(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරානයේ ඝාතනයට ලක් වූ උත්තරීතර නායක අලි කමේනිගේ දේහය අද (10) මෂාඩ් නගරයේ ඉමාම් රෙසා දේවස්ථානයේදී මිහිදන් කෙරිණි. ඉමාම් රෙසා දේවස්ථානය එරට ශුද්ධතම ෂියා දේවස්ථානය ලෙස සැළකේ.

දීර්ඝ අවමංගල්‍ය උත්සවයකින් පසුව කමේනිගේ දේහය ඉමාම් රෙසා දේවස්ථානයේදී මිහිදන් කෙරිණි. මිහිදන් කිරීමට සහභාගී වීමට සියලු දෙනාටම අවස්ථාව හිමිව නැතත් අවමංගල්‍ය උත්සවය පැවැති දින කීපයේදී කමේනිගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ලක්ෂ 150කට වැඩි පිරිසක් සහභාගී වී ඇත. කමේනි  ඝාතනය වී මාස 4 කට පසුව අවමංගල්‍ය උත්සවය පැවැත්විණි.

පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකානු ප්‍රහාර මාලාවකින් කමේනි මරණයට පත්වූ අතර අවමංගල්‍ය උත්සවය මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබිණි. නමුත් ඇමෙරිකානු ඉරාන යුද්ධය හේතුවෙන් කමේනිගේ අවමංගල්‍ය උත්සවය මෙම මස දක්වා කල් තැබිණි. කමේනිගේ අවමංගල්‍ය උත්සවයට ලක්ෂ 150 කට ආසන්න ජනතාවක් සහභාගී වී ඇතත් අවශ්‍යම පුද්ගලයා ඊට සහභාගී වී නොමැති බව පැවැසෙයි.

මියගිය අයතුල්ලා අලි කමේනිගේ පුත් නව ඉරාන උත්තරීතර නායක මොජ්ටබා කමේනි අවමංගල්‍ය උත්සවයට සහභාගීවී නොමැති අතර ඊට විශාල පිරිසකගේ අවධානය යොමුවී තිබිණි. පසුගිය පෙබරවාරි 28 වැනිදායින් පසුව මොජ්ටබා කමේනි ප්‍රසිද්ධියේ පෙනී සිට නොමැත. අවසන් යාච්ඤාව කමේනිගේ  වැඩිමහල් පුත් මුස්ටෆා කමේනිගේ ප්‍රධානත්වයෙන් සිදුකර ඇත.

අවමංගල්‍ය උත්සවය අතරතුරද ඇමෙරිකාව සහ ඉරානය එකිනෙකාට ප්‍රහාර එල්ල කරගෙන තිබිණි. මිහිදන් කිරීම සඳහා ටෙහෙරානයේ සිට විශේෂ ගුවන් යානයකින් කමේනිගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ දේහයන් මෂාඩ් නගරය වෙත රැගෙනවිත් ඇත. ඇමෙරිකාව මෂාඩ් නගරයට දිවයන දුම්රිය පාරටද බෝම්බ හෙළා තිබූ අතර එය ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය දැඩිව විවේචනය කර තිබිණි.

කමේනිගේ අවමංගල්‍ය උත්සවය මෙතෙක් පැවති ලොව විශාලතම අවමංගල්‍ය උත්සවයද වේ.