IMG-LOGO

2024 ජුලි මස 18 වන බ්‍රහස්පතින්දා


අඳුරු කරළියේ සොඳුරු දිවාකර


ප්‍රවීණ වේදිකා ආලෝකකරණ ශිල්පී උපාලි වීරසිංහ රචිත “අඳුරු කරළියේ සොඳුරු දිවාකර”‍ කෘතිය එළිදැක්වීම හා අගැයුම් උළෙල ජූනි 28 වැනිදා සවස 6.30ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී පැවැත්වේ. මෙහි ප්‍රධාන දෙසුම මහැදුරු සුනිල් ආරියරත්නයන්ගෙනි. මෙහිදී උපාලි රංගාලෝක නිර්මාණයෙන් දායක වූ වේදිකා නාට්‍ය, ගීත හා ගෘහස්ථ ප්‍රසංග ගීත, නවරත්න ගමගේ සංගීතවේදියාණන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ඉදිරිපත් කෙරේ. සහෘද ආමන්ත්‍රණය සමන් අතාවුදහෙට්ටිගෙනි. මෙම ලිපිය පළ වෙන්නේ ඒ නිමිත්තෙනි.

කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ කුලරත්න ශාලාවේ වහලය අනෙක් ශාලාවන්ට වඩා පිහිටියේ මහත් උසකිනි. වේදිකා ආලෝකය සඳහා විදුලි ලාම්පු එල්ලන හරස් පොල්ල ද පිහිටියේ තරමක උසකිනි. සාමාන්‍ය තරප්පු ඉණිමගකින් එතැනට එදවස ළඟා විය නොහැක්කේය. දිනය 1979 නොවැම්බර් 04 දාය. ආනන්දයේ ප්‍රධාන ආදි ශිෂ්‍ය සංගමයේ සංවිධායකත්වයෙන් සුමියුරු ගී ගැයූ අමයුරු ගාන්ධර්ව වික්ටර් රත්නායකයන්ගේ ‘ස’’ ප්‍රසංගය කුලරත්න ශාලාවේ මස්තකාරූඪ වෙන දිනයයි. ආදි ශිෂ්‍ය සංගමයේ මෙම ‘ස’ ප්‍රසංගය සංවිධානයට විද්‍යාලයීය ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් සහාය දැක්වීමට එවකට විදුහල්පති කර්නල් ජී.ඩබ්. රාජපක්ෂ මහතා විසින් පත්කර සිටි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය විධායකයා මම වීමි. 

උදෑසන සිටම කුලරත්න ශාලාව තුළ කඩිසර ගතියක් විය. මම ද එහි සිටියෙමි. උස් නොවූ සිහින් සිරුරැති ප්‍රියමනාප පුද්ගලයෙක් මා සොයා පැමිණියේය. 

‘‘මේ මල්ලිද අද ෂෝ එකේ හෝල් එක බලන්නේ.’’

‘‘ඔව්... ඇයි...?’’

‘‘අපේ ඉණිමග මේ ලයිට් බාර් එකට උස මදි. තව උස එකක් ගේන්න මටම යන්න වෙනවා. එතකොට මෙතන වැඩේ පරක්කු වෙනවා.’’

මම ඔහුට මඳ සිනහවකින් සංග්‍රහ කළෙමි. කුලරත්න ශාලාවේ උස ප්‍රශ්නයට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙන් විසඳුමක් දී තිබිණි. එය නම් රෝද මත දිවෙන කෑලි හතරකට, පහකට නැමිය හැකි උස ඉණිමගය. එය එවක කුලරත්න ශාලාවේ පිටුපස දොරටුව අද්දර වෙනම කාමරයක තබා තිබිණි. මම එය ඔහුට පෙන්වූයෙමි. කාර්යය අවසාන කර නැවත එතැනටම ගෙනැවිත් තබන ලෙස ඉල්ලීමක් ද කළෙමි. ඒ ප්‍රසන්න මිනිසා සුදුවන් දත් දෙපළින් මුව පුරා දිවෙන බර සිනහවකින් මට සංග්‍රහ කළේය. 

‘‘තෑන්ක් යූ මල්ලී... තැන්ක් යූ... ඔයා නොහිටින්න මට වෙන ඉණිමගක් ගේන්න යන්න වෙනවා.’’

මේ අදින් වසර හතළිස් පහකට පෙර සිදුවීමකි. අද මට ලියන්නට සිදුව ඇත්තේ එදා මුණගැසුණු අහඹු ප්‍රසන්න මිනිසා ගැනය. ඔහුගේ නම උපාලි වීරසිංහය. ශ්‍රී ලංකාවේ නාට්‍ය ලෝකයේ, ප්‍රසංග ලෝකයේ ඔහු චිර ප්‍රසිද්ධව ඇත්තේ ‘ලයිට් උපාලි’ නාමයෙනි. ලයිට් උපාලි අයියා නැවත මට මුණ ගැසෙන්නේ ඊට බොහෝ කලකට පසු, තවමත් මා රඟපාන ලූෂන් බුලත්සිංහලයන්ගේ ‘‘රතු හැට්ටකාරි’’ සහ ‘‘තාරාවෝ ඉගිළෙති’’ නාට්‍ය ද්විත්වයේම රංගභූමි ආලෝකකරණ ශිල්පියා ලෙසිනි. සිංහල වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ රංගාලෝකකරණයේ අනුමෝදනීය මෙහෙවරකට සැට වසරක් පිරී ඇත. 

උපාලිගේ රංගාලෝක ශිල්පී පිවිසුම දෛවෝපගත සිද්ධීන් පෙළක අවසන් ජවනිකාව වෙයි. ඒ ඔහු තුළ පැටිවියේ සිටම හද තුළ තෙරැපී තිබූ ආශාව ඉෂ්ට වීමෙනි. එය මහා පුදුම ආශාවකි. එය නම් ජීවිතයේ කවදා හෝ මහැදුරු සරච්චන්ද්‍රයන් සහ පණ්ඩිත් අමරදේවයන් මුණ ගැසීමය. දැකබලා ගැනීමය. කතාබහ කිරීමය. උපාලිගේ කලාවට ළැදි බාප්පා කෙ​ෙනකු විය. ඔහුගේ නම හේරැස් අල්විස් වීරසිංහය. ඔහු නර්තනයට සූර නර්තනාචාර්යවරයෙකි. ඥාති පුත්‍රයාගේ දස්කමින් පිබිදුණු සිත් ඇති වූ හේරැස් බාප්පා උපාලිව එවකට රජයේ ලලිත කලායතනය පසු කළ සෞන්දර්යය විශ්වවිද්‍යාලයට ඇතුළත් කරන්නේය. උපාලි එහිදී පණීභාරත ගුරුතුමන් යටතේ නර්තනය හැදෑරුවේය. අවසන් පරීක්ෂණයෙන් ද සමත් වීමෙන් පසු උපාලිට අම්පාර ප්‍රදේශයේ රජයේ පාසලක නැටුම් ගුරු පත්වීමක් ලැබිණි. 

උපාලි වීරසිංහ

ගුරු පත්වීමත් සමග උපාලිගේ මනස එකල මෙකල දෝලනය වෙන්නට වූයේය. අම්පාර යනු ඉතා දුර බැහැරය. තමා අම්පාරට කොටු වුවහොත් තමාගේ ජීවිතාශාව ඉටු කර ගැනීමට නොහැකි වෙනු ඇත. උපාලි තීරණයක් ගත්තේය. මාපියන්ගේ දෙපා නමැද රැකියාවට යන්නට නොහැකි බව පැවැසුවේය. පුතාගේ තීරණයට මාපියන්ගෙන් කිසිදු විරෝධයක් එල්ල නොවිණි. උපාලි තමන්ගේ ආශාව ඉටු කර ගැනීමට පොටක් පාදා ගනු වස් ගුරු පත්වීමට ආයුබෝවන් කීවේය. හදවතෙහි ආශාව ප්‍රමුඛව ඉස්මතු වුවත් ගෙදර නිකම් බලා සිටීමද කළ නොහැකිය. 

නර්තන හැකියාව හොඳින්ම තිබූ නිසා උපාලිගේ පෙර පින් පළ දී බැසිල් මිහිරිපැන්න නරතනවේදියාගේ ‘‘ඔමරි ලතා’’ නාට්‍යයේ රංගනයට යොමු වීමට හැකි වූයේය. එහි මිතුරකුගේ මාර්ගයෙන් මහින්ද ඩයස් හමුවීමට අවස්ථාව උදා වූයේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය සටහන් කරමිනි. මහින්ද ඩයස් යනු එවකට ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටි ප්‍රමුඛතම රංගාලෝක ශිල්පියාය. මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ සිට සිංහල වේදිකාවේ ප්‍රමුඛතම රංගවේදීන්ගේ නිර්මාණයන්හි රංගාලෝකකරණය වූයේ මහින්ද ඩයස් අතිනි. මහින්ද ඩයස් නව යොවුන් උපාලි වීරසිංහ උද්‍යෝගිමත් පුද්ගලයා තමන්ගේ සහායක​ෙයකු ලෙස සේවයට බඳවා ගත්තේය. උපාලිගේ සිතැඟි මහා බලාපොරොත්තු ඉටුවීමට සහන් එළියෙන් යුතු මාර්ගයක් පෑදුණේ එලෙසිනි. 

1966 මාර්තු 03 වැනිදා ලු‍ම්බිණි රඟහලෙන් උපාලි වීරසිංහ සිය පළමු රංගාලෝක කර්තව්‍යයට අත ගැසුවේය. ඒ, ජී.ඩී.එල්. පෙරේරා නිර්මාණවේදියාගේ ‘‘තොටුපොළ’’ නාට්‍යයෙනි. එදා තම ප්‍රථම වේදිකා රාජකාරිය වෙනුවෙන් උපාලි වේලාසනින්ම ලු‍ම්බිණි රඟහලට ගියේය. මහත් උනන්දුවකින් ගිය ගමනෙකි. ලු‍ම්බිණි රඟහලේ ඉදිරිපස පුටුවක ගැහැනු ළම​ෙයකු වාඩි වී සිටියේය. උපාලි ඇයට සිනහවකින් සංග්‍රහ කළේය.

නන්දා මාලනී සමග

‘‘ඔයා මේ නාට්‍යයේ රඟපාන නළුවෙක්ද?’’ 

ඇගෙන් පැනයකි. 

‘‘නෑ මම ලයිට් කරන්න ආවේ.’’

‘‘හරි... හරි... මම තමයි නන්දා මාලිනි. මගේ ඉන්දියානු ශිෂ්‍යත්ව අරමුදලට මුදල් හොයන්නයි මේ නාට්‍යය පෙන්වන්නේ. මගේ ගමනට ආධාර පිණිස හෙට ‘‘කරදිය’’ නාට්‍යත් පෙන්වනවා.’’

ජනතාවගේ මහා ගායිකාව සමග මුල්ම හමුවීම 1966 මාර්තු 03 වැනිදා ලු‍ම්බිණියේදී සිදුවූයේ ඒ අයුරිනි. පසු කලෙක නන්දා මාලිනියගේ සත්‍යයේ ගීතය, පවන ප්‍රසංගයන්හි රංගාලෝක ශිල්පියා වූයේ උපාලි වීරසිංහය. 
මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ මනමේ, සිංහබාහු ඇතුළු සියලු‍ නාට්‍යයන්හි රංගාලෝකකරණ ශිල්පියා වූයේ මහින්ද ඩයස්ය. 1966 වසරේ මාර්තු මාසයේ අවසන් සතියේ කොළඹ විශ්වවිද්‍යාලය  ‘‘මනමේ’ දර්ශනයන් පැවැත්වීමට නියමිතව තිබිණ. අලු‍ත් රැකියාවට ගොස් මාසයක් ඇතුළත උපාලිගේ හදවත පොපියමින් තිබූ මහාශාව ඉටුවෙන තැනට කරුණු කාරණා යෙදී තබිණි.

‘‘මනමේ’’ දර්ශනය දින ආලෝක කණ්ඩායම කල් ඇතුවම ගොස් වැඩෙහි නිරත වූයේය. බස් රථයක් පැමිණ ශාලාව ආසන්නයේ නැවැත් වූයේය. මහැදුරු සරච්චන්ද්‍රයන් ප්‍රමුඛව නාට්‍ය කණ්ඩායම බසයෙන් බැස ආවෝය. පෙර ගමන් ගිය මහින්ද ඩයස්, සරත්චන්ද්‍රයන් සමග කතාබහක නියැළෙමින් ඉදිරියට ආවේය. උපාලි සිත පුරා සරච්චන්ද්‍ර රූපකායේ ජීව ගුණය වින්දේය. නෙත්පුරා කඳුළු බිඳු හැළෙනතුරු දැකබලා ගත්තේය. තවත් ඉවසුම් නැති විය. මහැදුරුතුමන් ඉදිරියට කෙළින්ම ගිය උපාලි එතුමන් පාමුල දණගසා වැන්දේය. එදා පටන් සරත්චන්ද්‍රයන්ගේ සෑම නාට්‍ය දර්ශනයකටම උපාලිගේ සහභාගිත්වය අනිවාර්යයෙන්ම සිදු විය.

ඒ අතරින් නාමෙල් වීරමුනි, මාලිනි වීරමුනි යුවළ ලන්ඩනයේ සංවිධානය කළ ‘‘මනමේ’’ දර්ශනයට සහභාගි වීම උපාලිගේ නාට්‍ය ජීවිතයේ සුවිශේෂී මතක සටහනකි. සරච්චන්ද්‍ර දියණිය යශෝධරා මුල්වරට අහම්බෙන් මනමේ කුමරියට රඟපෑවේ එම දර්ශනයේය. වසර පහළොවක් තිස්සේ මහින්ද - උපාලි සුසංයෝගී මිත්‍ර ස්නේහය ගලා ගියේය. මහින්දගේ සියලු‍ කාර්යභාරයන් උපාලිගේ කරමත පැටවී තිබිණි. මේ අතරට පැමිණීමට මාන බැලූ කිහිප දෙනකුගේ තිරස්චීන වුවමනාවන්ට වැට බැඳී තිබිණි. 

1981 අප්‍රේල් 12 ඒ මිනිසුන්ගේ කුමන්ත්‍රණය කල් යල් බලා ක්‍රියාත්මක වූ දිනයක් විය. ‘‘අදින් පසු මම ලයිට් දෙන්නේ නෑ,’’ කුමන්ත්‍රණයේ තීරණය මහින්ද ඩයස්ගේ මුවින් පිටවිය. ‘‘සර්, කපුටගෙයි, කොවුලගෙයි වෙනස කවදා හරි සර්ට තේරෙයි’’ තෙත් වූ දෑසින් උපාලි මහින්දගෙන් සමු ගත්තේය. අප්‍රේල් 18 දා කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ‘‘ස’’ ප්‍රසංගයට දින දී ඇත්තේය. කිසිවක් තීරණය කරගත නොහී උපාලි වහාම වික්ටර් රත්නායකයන් සොයා ගොස් උද්ගතව ඇති තත්ත්වය විස්තර කළේය.

‘‘හරි උපාලි, ලොකු ටෝච් හතරක් ගහලා හරි, ඉටිපන්දම් පත්තු කරලා හරි ෂෝ එක කරමු. මම රසිකයන්ට කියලම වැඩේ පටන් ගන්නම්... අභියෝග භාරගන්න... මොනව වුණත් ‘‘ස’’ ප්‍රසංගයේ ඉදිරියට ලයිට් කරන්නේ ඔයාම තමයි.’’ වික්ටර් රත්නායකයන්ගේ අධිෂ්ඨානශීලී වදනින් උපාලි දිරිමත් වූයේය. ලයිට් කුලියට ගත් උපාලි වීරසිංහ වීර​ෙයකු ලෙස ශාන්ත අන්තෝනි ‘‘ස’’ ප්‍රසංගය ජය ගත්තේය. 

සමස්ත ‘‘ස’’ ප්‍රසංග මාලාවේම රංගාලෝක ශිල්පියා වූයේ උපාලිය. ඒ අතුරින් උපාලිට අමතක නොවන ‘‘ස’’ ප්‍රසංගය වනුයේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සංවිධානය කළ යාපනය විශ්වවිද්‍යාලයේ වීරසිංහම් ශාලාවේ පැවැති ප්‍රසංගයයි. ප්‍රසංගය මෙන්ම ප්‍රසංගයෙන් පසුව පැවැති ‘‘තල් රා’’ මංගල්‍යය ද ‘‘ස’’ පරිවාර පිරිසට විශේෂ මතකයක් ගෙන දුන්නක් විය. 

ත්‍රිකුණාමලය හමුදා කඳවුරේ ‘‘ස’’ ප්‍රසංගය පැවැත් විණි. ‘‘ස’’ ප්‍රසංගයේ නිවේදන කටයුතු අතරවාරයේ ප්‍රේමකීර්ති තමන්ගේ සිගැරට් පැකට්ටුව පරිස්සමට තබා ගැනීමට දෙන්නේ උපාලි අතටය. මන්දයත් උපාලි මත්පැන්, දුම්වැටි පානයෙන් අත්මිදී සිටි නිසා එය වඩාත් පරිස්සම් නිසාවෙන්ය. ප්‍රසංගයෙන් අනතුරුව සෝමපානයෙන් අනූන භෝජන සංග්‍රහයක් පැවැත්විණ. ප්‍රේමකීර්ති අතුරුදන්ය. සොයා බැලූමුත් සොයා ගන්නට නැත. උපාලි කඳවුර ආසන්නයේ මුහුදු වෙරළ පැත්තේ ද සොයා බැලු‍වේය. අහස කළුවරය. අන්ධකාරය පැතිරී ඇත. තනි තරුවක් ඈත අහසේ දිදුලයි. රළ පහර වැදී බිඳී යන ගල් පරයක් මතින් සුපුරුදු කටහඬක් ඈතින් ඇසී නොඇසී යයි.

ප්‍රේමකීර්ති ගල්පරය මත සිට ඈත අහසේ පායා ඇති තනි තරුවට කෑ ගසා ආමන්ත්‍රණය කරයි. 

‘‘තනි තරුවේ....’’

‘‘ප්‍රේම්... මොකද මෙතන කරන්නේ... යමු අරහේ හැමතැනම හොයනවා.’’

‘‘හරි... යමු... යමු... කඩදාසියක් තියෙනවද?’’

‘‘මේ වෙලාවේ කඩදාසි කෙහෙන්ද? යමුකෝ කෑම්ප් එකට’’

‘‘නෑ... නෑ... අර සිගරැට් පැකට් එක තියෙනවද..?’’

‘‘ඔව්... තියෙනවා...’’

‘‘ඒකෙ සිගරැට් කීයක් තියෙනවද?’’

‘‘තුනක් තියෙනවා...’’

‘‘ඒ ටික සාක්කුවේ දාගෙන මට හිස් පැකට් එක ඉරලා දෙන්න...’’

උපාලි ප්‍රේම්ගේ ඉල්ලීම ඉටු කළේය. උපාලිගේ සාක්කුවේ තිබූ බෝල්පොයින්ට් පෑනෙන් මුහුදේ ගල්පරය මතදී සිගැරැට් පැකට්ටුවේ ප්‍රේම් යමක් කුරුටු ගෑවේය.

‘තනි තරුවේ... තනි තරුවේ...
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා
තනි තරුවේ... තනි තරුවේ...’’

ඉන්පසුව පැවැත් වූ ‘‘ස’’ ප්‍රසංගයට ‘තනි තරුවේ’ පදවැල ගීතයක් ලෙසින් එක්විණ. එවන් සුන්දර මතකයන්ගෙන් උපාලිගේ හැට වසරක නාට්‍ය රංගකලා ජීවිතය පිරිපුන්ය. ‘‘විමුක්ති ගී’’ ප්‍රසංගයේදී රෝහණ විජේවීර හමුවී කතා කරන්නට ලැබීමද එවන් මතකයකි. 

තමාගේ ජීවිතයේ තිබූ හද පුරා නැගි ආශාව ඉටුකරගන්නට උපාලි ගිය අප්‍රතිහත දිරියෙන් යුතු ගමන අතිශය අභියෝගකාරී විය. බාධක, කම්කටොලු‍ එමටය. මේ සියල්ල සිනාවෙන් පිළිගෙන ජීවිතය ජයගත් උපාලි වීරසිංහ නම් රංගාලෝක ශිල්පියා ජීවිතයේ සැඳෑ සමයේ ජීවිතාවර්ජනයෙන් තෘප්තිමත් වෙමින් කල්ගත කරමින් සිටියි. රස මතක කතා බොහෝය.

එතෙර දී, මෙතෙර දී වේදිකාවේ බොහෝ චරිත වසර හැටක් තිස්සේ ඒකාලෝක වූයේ උපාලිගේ වෙහෙස මහන්සියෙනි. උපාලිගේ ආලෝක කදම්බ දහරින් තැවි තැවී ඔපවත් වූ කෘතවේදී මිනිසුන් අද එකමුතුව මේ අපූර්ව මිනිසාට උපහාර කිරීමට සැරසෙති. ඇත්තෙන්ම එය මේ ආලෝකවත් මිනිසාට කෙරෙන කෘතගුණ පූජාවකි.

උපාලි ඔබට සුඛී දීඝායුකෝ... භව! 


  • අනුර බණ්ඩාර රාජගුරු 

 



අදහස් (0)

අඳුරු කරළියේ සොඳුරු දිවාකර

ඔබේ අදහස් එවන්න

තක්සලාව

මගේ වගේම අනුන්ගේ අත්දැකීම් ගැන ලියන්නත් මට පුළුවන්
2024 ජුලි මස 15 18 0

තනූජා ලු‍ම්බිණිගේ පළමු කාව්‍ය සංග්‍රහය, ‘තෙත සුළං අහුරක්’ නමින් ප්‍රකාශයට පත්වන්නේ- 2016 වසරේ දී ය. ඇයගේ දෙවන කාව්‍ය සංග්‍රහය ඉන් වසරකට පසුව ප්‍රකාශයට පත


කාලීන සිදුවීම් තේමා කරගත් අපූරු කවි දෝතක්
2024 ජුලි මස 15 17 0

වර්ෂ 2019 ගොඩගේ ජාතික කාව්‍ය අත්පිටපත් තරගාවලියේ හොඳම කාව්‍ය කෘති කිහිපය අතරට නිර්දේශ වූ “ගුරු වලප” කාව්‍ය සංග්‍රහය ප්‍රදීපිකා දේශප්‍රිය පතිරාජ විසින්


ශ්‍රී ලංකාවේ ඔලිම්පික් පුරාණයෙන්
2024 ජුලි මස 15 19 0

තවත් දින 12 ක පමණ කාලයකින් ප්‍රංශයේ පැරිස් නුවරදී 33 වැනි නූතන ඔලිම්පික් උළෙල ආරම්භ වේ. රටවල් 196 ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 10672 දෙනෙකු ක්‍රීඩා ඉසව් 32 ක් සඳහා තරග ව


ක්‍රිකට් ලෝක කුසලානයේ නොදුටු පැත්ත
2024 ජුලි මස 15 23 0

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය ඇමෙරිකා එක්සත් ජනපදයට හිමිවීමත්, 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය කටාර් රාජ්‍යට හිමිවීමත් අ


කවුරුත් නොදුටු ඔවුන් දුටු පාර
2024 ජුලි මස 15 15 0

සියඹලාණ්ඩුව අයත් වන්නේ ඌව පළාතේ, මොනරාගල දිස්ත්‍රික්කයටය. සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ග්‍රාම සේවා වසම් 48කින් සමන්විත වේ. හරිත නිම්න බඳු වූ ම


පමණ දැනගෙන පානය කරන්න කැෆේන්
2024 ජුලි මස 15 20 0

කැෆේන් යනු ලෝකය පුරා ඉතාම ජනප්‍රිය පාන වර්ගවල අන්තර්ගත වන්නා වූ උත්තේජක සංඝටකයකි. මෙමගින් මොළයේ හා ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කරයි. තේ කෝප්


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 127 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 993 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1874 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site