(කුෂාන් ජයවර්ධන)

නීති විරෝධී අයුරින්  රුපියල්  ලක්ෂ විස්සකට අධීක වටිනා රත් හඳුන් තොගයක්  ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අද (26)   පස්යාලේදී  අත්අඩංගුවට ගෙන තිබේ.

වනජීවී නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඒකාබද්ධව කළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන් හමුදා බුද්ධී අංශ නිලධාරීන්ගෙන් ලත් තොරතුරක් අනුව කිරිදිවැල පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් හා රිටිගල වනසත්ව අඩවි ආරක්ෂ ඩී රාමසිංහ මහතාගේ මූලිකත්වයෙන් යුතුව හොරගොල්ල ජාතික උද්‍යානය හා රිටිගල  විල්පත්තුව කුකුල්කටුව වනජීවී කාර්යාලවල නිලධාරීන් එක්ව එම වැටලීම සිදුකර තිබිණි.

සිදුකළ වැටලිමේදී පස්යාල ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් පරීක්ෂා කර මෙම රත්හදුන් තොගය හා සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ.

සැකකරු නීති විරෝධී අයුරින් සන්තකයේ එම නිවසේ තබා ගෙන සිටි රත් හඳුන් කිලෝ 130ක් පමණ මෙහිදී වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඒවා රත් හඳුන් දැව හා කුඩු වශයෙන් පැවැති බව නිලධාරීහු කියති.

තවද මෙරට වනජීවී සංරක්ෂණ පනතට අනුව දැඩි ආරක්ෂිත ශාඛයක් ලෙස නම් කර ඇති වෙනිවැල් තොගයක් ද ආරක්ෂීත ක්ෂීරපායි සතෙකු වන තිත් මුව අං තට්ටු 04ක් ද  සැකකරු සන්තකයේ තිබී  මෙම මෙහෙයුමේ දී සැකකරු සන්තකයේ තිබි සොයා ගෙන තිබේ.