(විමුක්ති එස් රුද්‍රිගු)

තම සංවිධානය එල්ල කළ ප්‍රහාර මාලාවකින් පාකිස්තාන සටන්කාමීන්, පොලිස් නිලධාරීන්, බුද්ධි අංශ සහ ත්‍රස්ත මර්දන ඒකකවල සාමාජිකයින් 80 කට වැඩි පිරිසක් මිය ගොස් ඇතැයි බලුකිස්තාන විමුක්ති හමුදාව පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

බලුකිස්තානයේ දිස්ත්‍රික්ක කීපයකට සැලසුම්සහගතව ප්‍රහාර මාලාවක් එල්ල කළ බවත් එම මෙහෙයුම හෙරොෆ් අදියර 2 ක ලෙස නම් කළ බවත් එම හමුදාව පැවැසුවේය. නගර කීපයක ආරක්ෂක, හමුදා සහ පරිපාලන ගොඩනැගිලි ඉලක්ක කරමින් පැය 10 ක් පුරාවට බලුකිස්තාන විමුක්ති හමුදා සාමාජිකයන් එම ප්‍රහාර මාලාව එල්ල කළ බවද එම නිවේදනයේ සඳහන් වේ.

එසේම හෙරොෆ් මෙහෙයුමේදී පාකිස්තාන හමුදාව, පොලිසිය, බුද්ධි අංශ සහ ත්‍රස්ත මර්දන ඒකකවලට අයත් සාමාජිකයන් 84 ක් බලුකිස්තාන විමුක්ති හමුදාව අතින් මරණයට පත්වී තිබෙන බවත් තවත් දුසිම් ගණනක් තුවාල ලබා ඇති බවත් එම නිවේදනයේ දැක්වේ. එසේම තවත් 18ක් බලුකිස්තාන විමුක්ති හමුදාව ප්‍රාණ ඇපයට ගෙන ඇති බවත් බලුකිස්තාන හමුදාව කාර්යාල, බැංකු සහ බන්ධනාගාර ඇතුළු රජයේ දේපළ 30 කට වැඩි ප්‍රමාණයක් අත්පත් කර ගෙන හෝ විනාශ කර තිබෙන බවත් එම නිවේදනයේ සඳහන් විණි.

බලුකිස්තාන විමුක්ති හමුදාව වාහන 20 කට වැඩි ප්‍රමාණයක් ප්‍රහාර මාලාවේදී ගිනි තබා විනාශ කර තිබෙන බවද එම නිවේදනයේ දැක්වේ. බලුකිස්තාන හමුදාවේ ප්‍රහාර මාලාව පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන හමුදාව ප්‍රකාශ කර සිටියේ ආරක්ෂක අංශ සහ විමුක්ති හමුදාව අතර ඇතිවූ වෙඩි හුවමාරුවලින් එම සංවිධානයේ සාමාජිකයන් 67 ක් මියගොස් ඇති බවයි.

පොලිස් භටයින් 24 ක් ගැටුම්වලදී තුවාල ලබා ඇති බවත් සිවිල් වැසියන් 11ක් තුවාල ලබා ඇති බවත් පාකිස්තාන හමුදාව පැවැසුවේය. එසේම බලුකිස්තාන පළාතේ වෙනම සිදුකළ මෙහෙයුමකදී තවත් විමුක්ති හමුදා සාමාජිකයන් 41ක් මියගොස් ඇති බවද එරට පාකිස්තාන හමුදාව ප්‍රකාශ කළේය.