ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සුබ සාධක සංගම්, වෘත්තීය සමිති හෝ වෙනත් අංශ සම්බන්ධීකරණය කරන  උත්සව අවස්ථාවන් සඳහා  ඉහළ කළමනාකාරිත්වයේ අවසර ගැනීම සාමාන්‍ය පළිවෙතක් බව වරාය අධිකාරියේ සභාපති අද්මිරාල් එස්.එස්. රණසිංහ (විශ්‍රාමික) මහතා සඳහන් කරයි.

ඔහු එසේ පවසනුයේ වරාය ඇමැති සහභාගී වූ  උත්සවය ගැන එම්.ඩී.ගෙන් විමර්ශනයක් යන සිරස්තලය යටතේ ලංකාදීප වෙබ් අඩවියේ ඉකුත් 8 වැනි දා පළවූ පුවත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විධායක නිලධාරීන්ගේ සංගමය ඉකුත් 2 වැනි දා පැවැත් වූ  උත්සව අවස්ථාව  සම්බන්ධයෙන් පූර්ව අවසරය ලබා නොතිබීම  වැරැදි  පූර්වාදර්ශයක් විය හැකි බැවින් ඉහළ කළමනාකාරීත්වය  ඒ පිළිබඳව  විධායක නිලධාරීන්ගේ සංගමයේ ලේකම්ගෙන් කරුණු විමසීමක් කර ඇත.

එම උත්සවයට   සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ ඇතුළු ඉහළ කළමනාකාරීත්වය වෙත ද ආරාධනා කර තිබුණි.

එසේ වුවත්  යම් අවස්ථාවල රාජකාරි ස්වභාවය මත ඉහළ කලමනාකාරීත්වයේ ඇතැම් නිලධාරීන්ට එවැනි උත්සව අවස්ථා සඳහා සහභාගීවීමේ අපහසුතා ඇති වේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ  කළමනාකාර අධ්‍යක්ෂවරයා එම උත්සවයට සහභාගී නොවුයේ කිසියම් උසස් නිලධාරියකුට  විරෝධයක් දක්වමින්  උත්සවය වර්ජනය කිරීමේ අදහසින් නොවේ වෙනත් රාජකාරි කටයුතු යෙදී තිබීම හේතුවෙනි.