(ගයාන් සූරියඅාරච්චි)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට පැවසෙන අයකු දින හතක කාලයක් සඳහා රැඳවුම් නියෝග ලබාගෙන බෙම්මුල්ල පොලිසියේ සිර මැදිරියේ රඳවාසිටියදී එම සිර මැදිරියේ දොර විවෘතකරගෙන පෙරේදා (3) පලා ගොස් ඇතැයි බෙම්මුල්ල පොලීසිය පවසයි.

මෙසේ පලා ගොස් ඇත්තේ දෙවොලපොල ප්‍රදේශයේ පදිංචි අයකු වන අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වයි.

පොලිස් සිරමැදිරියේ දොරේ අගුල නිසි ලෙස දමා නොතිබූ නිසා එහි දොර විවෘත කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන මෙම පුද්ගලයා පලා ගොස් තිබෙනබව මූලික පරීක්‍ෂණවලින් පෙනී ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයටපැවසීය.

මෙම සැකකරු පලා යෑම සම්බන්ධයෙන් පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයකුට සහ පොලිස් කොස්තාපල්වරයකුට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවද එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6 යි මිලිග්‍රෑම් 250ක් ළඟ තබාගෙන සිටියදී ඉකුත් 31 වැනිදා සැකපිට අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කර දින හතක කාලයක් සඳහා රැඳවුම් නියෝග ලබාගෙන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.