සදාකාලික වේද පැහැසර සරා සඳ
නුරා පිරි අහස තරු මල්වලින් ඇහුවා
අනන්තය පුරා දිගු රැස් ඔහේ විහිදා
ඉර මොකුත් නොකියාම උන්නා

 

නවතින්න මටම මට පමණක්ම 
සුළඟ සුවඳක කොපුල සිම්බා
අරුමයන් කොහිද අපගේ නමට
පිපුණු මල් පරවෙලා තිබුණා  

 

සොඳුරු මුදු රළ අතර වෙරළත
පුරුදු එක දිය රළක් හෙව්වා
එකම රළ දෙපාරක් නොඑන බව
කවුරුදෝ කාටහෝ කිව්වා

 

සසර සැරිසරන දුර පුරාවට
නුඹව මම හැමදාම සෙව්වා
අපේ හුරුපුරුදු පොඩි නවාතැන
හුස්මකින් අපට මඟ හැරුණා

 

- වත්සලා කන්නන්ගර -