ක්‍රිෂාන් ජීවක ජයරුක්
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ශරීරයේ වම්පස හිරිවැටීමේ රෝගී තත්වයක් පවතින බැවින් මාතර බ්‍රවුන්ස් හීල් ප්‍රදේශයේ අක්කර එක හමාරක පොල් ඉඩමක් රුපියල් මිලියන හැටකට මිලදී ගැනීම සම්බන්ධනඩුවට පෙනී සිටීම සදහා ගුවන් ටිකට් පත පළමුව වෙන්කරගෙන පසුව එය අවලංගු කරගෙන ඇති බවමාතර මහේස්ත්‍රාත් අධිකරණයේ ඉකුත් සිකුරාදා (21) පැවැති බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාගයේදී අනාවරණය විය.
මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා ඉදිරියේ දී මෙම නඩුව කැඳවිණි.
එහිදී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් තම සේවාදායකයාගේ සෞඛ්‍ය තත්වය ඇතුළත් වෛද්‍ය වාර්තා ගොනුවක් අධිකරණය වෙත ඉදිරීපත් කළේය.
එම අවස්ථාවේදී වෛද්‍ය වාර්තා අධ්‍යයනය කරමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය මෙසේ කීවාය.
“ස්වාමීනී මෙම නඩුවේ තෙවැනි සැකකරු වන බැසිල් රෝහණ රාජපක්ෂගේ ශරීරයේ වම්පස හිරිවැටීමේ රෝගී තත්ත්වයක් පවතින බැවින් ගුවන් ගමන් නුසුදුසු බවට සැකකරු වෙනුවෙන් වෛදය වාර්තාවක් ඉදිරිපත් කළත් ලේඛන අධ්‍යයනය කිරීමේ දී සැකකාර බැසිල් රාජපක්ෂ හිතාමතා අධිකරණය මගහරින බවට බරපතළ සැකයක් පවතිනවා.
ඔහු අවසන් වරට අධිකරණයේ පෙනී සිට තිබෙන්නේ 2024 සැප්තැම්බර් 18. ඒ කියන්නේ මොහු වසරකට වැඩි කාලයක් අධිකරණයේ පෙනී සිට නැහැ. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් පසුගිය නඩු වාරයේ අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවක දැක්වුණා සිය සේවාදායකයා පුටුවකින් වැටිලා ඇතිවුණ බෙල්ලේ අමාරුවක් නිසා වෛද්‍යවරුන් ගුවන් ගමන් නොසුදුසු බවට නිර්දේශ කර තිබුණා කියලා. ඒත් එක්ස් කිරණ වාර්තාවල කිසිදු අස්ථි භග්නයක් පෙන්නුම් කෙරුණේ නැහැ.
එදින සැකකරුගේ ඇපකරුවන්ට නියෝග කළා අද දින සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. ඒත් සැකකාර බැසිල් රාජපක්ෂ අදත් නැහැ. ඔහුගේ නීතිඥයන් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවේ දැක්වෙනවා සැකකාර බැසිල් රාජපක්ෂට "Left Side Sciatica" හෙවත් ශරීරයේ වම්පස හිරිවැටීමේ රෝගි තත්ත්වයක් පවතින බැවින් ගුවන් ගමන් නුසුදුසු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා කියලා. එහෙත් ස්වාමිනි මේ ලේඛන මා අධ්‍යයනය කරපුවාම බරපතළ සැකයක් ඇතිවුණා සැකකරු ඇත්තටම අසනීපයෙන් ඉන්නවාද, නැතිනම් අධිකරණය මඟහරිනවා ද කියලා.
ඉන් අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සැකකාර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කළ ලේඛන ගොනුවේ පරස්පරතා කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කළේය.
ස්වාමිනි, මේ වෛද්‍ය වාර්තා නිකුත් කරලා තියෙන්නේ ජොර්ජ් චිඩී කියලා පුද්ගලයෙක්. මේ ලේඛනවල රෝග ලක්ෂණ සටහන් කරලා තිබුණාට, ඒවා වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කරලා නැහැ. අනික පෙර නඩු වාරයේ වෛද්‍යවරයාගේ වාර්තාවල ලිපි ශීර්ෂය නෙමෙයි, අද ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවල තියෙන්නේ.
ඊළඟට බැසිල් රාජපක්ෂට ඔය කියන "Left Side Sciatica" එහෙමත් නැතිනම් ශරීරයේ වම්පස හිරිවැටීමේ රෝගී තත්ත්වය තියෙන නිසා මාස හයක් ගුවන් ගමන් නුසුදුසු බවට වෛද්‍ය නිර්දේශය නිකුත් කරලා තියෙන්නේ 2025 සැප්තැම්බර් 14 වැනිදා. වෛද්‍යවරයා එහෙම නිර්දේශ කර තිබිය දී ඊට පසු සැප්තැම්බර් 25 වැනිදා, මේ සැකකරු නොවැම්බර් මාසයේ 18 සිට 21 දක්වා කාලය තුළ ගුවන් ගමනකින් මෙරටට පැමිණෙන්න ගුවන් සමාගමකින් ගුවන් ටිකට්පත් වෙන් කරගෙන තියෙනවා. පසු අවස්ථාවක ඔක්තෝබර් මාසයේ යළි එය අවලංගු කරන්නැයි ඉල්ලා තිබෙනවා.
ඒ වගේම ස්වාමිනි මේ සැකකරුට ගුවන් ගමනක යෙදීමේ ශක්‍යතාව තිබෙනවාදැයි පරීක්ෂා කිරීමට ගුවන් සමාගම ඉදිරිපත් කළ පෝරමයේ පැහැදිලිව දැක්වෙනවා මොහුට තවත් පුද්ගලයකුගේ සහායෙන් සාමාන්‍ය පරිදි ගුවන් ගමනක යෙදිය හැකියි. ගුවන් යානය තුළ විශේෂ පුටුවක්, ඇදක් හෝ ඔක්සිජන් සැපයීමක් අවශ්‍ය නැහැ කියලා.
එම කරුණු දැක්වීම් අවසන් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකාර බැසිල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තාවන් පිළිගත නොහැකි බැවින් ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන ලෙසය.
එහිදී මාතර මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා සැකකාර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටී නීතිඥවරුන්ට නියෝග කළේ සිය සේවාදායකයා සම්බන්ධයෙන් සවිස්තරාත්මක වෛද්‍ය වාර්තාවක් ඉදිරි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.
එසේ ඉදිරිපත් කිරීමක් නොකරන්නේනම් සැකකරු සම්බන්ධයෙන් අධිකරණයේ තබා ඇති ඇප මුදල් රාජසන්තක නොකිරීමට හේතු දක්වන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා නීතිඥවරුන්ට නියෝග කළේය.
එමෙන්ම සැකකාර බැසිල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා ඇපකරුවන්ට අවවාද කළේය.
මාතර බ්‍රවුන්ස් හීල් ප්‍රදේශයේ අක්කර එක හමාරක පොල් ඉඩමක් රුපියල් මිලියන හැටකට මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනකුට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම නඩුව යහපාලන රජය සමයේදී පවරා තිබුණි.
බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය දරන සමයේ මෙම ඉඩම් ගනුදෙනුව සිදු කර තිබේ.
ඔහුගේ මස්සිනාවන පශූ වෛද්‍යතිස්ස ගලප්පත්ති හා නෑනා වන අයෝමි පුණ්‍යකාන්ති ගලප්පත්ති යන දෙදෙනාගේ නාරාහේන්පිට පෞද්ගලික බැංකුවක වූ බද්ධ ගිණුමට සිංගප්පූරුවේ ඊගල් ගෲප් ඇසෝසියේටඩ් ආයතනයෙන් හා හොංකොංහී වර්ඩ් ඩයමන් ආයතනයෙන් ලැබී තිබූ මුදල්වලින් ඔවුන් විසින් එම ඉඩම මිලට ගෙන ඇති බව මීට පෙර නඩු විභාගවල දී කියැවිණි.
ඒ ඉඩමේ හිමිකරු වූ ජර්මන් ජාතික හර්බට් කෙලර් යන අයට මුදල් ගෙවීමෙනි.
ඒ සදහා වැය කළ මුදල් උපයා ගත් ආකාරය ප්‍රශ්න සහගත වීම නිසා මුදල් විශුද්ධීකරණ පනත යටතේ මෙම නඩුව පවරා තිබේ.
මෙම නඩුවේ පළමු හා දෙවැනි සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියද, තෙවැනි හා සිව්වැනි සැකකරුවන් වන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳගේ සහෝදරිය අයෝමා ගලප්පත්ති අධිකරණයේ පෙනී නොසිටියේය.
දෙපාර්ශ්වයේ කරුණු සැලකිල්ලට ගත් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා මෙම නඩුවේ වැඩිදුර විභාගය ලබන වසරේ මැයි 22 වැනිදා දක්වා කල් තැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd