මහාචාර්ය වෛද්‍ය බාර්ට්ලි ග්‍රිෆිත් යනු ඇමෙරිකාවේත්, ලෝකයේත් ප්‍රමුඛ පෙළේ ශල්‍ය වෛද්‍යවරයෙකි. ඉන්ද්‍රිය බද්ධ කිරීම සම්බන්ධ විශේෂඥයෙකි. වෛද්‍ය ග්‍රිෆිත්, මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයට අයත්, මේරිලන්ඩ් වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ඩේවිඩ් බෙනට් හමුවීමට ගියේ, ඔහුට වැදගත් දෙයක් පැවැසීමටය. 57 හැවිරිදි ඩේවිඩ් බෙනට්, දරුණු හදවත් රෝගියෙකි. ඔහු සිටියේ මරණ මංචකයේ බලාපොරොත්තු සුන් කරගෙනය.

වෛද්‍ය ග්‍රිෆිත්, බෙනට් හමුවට ගියේ බලාපොරොත්තුවක් සමගය. ඩේවිඩ් බෙනට් ට හදවත් බද්ධයක් කළ යුතු විය. ඒත් ගැටලුව, ඔහුට ගැළපෙන, සුදුසු හදවතක් නොතිබීමය.   


“ඔබට ජීවත් වෙන්න නම්, හදවතක් බද්ධ කළ යුතුයි. ඒත් ගැළපෙන හදවතක් සොයා ගැනීම පහසු නැහැ. මනුෂ්‍ය හදවතක් සොයාගෙන එය බද්ධ කළත්, ඔබේ සිරුර එය ප්‍රතික්ෂේප කරාවි.” වෛද්‍ය ග්‍රිෆිත් පැහැදිලි කරන්නට විය. “මනුෂ්‍ය හදවතක් බද්ධ කරන්න බැරි වුණත්, අපට පුළුවන් වේවි ඔබට සතකුගේ හදවතක් බද්ධ කරන්න. ඔබ කැමැති ද ඌරකුගේ හදවතකට?” යැයි වෛද්‍යවරයා බෙනට්ගෙන් විමසුවේ සිනාසෙමිනි. බෙනට් මුලින් සිතුවේ, එය වෛද්‍යවරයා කරන විහිළුවක් බවය. කෙසේ නමුත් එය විහිළුවක් නොවිණි. ජීවත් වීමේ බලාපොරොත්තු දැල්වෙද්දී, බෙනට් ඊට කැමැති විය. “දොස්තර මහත්මයා මාව ඌරෙක් කරන්න ද හදන්නේ?” බෙනට්ගේ පිළිතුර වූයේ එයයි.   


ඒ අනුව, වෛද්‍ය ඉතිහාසයේ පෙරැළියක් සිදු විය. ලොව පළමු වතාවට, ඌරකුගේ හදවතක් මිනිසකුට බද්ධ කෙරුණි. මේ ඌරා නිකම්ම නිකම් ඌරකු නොවෙයි. පර්යේෂණාගාරයක් තුළ ජාන වෙනස් වීම් කරමින් බිහි කළ ඌරෙකි. ඌරු හදවත, ඩේවිඩ් බෙනට් ට හොඳින් ‘පෑහුණු’ අතර, එය බද්ධ කිරීම සිදු වූයේ පසුගිය 7 වැනිදාය. ඒ සඳහා වෛද්‍ය ග්‍රිෆිත් ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමට පැය 7ක කාලයක් ගත වුණු බව ද පැවැසෙයි.   


සැත්කම සාර්ථක විය. සැත්කමින් පසු බෙනට්, ‘එක්මෝ’ යන්ත්‍රයකට සම්බන්ධ කෙරුණි. පසුගිය සඳුඳා (10) වන විට බෙනට් ට තනිව හුස්ම ගැනීම කළ හැකි විය. ඒ අනුව, වෛද්‍ය බාර්ට්ලි ග්‍රිෆිත් ප්‍රමුඛ මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය කණ්ඩායම ඔවුන්ගේ ‘හපන්කම’ ලෝකයට දැනුම් දුන්නේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි. ලොව පළමු ඌරු හදවත් බද්ධය, ලොව ප්‍රධාන පුවත බවට පත් විය. බෙනට් තනිවම හුස්ම ගනිද්දී, නව හදවත හරහා රුධිරය පොම්ප කෙරෙද්දී, සෙමින් සෙමින් ඔහු සම්බන්ධ කළ ‘එක්මෝ’ ඉවත් කරන බව වෛද්‍ය කණ්ඩායම පැහැදිලි කළේය. සැත්කම සාර්ථක වුවත්, සැත්කමින් පසු ඩේවිඩ් බෙනට් සිටින්නේ අවදානමකය. “ඕනෑම මොහොතක තත්ත්වය නරක් වෙන්න පුළුවන්. ඒත් එහෙම නොවේවි යන්නයි අපේ විශ්වාසය.” යැයි වෛද්‍ය ග්‍රිෆිත් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය. මෙම හදවත් බද්ධය සිදු කෙරුණේ ඇමෙරිකන් වෛද්‍ය සභාවේ ද විශේෂ අවසරයක් යටතේය.   


මේ වන විට ඉන්ද්‍රිය බද්ධ කිරීම් සඳහා පොරොත්තු ලේඛනයේ සිටින ඇමෙරිකානුවන් ගණන ලක්ෂයකට වැඩිය. ඔවුන් වැඩි දෙනා හදවත් සහ වකුගඩු රෝගීන්ය. එසේ පොරොත්තු ලේඛනවල සිටින බොහෝ දෙනා මිය යන්නේ ඔවුන්ට ගැළපෙන ඉන්ද්‍රියයන් නිසි වේලාවට නොලැබීමෙනි. සතුන් තුළ (විශේෂයෙන් ජාන වෙනස් වීම් කරමින් බිහි කළ ඌරන්) අවශ්‍ය පරිදි ඉන්ද්‍රියයන් නිර්මාණය කර, ඒවා ලබා ගැනීම ඉන්ද්‍රිය හිඟයට විසඳුම වෙයි. ජාන වෙනස් කළ සතුන් තුළ, මිනිසුන්ට බද්ධ කිරීම සඳහා ඉන්ද්‍රියයන් නිර්මාණය හැඳින්වෙන්නේ “සීනෝ-ට්‍රාන්ස්-ප්ලාන්ට්ටේෂන්” යනුවෙනි.   


පසුගිය 2021 වසරේ ඔක්තෝබර් මාසයේ, නිව්යෝර්ක් නුවර වෛද්‍ය පර්යේෂකයන් කණ්ඩායමක්, මොළය මියගිය පුද්ගලයකුගේ සිරුරකට ඌරකුගේ සිරුරක් තුළ නිපදවූ වකුගඩුවක් බද්ධ කරමින් එය සාර්ථකව ක්‍රියාකරනවාදැයි බැලීය. එම ‘පෙරහුරු’ සැත්කම සිදු කළේ එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන්ගේ සහ ඇමෙරිකන් වෛද්‍ය සභාවේ විශේෂ අවසරයක් යටතේය. එම ‘පෙරහුරු’ සැත්කම ද සාර්ථක විය.   
තාක්ෂණයේ දියුණුවත් සමග, අද වන විට කෙනකුට අවශ්‍ය ඉන්ද්‍රියයක්, සියයට සියයක් ඔහුට හෝ ඇයට ගැළපෙන ආකාරයෙන් ඌරන්ගේ සිරුරුවල සකසා ගැනීම කළ හැකි වී තිබේ. වෛද්‍ය විද්‍යාත්මක වශයෙන් මිනිස් සිරුරකට ඌරු හදවතක් බද්ධ කිරීම සුවිශේෂී සිදුවීමක් වූ බව නිසැකය. ඒත්, සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජගත් සංවිධාන මේ ගැන කනස්සල්ල පළ කර තිබේ. පර්යේෂණාගාරයක නිපදවූ සතකු බව ඇත්ත. ඒත්, “ඒ ඌරා මනුෂ්‍යයකුට ජීවත් වෙන්න හදවත දෙමින් මියගියා.” යැයි සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජගත් සංවිධාන, මෙම විස්මිත හදවත් බද්ධ සැත්කම සම්බන්ධයෙන් කනස්සල්ල මෙන්ම අප්‍රසාදය ද පළ කර තිබේ.   

 

 

ලුසිත ජයමාන්න   
(ඩේලිමේල් ඇසුරිනි)