IMG-LOGO

2024 පෙබරවාරි මස 25 වන ඉරිදා


භාරතයට දිරියක් වූ ’’කැප්සියුල් මිනිසාගේ ’’ වික්‍රමය

 

ගැඹුරු නළ ළිං කුහරවලට වැටී සිරවුණු කුඩා දරුවන් ගැන නිතරම පාහේ අපට අසන්න ලැබෙන්නේ අසල්වැසි ඉන්දියාවෙනි. එසේ අකරතැබ්බවලට මුහුණ දෙන දරුවන්ගේ කතාන්දර සැමවිටම සතුටුදායක ලෙස අවසන් වී නැත. හඳට යානා යැවීමට ඉන්දියාව සමත් වුවත්, නළ ළිං කුහරවල සිරවුණු දරුවන් බේරාගැනීමට බැරි යැයි ඒ සෑම අවස්ථාවකදීම ඉන්දියාවට විවේචන එල්ල වෙයි. 


පසුගිය දිනෙක, ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ ඉදිකෙරෙමින් තිබෙන උමං මාර්ගයක් කඩා වැටී, ඉදිකිරීම් කම්කරුවෝ 41 දෙනෙක් ඒ තුළ දින 17 ක් සිරවී සිටියහ. අතිනවීන තාක්ෂණයෙන් පිරි යන්ත්‍ර සූත්‍ර පවා ඔවුන් මුදාගැනීමට අපොහොසත් වෙද්දී, ඔවුන් මුදාගැනීමට සමත් වූයේ මී ගුල් කණින්නන් ලෙස හැඳින්වෙන පතල් කැණීමේ ශූරයන් සය දෙනකුගෙන් යුත් කණ්ඩායමකි. එය සැබැවින්ම වික්‍රමයකි. 


මීට වසර 34 කට පෙර ද එවැනිම වික්‍රමයක් සිදුවිය. ඉන්දියාවේ ගල් අඟු‍රු පතලක අනතුරක් සිදුවී, සේවකයෝ 65 දෙනක් ඒ තුළ සිරවූහ. සියලු‍ බලාපාරොත්තු අතහැර තිබියදී, ඔවුන් බේරා ගැනීමට එක් නිර්භීත ඉංජිනේරුවෙක් ඉදිරිපත් විය. ඔහු සීක් ජාතික ජස්වාන්ත් සිං ගිල් ය. සෑම වසරකම නොවැම්බර් 16 වැනිදා ඉන්දියානුවන් ‘ගලවා ගැනීමේ දිනය‘ ලෙස සමරන්නේ ජස්වාන්ත් සිං ගිල්ගේ වික්‍රමය සිහි කරමිනි. ඔහුගේ නිර්භීතකමට ගෞරව කරමිනි. ගිල්ගේ වීර ක්‍රියාව ඇගයීමට ලක් කරමින් එවකට ඉන්දීය ජනාධිපති ඔහුට වීර පදක්කමක් ද පිරිනැමුවේය. ජීවතුන් අතර සිටින අයකුට මෙම වීර පදක්කම පිරිනැමුණු පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙයි. ඉන්දියානුවන් බොහෝ දෙනා ජස්වාන්ත් සිං ගිල් හඳුනන්නේ ‘Capsule Man’(කැප්සියුල් මෑන්)’  (කැප්සියුල් මිනිසා) යන නමිනි. මේ ඔහුගේ වික්‍රමයයි.

 


ගල් අඟු‍රු පතල් සම්බන්ධයෙන් වසර 2,000 ක් තිස්සේ නමක් දිනා සිටින්නේ සුද්දන්ය. බ්‍රිතාන්‍ය ජාතිකයන්ය. 1575 දී ස්කොට්ලන්ත ජාතික ශ්‍රීමත් ජෝර්ජ් බෲස්, නව අදහසක් ඉදිරිපත් කරමින් පතල් කැණීම් කටයුතු සිදුවෙමින් පැවැති ආකාරය වෙනස් කළේය. අඩි 40 ක පතල් ළිඳක් තවත් පතල් ළිං දෙකකට සම්බන්ධ කිරීමෙන්, පතල් පද්ධතියක් නිර්මාණය මෙම නව අදහසය. එමගින් පතල තුළට හොඳින් වාතාශ්‍රය ලැබීම, මෙන්ම අපවහන ජලය බැහැර කිරීම ද පහසුවෙන් මෙන්ම ක්‍රමානුකූලව සිදුවෙයි.  බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වූ මෙම නවෝත්පාදන තාක්ෂණය, අදත් ගල් අඟු‍රු ආකරවල බහුලව භාවිත වෙයි. ගල් අඟු‍රු පතලක්, භූගතව විශාල පතල් පද්ධතියක් බවට පරිවර්තනය වෙන්නේ මෙම ක්‍රමයට අනුව සිදුවෙන හෑරීම් නිසාය. 


භාරතයේ, එසේත් නැතිනම් ඉන්දියාවේ පළමු ගල් අඟු‍රු පතල පිහිටුවීම සිදුවූයේ රාණිගන්ජ් හිදීය. එහි පුරෝගාමීන් වූයේ ‘‘ඊස්ට් ඉන්දියා කොම්පැනි’’ ය යටතේ වැඩ කළ බ්‍රිතාන්‍ය ජාතිකයන්ය. ජෝන් සම්නර් සහ ග්‍රාන්ට් හීට්ලි ඒ අතරින් කැපී පෙනෙයි. ඉන්දියාවේ ගල් අඟුරු වෙළෙදාම බිහිවූයේ බ්‍රිතාන්‍යයන්ගේ බලපෑමෙන් බව පැහැදිලිය. පතල් කටයුතුවල නියැලු‍ණු නිලධාරීන්ට හිමිවූයේ විශේෂ ගෞරවනීය සැලකිල්ලකි. ඩන්බාද් නුවර, පතල්කරුවන් පුහුණුකිරීම වෙනුවෙන් විශේෂ පාසලක් (අද මෙය ඉන්දියාවේ පිළිගත් විශ්ව විද්‍යාලයකි) පිහිටුවීම සිදුවූයේ ලන්ඩන් නුවර රාජකීය පතල්කරුවන්ගේ පාසල ආභාසයට ගනිමිනි. කිලෝ මීටර් 6,000ක දුරකින් පිහිටි, එංගලන්තයේ සහ ඉන්දියාවේ පතල් කැණීම් කටයුතු එකිනෙකට වෙනස් වුවත්, පතල් කර්මාන්තයේ නියැළු‍ණු සියලු‍ දෙනා එක් පොදු අභියෝගයකට මුහුණ දුන්නේය. ඒ පතල් තුළ සිදුවෙන අනතුරුය.
ගල් අඟු‍රු, දෛනික ජීවිතයේ කොටසක් වී හමාරය. ගල් අඟු‍රු නිර්මාණය වීමට මිලියන ගණනක් ගතවෙයි. ගල් අඟු‍රු බහුලව යොදා ගැනෙන්නේ බලශක්ති උත්පාදනයටය. සිමෙන්ති, කඩදාසි සහ ඇලු‍මිනියම් කර්මාන්තවලට ද ගල් අඟුරු යොදාගැනෙයි. ගල් අඟුරු කැණීම, ගල් අඟුරු පතලක සේවය කිරීම යනු මනුෂ්‍යයකුට කිරීමට සිදුවෙන අනතුරුදායකම රැකියාවකි. ඕනෑම මොහොතක අනතුරක් සිදුවී මීටර් ගණනක් පොළොව යට පණ පිටින් වැළලීමට ඉඩ ඇත. ඉන්දියාවේ ගල් අඟුරු කර්මාන්තයට ඇත්තේ පුරාණ ඉතිහාසයකි. රාණිගන්ජ් ගල් අඟුරු පතල යනු ඉන්දියාවේ ඇති දෙවැනි විශාලතම ගල් අඟුරු පතලය. පළමු ස්ථානය හිමිවෙන්නේ, ජර්කාන්ද් ප්‍රාන්තයේ ජර්කන්ද් පතලය. රාණිගන්ජ් ගල් අඟුරු පතල සොයාගැනීම සිදුවූයේ 1774 වසරේ දී ය. අද වෙනවිට මෙම ගල් අඟුරු පතල පිහිටා ඇත්තේ බටහිර බෙංගාලයේ, පශ්චිම් බර්ඩ්මාන් දිස්ත්‍රික්කයේ ආසන්සෝල් සහ දුර්ගාපෝල් පළාත් අතරේය. 1820 දී රාණිගන්ජ් ගල් අඟුරු පතලේ කැණීම් ආරම්භ කෙරුණි. 19 වැනි සහ 20 වැනි සියවසේ ඉන්දියාවේ ප්‍රධානතම ගල් අඟුරු පතල ලෙස සැලකුණේ මෙයයි. රාණිගන්ජ් ගල් අඟුරු පතල වර්ග කිලෝමීටර් 113.50 ක් පුරා විසිරී පැතිරී පවතී. ගල් අඟුරු සංචිත ටොන් බිලියන 49.17 ක් බටහිර බෙංගාලයේ සිට ජර්කාන්ද් දක්වා මෙය විසිරී පවතී. මෙම මහා පතල තුළ එක් එක් සමාගම්වලට අයත් කුඩා පතල් රැසකි.


1989 නොවැම්බර් 12 වැනිදා
වේලාව රාත්‍රී 11.35
ඊස්ටර්න් කෝල්ෆීල්ඩ්ස් සමාගමට අයත්
රාණිගන්ජ් මහබීර් පතල


රාත්‍රී සේවා මුරයට පතල් සේවකයෝ සූදානමින් පෙළ ගැසී සිටියහ. ජරබර හඬින් ඉහළට ආ සෝපානවල කිටි කිටියේ සිරවී සිටි පිරිස් පිටව යද්දී, නව සේවා මුරය ආරම්භ කරමින්, පතල් සේවකයෝ පිරිසක් සෝපානවල සිරවී පහළ අඳුර බලා ගමන් කළහ. මීටර් 320 ක් පමණ පහළින් සේවා මුර කීපයක් යටතේ වැඩ කටයුතු සිදුවෙමින් පැවැතිණි. ගල් අඟුරු කැණීම කළේ එක් පිරිසකි. ඒවා කුඩා රේල් පාරක් දිගේ ඩක්කුවලට පටවාගෙන තල්ලු‍ කළේ තවත් පිරිසකි. ගල් අඟුරු පිරවූ ඩක්කු ඉහළට ගෙන යෑම කළේ තවත් පිරිසකි. 
නොවැම්බර් 13 වැනිදා අලු‍යම 4 ට පමණ, කැණීම් කටයුතු සිදු කරන්න වූ පතල් සේවකයෝ, පතලේ ගල් අඟු‍රු බිත්ති කැඩීමට පුපුරන ද්‍රව්‍ය අටවා පිපිරීම් කීපයක් සිදු කළහ. පතල කණිමින් ඉදිරියට යෑම සිදු කරන්නේ මෙලෙස පිපිරීම් කරමිනි. පිපිරීමෙන් පසු එම ස්ථානය පරීක්ෂා කරද්දී පෙනී ගියේ පිපුරුමෙන් පතල් බිත්තිය ඉරිතලා ගොස් ඇති බවත්, ජලය සෙමින් කාන්දු වීමට පටන්ගෙන ඇති බවත්ය. අනතුරු ඇඟවීමටත් පෙර, බිත්ති පුපුරා මහා ජල කඳක් පතල් කුහරයට කඩා වැදුණි. පතල් කුහර ජලයෙන් පිරී යද්දී, බේරී ඉහළට යෑමට හැකිවූයේ සෝපාන අසල සිටි සේවකයන්ට පමණි. කලබල වී එකිනෙකා පෙරළාගනිමින්, කෙසේ හෝ බේරී ඉහළට ආ පතල්කරුවන් ගණන 161 කි. එසේ වුවත්, 71 දෙනෙක් පතල තුළ සිරවූහ. එම 71 දෙනාගෙන් 65 දෙනකු ජලය කාන්දු වෙමින් තිබූ කොටසට ඉහළින් රැකවරණය ලැබූහ. සෙසු පිරිසට දිවි අහිමි විය. ජල මට්ටම ඉහළ නගින්නට වූ අතර, ඔක්සිජන් මට්ටම පහළ යන්නට විය. 


පතල් අනතුර සිදුවී පැය දෙකක් පමණ ගතවී තිබුණි.උදෑසන 6.15 ට ඩන්බාද් නුවර තරුණ ඉන්ජිනේරුවකු රැකියාව බලා යමින් සිටියේය. ඔහු ජස්වාන්ත් සිං ගිල් ය. පතල්කරුවන් සිරවී සිටිනවා යැයි දැනගත් සැණින් ගිල් පතලට පැමිණියේය. ජස්වාන්ත් සිං ගිල්, උපත ලබා ඇත්තේ, 1939 නොවැම්බර් 22 වැනිදා පන්ජාබයේ, අම්රිත්සාර් නුවර සතියාලා ගම්මානයේය. ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේ අම්රිත්සාර් කස්ලා විද්‍යාලයෙනි. තාක්ෂණවේදී උපාධිය හිමිකරගත්තේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ ස්ථාපිත කළ ඩන්බාද් පතල් කටයුතු පිළිබඳ විශ්වවිද්‍යාලයෙනි. අද මෙම විශ්වවිද්‍යාලය හැඳින්වෙන්නේ ඩන්බාද් ඉන්දීය තාක්ෂණ ආයතනය Indian Institute of Technology Dhanbad  යනුවෙනි. ජස්වාන්ත් සිං ගිල්, ඉංජිනේරුවකු ලෙස පළමුවෙන් රැකියාව කළේ ‘කරම්චන්ද් චාපා සහ සහෝදරයෝ’ සමාගම යටතේය. 1989 වසරේ දී, රාණිගන්ජ් පතල් අනතුර සිදුවෙන අවස්ථාවේ, ඔහු ‘කෝල් ඉන්දියා ලිමිටඩ්’ Coal India Ltd. සමාගමේ පතල් කැණීම් සම්බන්ධ අතිරේක ඉංජිනේරුවකු ලෙස සේවය කරන්නට විය.


ඒ වනවිට, පතල් කැණීම් කටයුතු පිළිබඳ බ්‍රිතාන්‍ය ජාතික විශේෂඥයන් දෙදෙනකු එහි පැමිණ තීරණය කර තිබුණේ සිරවුණු සියලු‍ දෙනා මියයන්නට ඇති බවය. ඒ, පතල තුළ ජල මට්ටම වේගයෙන් ඉහළ යෑමත්, පතල් බිත්ති කඩා වැටීමටත් පටන් ගෙන තිබුණු බැවිනි. පතල ඉදිරිපිට එකම ගාලගෝට්ටියක් විය. පතල් සේවකයන්ගේ පවුල්වල සාමාජිකයෝ පතල් හිමිකරුවන් සමඟ ගැටුම් ඇති කර ගන්නට වූහ. ඔවුහු නවතා තිබූ මෝටර් රථවලට සහ යතුරු පැදිවලට ගිනි තබන්න පටන් ගත්හ. ‘මම ආවේ උදවු වෙන්න. මොනවද මට කරන්න පුළුවන්’ යැයි ජස්වාන්ත් සිං ගිල්, පතලේ මෙහෙයුම් කටයුතු බාර ගොබර්දාන් රෝයි ට පවසද්දී, එය ගොබර්දාන් රෝයිට මහත් අස්වැසිල්ලක් විය. 
පතල් සේවකයන් පණපිටින් සිටිනවා යැයි යන දැඩි විශ්වාසයෙන් යුතුව ජස්වාන්ත් සිං ගිල් සිය සැලැස්ම ඉදිරිපත් කළේය. අතිරේක කනිෂ්ඨ දිවි ගලවා ගැනීමේ ඉංජිනේරුවකු ලෙස එදා සේවය කරමින් සිටියත්, ජස්වාන්ත් සිං ගිල්ට කන් දීමට ගොබර්දාන් රෝයි කටයුතු කළේය. ඒ අනුව, මිනින්දෝරුවකුගේ ද සහාය ඇතිව පතලේ ඉහළම ස්ථානයට ගොස්, එහි සිට මීටර් 320 ක් පහළට සිදුරක් කැණීම කළේය. ඉන්පසු එම සිදුර හරහා වානේ නළයක් පහළට දමා, රැහැනකට සම්බන්ධ කළ විදුලි පන්දමක් පහළට යැවීය. දිවි ගලවාගැනීමට සමත් වූ පතල් සේවකයන්ට එම සිදුර සහ විදුලි පන්දම සොයා ගැනීමට පැය කීපයක් ගතවිය. 65 දෙනා යහතින් සිටින බව තහවුරු විය. දිවි ගලවාගත් පිරිස සහ ඉහළ සිටින ජස්වාන්ත් සිං ගිල් ප්‍රමුඛ දිවි ගලවා ගැනීමේ කණ්ඩායම අතරේ දුරකතන මාර්ගයක් ස්ථාපිත කෙරුණි. ඒ, පහළට දැමූ නළය හරහාය. පතල් සේවකයන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද එම දුරකතන මාර්ගය ඔස්සේ කතා කරන්න විය. විදුලි පන්දම් සහ ආහාර සහ පානීය ජලය ද පහළට යැවීම සිදුවිය. 


ජස්වාන්ත් සිං ගිල්ගේ සැලැසුමට අනුව, අඩි 6 ක් පළල, සෙන්ටිමීටර් 21 ක වට ප්‍රමාණයක යකඩ කැප්සියුලක් නිර්මාණය කෙරුණි. ඒ පැය කීපයකිනි. කුඩා දොරක් ඊට සවි කෙරුණු අතර මනුෂ්‍යයකුට ඒ තුළ සිටගෙන සිටීමට ප්‍රමාණවත් විය. පසුව, පහළ සිරවී සිටි පතල් සේවකයන් මුදාගැනීමට යොදා ගැනුණේ මෙම කැප්සියුලයයි. ‘ඒක නම් හරියන වැඩක් නොවේ’ යැයි දිවි ගලවා ගැනීමේ කණ්ඩායමේ සිටි බොහෝ දෙනකු ජස්වාන්ත් සිං ගිල් ගේ සැලැස්ම විවේචනය කරද්දී, 16 වැනිදා අලු‍යම 2.30 ට පමණ, කැප්සියුලයට ගොඩ වී පහළ පතලට යෑමට ජස්වාන්ත් සිං ගිල් තීරණය කළේ දිවි පරදුවට තබමිනි. ඒ අනුව ඔහු එසේ කළේය. පැය 24 කට වැඩි කාලයක් අඳුරේ සීතලේ සිරවී සිටින පතල් සේවකයන් අතරට ඔහු ද එක් වූයේ එම පිරිසට බලාපොරොත්තුවක් එක් කරමිනි. පළමුවෙන් ඉහළට යන්නේ කවුරුන්දැයි සේවකයන් අතරේ වාද විවාද පැවැත්වෙද්දී ඒ සියල්ල සමථයකට පත් කරමින්, බියෙන් කලබල වුණු පතල් සේවකයන් සන්සුන් කළේ ද ජස්වාන්ත් සිං ගිල් ය‍.


ඉහළ රැස්ව සිටි පිරිස දෙවියන් සිහිකරද්දී, මරණය පෙනි පෙනී සිරවී සිටි සේවකයන් 65 දෙනා, වරකට එක්කෙනකු බැගින් ඉහළට එසවීම සිදුවිය. කැප්සියුල පහළට යැවීම සහ ඉහළට එසවීම සිදුවූයේ ටොන් 12 ක් බර දොඹකරයක ආධාරයෙනි. ඒ, එය ඉක්මනින් සිදුවිය යුතු බැවිනි. අවසානයේ පහළ පතල්කරුවන් සිටි කොටසට ද ජලය කාන්දු වෙද්දී, අවසන් වශයෙන් කැප්සියුලයේ නැගී ඉහළට ආවේ ජස්වාන්ත් සිං ගිල් ය.  නොවැම්බර් 16 වැනිදා උදෑසන 8.30 වෙද්දී, පතල තුළ සිරවී සිටි පතල් සේවකයන් බේරාගැනීම අවසන් වී තිබුණි. ජස්වාන්ත් සිං ගිල්, පතල් සේවකයන්ගේ පමණක් නොව, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ද එකම ගැලවුම්කරුවා විය. ඔහු ඔවුන්ට දෙවියකු විය. අවසානයේ කැප්සියුලයෙන් එළියට ආ ජස්වාන්ත් සිං ගිල් ප්‍රීති ඝෝෂා මැද ඔසවාගෙන යෑම සිදුවූයේ කරමතිනි. 


ජස්වාන්ත් සිං ගිල්, දිවි පරදුවට තබා කළ ඒ වීර ක්‍රියාව ඇගයීමට ලක්විය. ඔහුට වීර පදක්කම් රැසක් හිමිවිය. 1991 දී එවකට ඉන්දීය ජනාධිපතිවරයා වූ රාමාස්වාමි වෙන්කටරාමන් අතින්, ‘‘සර්වොත්තම් ජීවන් රාක්ෂා පදාක්’’ වීර පදක්කම පිරිනැමීම ද සිදුවිය. ‘කැප්සියුල් මිනිසා’ ජස්වාන්ත් සිං ගිල් ගේ වීර ක්‍රියාව ඇගයීමට ලක් කරමින් සෑම වසරකම නොවැම්බර් 16 වැනිදා, ‘රෙස්කියු ඩේ’ එසේත් නැතිනම්, ‘ගලවා ගැනීමේ දිනය’ ලෙස නම් කර තිබේ. අම්රිත්සාර් නුවර, මාර්ගයක් ද ජස්වාන්ත් සිං ගිල් ට ගෞරව පිණිස ඔහුගේ නමින් නම් කර තිබේ.  අම්රිත්සාර් වැසියන් ඔහු හඳුන්වන්න වූයේ ‘කැප්සියුල් ගිල්’ නමැති ආදර නාමයෙනි. දිවි ගලවාගැනීමේ මෙහෙයුමට යොදාගත් යකඩවලින් තැනූ කැප්සියුලයේ අනුරුවක් නගරයේ ප්‍රදර්ශනයට තබා තිබේ. නොවැම්බර් මාසය ජස්වාන්ත් සිං ගිල් ගේ ජීවිතය හා බැඳී පවතින බව පෙනෙයි. ජස්වාන්ත් සිං ගිල් දිවියෙන් සමුගත්තේ 2019 වසරේ නොවැම්බර් 26 වැනිදාය.


අද ජස්වාන්ත් සිං ගිල් යළිත් පුවත් මැවීමට සමත් වී සිටී. ඒ, පසුගිය ඔක්තෝබර් 6 වැනිදා තිරගත කිරීම් ආරම්භ කළ ‘මිෂන් රාණිගන්ජ්: ද ග්‍රේට් භාරත් රෙස්කියු’ (Mission Raniganj: The Great Bharat Rescue)  චිත්‍රපටයට පාදක වෙන්නේ, රාණිගන්ජ් පතලේ සිරවුණු පතල්කරුවන් බේරාගන්නා වික්‍රමය නිසාය. මෙය, බොලිවුඩ් සිනමාකරුවකු වන ධර්මේන්ද්‍ර ටීනු සුරේෂ් දේශායි ගේ අධ්‍යක්ෂණයකි. චිත්‍රපටයේ සීක් ඉන්ජිනේරු ජස්වාන්ත් සිං ගිල් ගේ චරිතයට පණ පොවන්නේ, බොලිවුඩයේ ජනප්‍රිය නළු ආක්ෂේ කුමාර්ය. ජස්වාන්ත් සිං ගිල් ගේ බිරිඳ නිර්දෝෂ් කෝර් ගිල් ගේ චරිතය නිරූපණය කරන්නේ පර්නීති චොප්රා ය. කුමුද් මිශ්‍රා, රවි කිෂාන් ආදිහු චිත්‍රපටයට එක් වී සිටිති. සැබෑ ඉන්දියානු වීරයන්ගේ චරිත රිදී තිරයට ගෙන ඒමේ දක්ෂයකු ලෙස ආක්ෂේ කුමාර් හැඳින්විය හැකිය. එහෙයින්, ‘මිෂන් රාණිගන්ජ්: ද ග්‍රේට් භාරත් රෙස්කියු’ හෙවත් ‘කැප්සියුල් මිනිසාගේ වික්‍රමය’ ද සැබැවින්ම සිත් ඇදගන්නාසුලු චිත්‍රපටයකි.

 

 

■ ලු‍සිත ජයමාන්න
1989 Raniganj Coalfield True Story  වීඩියෝව ඇසුරිනි

 



අදහස් (0)

භාරතයට දිරියක් වූ ’’කැප්සියුල් මිනිසාගේ ’’ වික්‍රමය

ඔබේ අදහස් එවන්න

තක්සලාව

facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 69 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 134 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මනෝරත්නයි - මමයි එක බෝඩිමේ - එක ඇඳේ නිදාගත්තේ
2024 පෙබරවාරි මස 10 188 0

එදිරිවීර සරච්චන්ද්‍ර ඉස්සෙල්ලම මුණගැහෙන මොහොත ගැන කතා කරමු අපි.


තමාගත් ඡායාරූප දැක රණවිරුවා කම්පාවෙයි
2024 පෙබරවාරි මස 10 263 0

දින කිහිපයක් ඇවෑමෙන් සෙබළ සූරියබණ්ඩාර කෑගල්ල නගරය වෙත යන ලද්දේ එහි වූ ස්ටුඩියෝවෙන් තම ඡායාරූප ලබා ගැනීමේ අරමුණිනි. එහිදී ඔහුට 36 කොඩැක් සේයා පටලයෙන් මා


ලොව විශාලතම සැප නැව
2024 පෙබරවාරි මස 03 163 0

අතමිට සරු නම්, අත දිගහැර විසි කිරීමට මුදල් ඇති නම්, සැප නැවක නැගී, ලෝකය වටා සංචාරය කිරීම තරම් තවත් අපූරු දෙයක් නැත. සැප නැව්වල නැගී දින ගණනක් හෝ මාස ගණනක් හ


හොඳම ළමා පොත් තිබුණේ ඉස්සරද ?
2024 පෙබරවාරි මස 03 55 0

ළමයින් වෙනුවෙන් ලියැවුණු පොත්පත් ගැන කතාකරනකොට ගොඩක් වෙලාවට කියවෙන දෙයක් තමයි අපි පොඩි කාලෙ අපිට කියවන්න ලැබුණු ළමා පොත් වගේ පොත් දැන් ළමයින්ට ලැබෙන


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 232 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 273 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 281 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site