
ශ්‍රී ලංකාව වසර හතරකට පෙර ආර්ථික අගාධයක් අබියස සිටි අතර වර්තමානය වනවිට වඩාත් ශක්තිමත් ආර්ථික තත්වයක් ළඟා කරගැනීමට සමත්ව සිටියි.
බලධාරීන් විසින් සාමූහිකව ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසංස්කරණ සහ ශ්‍රී ලාංකික ජනතාවගේ ඔරොත්තු දීමේ හැකියාව ද ඒ සඳහා මූලික වශයෙන් හේතු වී ඇත.
අපගේ ජාත්‍යන්තර අරමුදල් කණ්ඩායම, විස්තීර්ණ අරමුදල් පහසුකමේ හත්වන සමාලෝචනය සහ මෙම වසරේ IV වන වගන්තිය යටතේ වන උපදේශනය සඳහා වූ සාකච්ඡා අවසන් කරන විට, පවතින සංඛ්‍යාලේඛන මගින් එම සාර්ථකත්වය පෙන්නුම් කරයි. අර්බුදය අතරතුර සියයට 70ක් දක්වා ඉහළ ගිය සහ ගෘහ ඒකක ආදායම් අඩුවීම කෙරෙහි බලපෑ උද්ධමනය මේ වනවිට පාලනය කර ඇති අතර, එය මහ බැංකුවේ සියයට 5ක උද්ධමන ඉලක්කය වටා ස්ථාවර වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු කලක් තිරසර නොවන මට්ටමක පැවති රාජ්‍ය ණය ආර්ථිකයට දරා ගත හැකි මාවතකට යළිත් අවතීර්ණ වී ඇත. එසේම නිල සංචිත නැවත ගොඩනැගෙමින් පවතින අතර, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස බදු ආදායම වසර හතරක් තුළ දෙගුණ වී ඇත.
එහෙත් මෙහි වඩාත් වැදගත් කරුණ ඇත්තේ මෙම සංඛ්‍යාලේඛනවලට ඔබ්බෙන් එහි පසුබිමෙහිය. අඛණ්ඩ ජාතික ප්‍රයත්නයක් සහ නව මහ බැංකු පනතක සිට රජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත දක්වාත්, බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ සිට පාලන ක්‍රියාකාරී සැලැස්මක් දක්වාත් විහිදුණු දුෂ්කර මෙන්ම සැලසුම් සහගත ව සිදු කළ ප්‍රතිසංස්කරණත් එම දත්ත පසුපස ඇත. මෙම ප්‍රතිසංස්කරණ හුදෙක් ආර්ථික ස්ථාවරත්වය යථා තත්වයට පත් කිරීමට පමණක් සීමා නොවූ අතර, එම පියවර හරහා 2023 සහ 2025 වසර අතර කාලය තුළ දී සමස්ත වර්ධනයට ප්‍රතිශතාංක දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් එකතු වී ඇත. ආර්ථික ස්ථාවරත්වය හේතුවෙන් ලැබෙන ප්‍රතිලාභ මේ වන විටත් දක්නට ලැබෙමින් පවතී.
එහෙත් ස්ථාවරත්වය කිසි විටෙකත් අවසන් ගමනාන්තය නොවේ. එය ඉදිරි ගමනට පදනමයි. දැන් එළැඹ ඇත්තේ එහි ඊළඟ පරිච්ඡේදයයි. එනම් සාර්ව ආර්ථික ස්ථායීකරණයේ සිට ආර්ථික පරිවර්තනය දක්වා ගමන් කිරීමයි. එය ද මෙයට පෙර පරිච්ඡේදය මෙන්ම අභියෝගාත්මක වනු ඇත. ස්ථායීතාව පමණක් ප්‍රමාණවත් නොවන්නේ ඇයි? මන්ද ස්ථායීතාෙවන් පමණක් රැකියා නිර්මාණය හෝ ජීවන තත්වය ඉහළ නැංවීම සිදු නොවන බැවිනි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සම්බන්ධ ගැටලුවට කිසිවිටෙකත් ඵලදායී ව්‍යාපෘති හෝ දිරිගැන්වීම් හිඟ වීම හේතුවක් නොවීය.
රැකියා උත්පාදනය, පෞද්ගලික ආයෝජන, අපනයන, නවෝත්පාදන වැනි වර්ධනයන් තනි තනි ප්‍රතිපත්ති මැදිහත්වීම්වලින් පමණක් අත්පත් කරගත නොහැක. ඒ සඳහා ව්‍යාපාරවලට විශ්වාසයෙන් යුතුව සැලසුම් සකස් කළ හැකි, තරග කළ හැකි සහ වර්ධනය විය හැකි පරිසරයක් අවශ්‍ය වේ. ඉදිරියේ සිදුකළ යුතු කාර්යය වන්නේ එවැනි පරිසරයක් ගොඩ නැගීමයි.
අවශ්‍ය ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය පැහැදිලි වන අතර, එයින් වැඩි ප්‍රමාණයක් දැනටමත් බලධාරීන්ගේ සැලසුම්වල අන්තර්ගත වේ. දැන් අවශ්‍ය වන්නේ නව ජවයකින් යුතුව ප්‍රයත්න දැරීමයි. ව්‍යාපාරික රෙගුලාසි ආශ්‍රිත සංකීර්ණ තත්වය සරල කර ආයෝජකයන් සඳහා එක් ස්ථානීය සේවා මධ්‍යස්ථානයක් ස්ථාපිත කළ යුතුය. වඩාත් කාර්යක්ෂම රාජ්‍ය ආයෝජන කළමනාකරණයක් සහ පෞද්ගලික අංශය සමග මැනවින් පාලනය වන හවුල්කාරිත්ව හරහා යටිතල පහසුකම් හිඟතා පියවිය යුතුය. එසේම සම්පත් වඩාත් ඵලදායී භාවිතයන් වෙත ගලා යන පරිදි ඉඩම් සහ ශ්‍රම වෙළෙඳපොළ නවීකරණය කළ යුතුය. රැකියා අවස්ථා නිර්මාණය කරන කුඩා ව්‍යාපාර සඳහා වන මූල්‍ය ප්‍රවේශය පුළුල් කිරීම ද අවශ්‍ය වේ. එමෙන්ම, වෙෙළඳ බාධක අවම කර රේගු ක්‍රමවේද නවීකරණය කිරීම ද අවශ්‍ය වන අතර, එමගින් ශ්‍රී ලංකාවේ සමාගම් ගෝලීය තරගකාරීත්වයෙන් ආරක්ෂා කරනු වෙනුවට, එම ආයතනවලට ගෝලීය වෙළෙඳපොළ තුළ අනෙකුත් සමාගම් සමග තරග කිරීමට හැකි වනු ඇත.
මෙම ප්‍රතිසංස්කරණවලින් ලැබෙන ප්‍රතිලාභ සැලකිය යුතු ලෙස විශාල වනු ඇත. මෑතකාලීන ප්‍රතිසංස්කරණවලින් ලද උත්තේජනය ක්‍රමයෙන් වියැකී යා හැකි බැවින් වත්මන් මාවතේ ම අඛණ්ඩව ගමන් කිරීමෙන් හිමිවන්නේ සුළු වර්ධනයක් පමණි. එහෙත් සමස්ත ප්‍රතිසංස්කරණ වැඩසටහනම අභිලාෂකාමී හා පුළුල් ලෙස ක්‍රියාත්මක කළහොත්, ඉදිරි වසර පහ තුළ වාර්ෂික වර්ධනය ප්‍රතිශතාංක 1.4කින් පමණ ඉහළ නැංවිය හැකි වනු ඇත. රාජ්‍ය පාලනය, ව්‍යාපාර නියාමනය, විදේශීය වෙෙළඳපොළ, ශ්‍රම වෙෙළඳපොළ සහ ණය පහසුකම් යන අංශවල සිදු කෙරෙන පුළුල් ප්‍රතිසංස්කරණ හරහා මෙතෙක් අක්‍රීයව පැවති විදේශ ආයෝජන ද නැවත ආකර්ෂණය කර ගැනීමට හැකිවනු ඇත. එමගින්, දළ වශයෙන් සියයට 3.5ක මැදිකාලීන ආර්ථික වර්ධනය සියයට 5ක් හෝ ඊට වැඩි අගයක් දක්වා වෙනස් විය හැකිය.
කෙසේ වෙතත් ශක්තිමත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයක් නොමැතිව මේ කිසිවක් සිදු කළ නොහැකි අතර, මෙහිදී බදු පිළිබඳ වත්මන් විවාදය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. සමස්ත ආදායම පවත්වා ගනිමින් ඇතැම් බදු අනුපාත අඩු කළ හැකි ද යන්න විමසීම සාධාරණ වන අතර, වඩාත් සරල, සාධාරණ සහ කාර්යක්ෂම පද්ධතියක් සැලසුම් කිරීමට ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට නියමිත මැදිකාලීන ආදායම් උපාය මාර්ගය වඩාත් සුදුසු අවස්ථාවක් වනු ඇත. එහෙත් වර්ධනය සඳහා අරමුදල් සැපයීම සිදුවන්නේ ආදායමෙන් බැවින් ප්‍රධාන ඉලක්කය විය යුත්තේ ප්‍රමාණවත් රාජ්‍ය ආදායමක් අඛණ්ඩව පවත්වා ගැනීමයි. සියලු දෙනාටම ප්‍රතිලාභ ලැබෙන ආර්ථික වර්ධනයක් සාක්ෂාත් කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන යටිතල පහසුකම්, අධ්‍යාපනය, ඵලදායී ආයෝජන, සමාජ වියදම් සඳහා වියදම් නොකර රටකට වර්ධනය විය නොහැකිය. එමෙන්ම ශක්තිමත් රාජ්‍ය මූල්‍ය රාමුවක් සහ කම්පනවලට ඔරොත්තු දිය හැකි ආදායම් ස්වාරක්ෂක නොමැතිව දුෂ්කර කාලවල දී එවැනි වියදම් විශ්වාසදායක ලෙස අඛණ්ඩව සිදු කළ නොහැකිය.
එමෙන්ම, මෙම ප්‍රතිසංස්කරණ කිසිවක් ඒවා මගින් ජනතාව මත ඇති කරන බලපෑමෙන් වෙන් කර සලකා බැලිය නොහැක. 2022 වසරේ සිට සිදු වූ ආර්ථික ගැළපුම්වල බර දරනු ලැබුවේ ගෘහ ඒකක විසිනි. ආර්ථික අර්බුදය තීව්‍ර වීමත් සමග ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දුෂ්කරතාවන්ට මුහුණ දුන් අතර, දළ වශයෙන් දරිද්‍රතාව දෙගුණ වී ඇත. එමෙන්ම තරුණ ප්‍රජාවෙන් බොහෝමයක් තවමත් රැකියා සොයා ගැනීමට අරගල කරමින් සිටිති. අවදානමට ලක්විය හැකි පිරිස් ආරක්ෂා කිරීමට පමණක් නොව, ජනතාව නැවත ඵලදායී රැකියා වෙත යොමු කිරීමටත් ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ පුළුල් ලෙස බෙදා හැරීම සහතික කිරීමටත් සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම වැදගත් වේ.
ශ්‍රී ලංකාව දැනටමත් තමන්ට දුෂ්කර දේ කළ හැකි බව ඔප්පු කර ඇත. පසුගිය වසර හතර තුළ දී සිදු කරන ලද ප්‍රතිසංස්කරණ පහසු නොවූ නමුත්, ඒවා ඵලදායී විය. මීළඟ අදියර සඳහා ද එවැනිම වූ කැපවීමක් අවශ්‍ය වේ. එය හුදෙක් අර්බුදයකින් මිදීමට පමණක් නොව, වඩාත් සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා යොමු විය යුතුය. එම කාර්යයට නායකත්වය ලබාදීම ශ්‍රී ලංකාව විසින් ම සිදු කළ යුතු අතර, අපි ස්ථීර හවුල්කරුවකු ලෙස අඛණ්ඩව රැඳී සිටීමට අපේක්ෂා කරමු.
එවන් පපාජෝර්ජියෝ
ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත මණ්ඩල ප්‍රධානී
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd