(උපාලි ආනන්ද සහ බී.ජී. චතුරංග )

වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන ලෙසට පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයා ලබාදී තිබූ නියෝගය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් පොළොන්නරුව මහාධිකරණය මීට පෙර පනවා තිබූ අතුරු තහනම් නියෝගය වහාම ක්‍රියාත්මක වන පරිදි බල රහිත කිරීමට පොළොන්නරුව පළාත් බද මහාධිකරණ විනිසුරු  රුචිර වැලිවත්ත මහතා අද  (3) නියෝග කළේය.

මෙසේ නියෝග කළේ  සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයා ලබා දී තිබූ නියෝගය අත්හිටුවමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය විසුරුවා හරින ලෙසට රජයේ අධිනීතීඥ චමික ගුරුගේ මහතා  දීර්ඝව අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැළකිල්ලට ගනිමිනි.

වැලිකන්ද පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක නැමති සැකකරු, පොලොන්නරුව  මහේස්ත්‍රාත්වරයා ලබාදී තිබූ නියෝගයක් අත්හිටුවන ලෙස ඉල්ලා පොළොන්නරුව මහාධිකරණයට ඉදිරිපත් කර තිබූ  ප්‍රතිසෝදන අයදුම් පතක්  නැවත කැඳවු අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණි.

සැකකාර ස්ථානාධිපතිවරයා අධිකරණ නියෝග මත රජය සත්ව ගොවිපළකට භාර දීමට නියමිතව තිබූ කිරි ගවයින් 20  දෙනෙකු නැවතත් ජාවාරම්කරුවන් පිරිසකට විකිණීමේ සිද්ධියක්  සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටිති.