ එවැනි ලිපියක් නොලැබුණ බවය. පසුව අපට කතා කළ ඇය කියා සිටියේ එවැනි පැමිණිල්ලක් ලැබී ඇති බවය. ඒ ගැන බුද්ධි අංශ මගින් ද පරීක්ෂණයක් කර ඇති බවය. ඒ අනුව ආණ්ඩුකාරවරිය පවසන්නේ පවුල් 8ක් සඳහා යාමට වෙනත් මාර්ගයක් නැති නිසා මෙම පාලම ඉදිවෙන බවය. අනික් පාලම නවත්තලා හදපු එකක් නොවන බවත් අනෙක් පාලමද ඉදිරියේදී ඉදි කරන බව කීය. ආණ්ඩුකාරවරියද කියා සිටින්නේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් එම පාලම එතැනට නිර්දේශ කර ඇති බවය.   


අප මේ සියලු‍ චෝදනා ගැන මාර්ග සංවර්ධන අධිකාරියේ අම්පාර දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරු කේ.එ.එම්. ස්මයිල් මහතාගෙන් විමසා සිටියෙමු. එහිදී ඉංජිනේරුවරයා කියා සිටියේ පාලම් ඉදිවෙන තැන සොයා දෙන්නේ ප්‍රදේශයේ දේශපාලකයන් බවය. ඒ අය බෝඩ්දාලා විවෘත කරන බවද කීය. මෙම පාලම ඉදිකොට මීටර 1.6 පාරද සාදා අම්පාර දමන ප්‍රධාන මාර්ගයට සම්බන්ධ කරන බවද ඉංජිනේරුවරයා කීය. අප ක්‍රියාකරන්නේ දේශපාලන අධිකාරිය කියන දේ බවත් ප්‍රධාන ඉංජිනේරුවරයා කීය. ගෙවල් 5ක් තියෙනවා නම් පළමක් දෙනවා. පාර හදනවා. අප කරන්නේ අම්පාරේ දේශපාලකයන් කරන යෝජනා කරන තැන පාලම හදන එකයැයි ප්‍රධාන ඉංජිනේරුවරයා කීය.   


අම්පාර දිස්ත්‍රික් ලේකම් ඩී. එම්. එල්. බණ්ඩාරනායක මහතාට ද කතා කළෙමු. ඒ ගැන තමන්ටද දැනගන්නට ලැබුණ බවත්, දමන ප්‍රාදේශීය ලේකම් උදාර නානායක්කාර මහතාට ඒ ගැන සොයා බලන ලෙස දැන් වූ බවය. මේ ගැන නැවත ප්‍රාදේශීය ලේකම්තුමා යවා සොයා බලන බවද දිස්ත්‍රික් ලේකම්වරයා කීය.   


දමන ප්‍රාදේශීය ලේකම් උදාර නානායක්කාර මහතා හමුවීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියත් හමුවීමට නොහැකි විය. එසේම කිහිප අවස්ථාවකම දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ ගත්තද සෑමවිටම දුරකථනය ක්‍රියා විරහිත කොට ඇත. ඒ නිසා අප දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරී අයි.එල්. මොහොමඩ් රසාක් මහතාගෙන් කරුණු විමසා සිටි අවස්ථාවේ කියා සිටියේ මේ ගැන පැමිණිලි ලැබී ඇති නිසා ඉහළින් පරීක්ෂණ සිදු වෙන බවය. ඒ ගැන ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් විමසන ලෙසය.   
මේ ගැන ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා ඇමැතිවරයාගෙන්ද විමසා සිටි අවස්ථාවේ කියා සිටියේ අදාළ සිදුවීම ගැන සොයා බලන බවය.

 

 

ප්‍රගීත් සම්පත් කරුණාතිලක
prageethsampath3@gmail.com