(නිමල කොඩිතුවක්කු)

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ විකිරණ පරීක්ෂණ යන්ත්‍ර අක්‍රීයව පැවතියත් රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සදහා රෝහල තුළ විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්  එස්.පී.ඒ.එල් රණවීර මහතා පැවසීය.

විකිරණ පරීක්ෂණ යන්ත්‍ර දෙකම යථාවත් කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයට හා ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයට මේ වනවිටත් දැනුම් දී ඇති බවත්, අදාළ සමාගම් සමග එම යන්ත්‍ර යථාවත් කිරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

හදිසි අනතුරු ඒකකයේ විකිරණ පරීක්ෂණ යන්ත්‍ර 02  අක්‍රීයවීම හේතුවෙන් විකිරණ පරීක්ෂණ කටයුතු සම්පූර්ණයෙන් ම අඩාල වී ඇති බවට පළව ඇති  මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය.

බිඳවැටුණු යන්ත්‍ර දෙකම පැරණි විකිරණ පරීක්ෂණ යන්ත්‍ර බවත්,  ක්‍රියාකාරී තත්ත්වයේ පැවැති හදිසි අනතුරු ඒකකයේ එකම විකිරණ යන්ත්‍රය පසුගිය සදුදා  දින සිට අක්‍රීය තත්ත්වයට පත් ව ඇති බවත් ඔහු සඳහන් කළේය.