(අංජුල මහික වීරරත්න)

දුෂ්කර ප්‍රදේශ වල  පිරිවෙන් සහ දහම් පාසල් වල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ සුබසාධන කටයුතු සඳහා ආධාර ලබා ගැනීම වෙනුවෙන් සංවිධාන කෙරුනු පිණ්ඩපාත චාරිකාවක් කොළඹදී අද (3) පැවැත්විණි.

මහනුවර බෞද්ධ හා සුබසාධක සංගම් එකමුතුව විසින් වාර්ෂිකව මෙම පිණ්ඩපාත චාරිකාව සංවිධානය කරනු ලබයි. 

කොටුව, සම්බුද්ධාලෝක විහාරස්ථානය අසලින් ආරම්භ වූ පිණ්ඩපාත චාරිකාව ජනාධිපති කාර්යාලය වෙත වැඩම කළ අවස්ථාවේදී මහා සංඝරත්නයට  පිරිකර පූජා කිරීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද එක් විය.

සියක් නමක් මහා සංඝරත්නය පිණ්ඩපාත චාරිකාවේ නිරත වූ අතර කොළඹ කොටුව පෞද්ගලික සහ රාජ්‍ය ආයතන රැසක කාර්ය මණ්ඩලය මග දෙපස රැස්ව මහා සංඝරත්නයට පිරිකර පූජා කළහ. 

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රෝෂන් ගමගේ, කේ. එම්. එන්. කුමාරසිංහ, ප්‍රසන්න චන්දිත් මහත්වරු ඇතුළු ජනාධිපති කාර්ය මණ්ඩලයද මෙම පිරිකර පූජා කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.