(රෝෂන් තුෂාර)

ලෝකප්‍රකට වෙළෙඳ නාමයක්  අනුකරණය කර නිෂ්පාදණය කළ ව්‍යාජ සුවඳ විලවුන් සන්තකයේ තබාගැනීම,අලවිය  හා බෙදාහැරීම කළේ යැයි කියන පිටකොටුව  ව්‍යාපාරිකයින් තිදෙනෙකුට   රුපියල් ලක්ෂ හයක දඩයක්  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා නියම කළේය.

බුද්ධිමය දේපල අයිතිවාසිකම් පනත උල්ලංඝනය කරමින් හා රටට හිමි විය යුතු බදු මුදල් අහිමි කර ආනයන කළ වික්ටෝරියා සීක්‍රට් අනුකරණ ව්‍යාජ සුවඳ විලවුන් සන්තකයේ තබා ගැනීම, විකිණීම හා බෙදා හැරීමේ චෝදනාවන්ට මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීම හේතුවෙන්  මෙම දඩ මුදල් නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා අත් අඩංගුවට ගත් භාණ්ඩ විනාශ කරන ලෙසටද නියෝග කළේය. 

කොළඹ පිටකොටුව දෙවන හරස් වීදියේ නස්රීන් බියුටි සෙන්ටර් ,නරීස් හා කෙලින් වීදියේ යුම්නාස් යන වෙළඳසැල් තුනක නියෝජිතයින්ට මෙම දඩ මුදල නියම කෙරිණි.

පැමිණිල්ල වෙනුවෙන් කොළඹ දිසා පොලිස් අපරාධ කොට්ඨාසය සමග  සුදත් පෙරේරා අසෝසියට් හි උපදෙස් පරිදි නීතිඥ දේශාන් හේවාවිතාරණ මහතා කරුණු දක්වමින් කියා සිටියේ වික්ටෝරියා සීක්‍රට්(Victoria secret) වෙළඳ නාමය අනුකරණය කරමින් ලෝකයේ රටවල් රැසක භාණ්ඩ නිෂ්පාදනය කර ව්‍යාජව බෙදා හරින බවය. ශ්‍රී ලංකාවේ අනුකරන සුවඳ විලවුන් අලෙවි කරමින් පාරිභෝගිකයින් නොමග යවන බවට ලැබෙනු පැමිණිලි අනුව ඇමරිකාවේ වික්ටෝරියා සික්‍රට් බ්‍රෑන්ඩ් මැනේජ්මන්ට්  සමාගම කළ පැමිණිල්ලක් අනුව  අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම භාණ්ඩ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත් පැවසීය.