
බැස යන හිරුගෙ රත් පැහැ
තොල් සඟලෙ ඇඳ
සුසිනිඳු වලාසේලය
හැඩ කරයි බඳ
මත් වී රඟන තරු
බඹරුන් පිරිස මැද
මොන නැටුමකට සැරසෙනවද නාරි සඳ
හඳේ උමතු නැටුමට
හිත වසඟ වෙලා
මින්රළ පෙළ ගැසී
ඉවුරේ හිඳියි බලා
මුළා වෙති බියෙන්
දියවර සරැළි සලා
සැණින් ඉහළ විත්
නෙත් පොඩි මුවා කළා
කඩුපුල් කැකුළු හිනැහී
අතු අග්ගිස්සේ
නැටුමට හවුල් වෙන්නලු
එළියට බැස්සේ
තාලෙට පා තබා
මුතු පිරි තණ බිස්සේ
සේපාලිකා ඇවිදියි
කිරි සුදු වැස්සේ
සඳ නාරිගෙන් ගිලිහෙන
සුදු සේද වලා
තුරු හිස් වැළඳගෙන
රහසෙම වියන් එළා
හිඳ අතු පතර මත
නිදිබර කුරුලු කැලා
කැදැල්ලෙන් එබෙයි
කිරිලිය නිදනු බලා
සඳලිය රඟන විට අනුරාගෙන් පේම
සිතිවිලි සසල විය
හිත දඟ වී බෝම
තව කිම පමා
යා යුතු යැයි ඉඳුරාම...
හිරු කඳු හිසෙන් නැඟුණා යළි නොසිතාම
කල්‍යාණි රූපසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd