(රෝෂන් තුෂාර)

කිසිදා විභාග නොකෙරෙන නඩුවලට නියෝග නොඉල්ලා , ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට හැකි දේවල් පමණක් කරන ලෙසට රහස් පොලිසියට උපදෙස් ලබා දුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග  එස් බෝදරගම  මහතා මෙරට ගණිකා වෘත්තීයේ යෙදවූ මැඩගස්කර් කාන්තාවන් තිදෙනෙකු රටින් පිටුවහල් කිරීමට   නියෝග කළේය.

මැඩගස්කර ජාතකයින්  සාක්ෂිකරුවන් ලෙස නම්කර නඩු විභාග කිරීම ප්‍රායෝගිකව කළ නොහැකි බවට පෙන්වා දෙමින් අදාළ කාන්තාවන් පිටුවහල් කිරීමට නියෝග කළේය.

නීති විරෝධීව මෙරට රැඳී සිටී මැඩගස්කර කාන්තාවක විසින් මැඩගස්කර කතුන් රවටා මෙරටට ගෙන්වා  ගණිකා වෘත්තයේ යෙදවීමට එරෙහිව ගොනු කරන නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කිරීමට නියමිතව සිටි වින්දිතයින් මෙසේ පිටුවහල් කිරීමට නියෝග කෙරිණි.

අදාල නියෝගය නිකුත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ තානාපති කාර්යාලයක් නොමැති මැඩගස්කරයේ සාක්ෂිකරුවන් තබා නඩු  විමසීම  ප්‍රායෝගිකව කළ නොහැකි බවය. 

කිසිදා විභාග නොකෙරෙන නඩුවලට නියෝග නොඉල්ලා , ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට හැකි දේවල් පමණක් කරන ලෙසට රහස් පොලිසියට නියෝග කරමින් මෙසේ වින්ඳිතයින් එරටට පිටුහල් කිරීමට නියෝග කළේය.

මැඩගස්කරයේ සාක්ෂිකරුවන් නොව මෙරට පුරවැසියන් වන සාක්ෂිකරුවන් පිටරට ගිය අවස්ථාවලදී සාක්ෂි විභාග කිරීමේ ප්‍රායෝගික ගැටලු අත්දැක ඇති බැවින් ,මැඩගස්කර් කාන්තාවන්ට තානාපති සබඳකම් සලසන්නේ, මුදල් වියදම් කරන්නේ කවුරුන්දැයි මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියෙන් විමසා සිටියේය.

කාන්තාවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය ඉල්ලා සිටියේ ඔවුන් ඉදිරි නඩු විභාගයක් සඳහා සහභාගී කරවා ගත හැකි අන්දමේ නියෝගයක් නිකුත් කර මැඩගස්කරයට යවන ලෙසය.

ඊට ප්‍රතිචාර දැක්වූ මහේස්ත්‍රාත්වරයා මෙසේ විමසා සිටියේය.

ඔය ඉල්ලන නියෝගය මෙම වින්දිතයින්ට ලිඛිතව හෝ වාචිකව දැනුම් දුන්නද?

රහස් පොලිසිය:

භාෂා පරිවර්තකයෙක් ඇවිත් ඉන්නවා. ස්වාමීනි. ඔහු ලවා එම නියෝගය නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා.

මහේස්ත්‍රාත්වරයා:

මැඩගස්කරේ තානාපති කාර්යාලයක් තියෙනවද?

රහස් පොලිසිය. :

නැත ස්වාමීනි .සීසේල් රාජ්‍යයේ තියෙනවා .

මහේස්ත්‍රාත්වරයා. :

සීසේල්වල  බැංකු තියෙනවා.එතකොට කවුද මැඩගස්කරයේ සිට සීසේල් වලට මොවුන්ව ගේන්නේ. ඒකට වියදම් කරන්නේ කවුද?මේවා ප්‍රායෝගික කරන්න පුළුවන් දේවල් නෙමෙයි.කරන්න පුළුවන් එකම දේ තමයි පිටුවහල් කිරීම.නොකරන දේවල්වලට නියෝග ඉල්ලන්න එපා.ලංකාවේ අය ගිහිල්ලා සාක්ෂි දෙන විදිය අපි ප්‍රායෝගිකව අත්විඳලා තියෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් ජාවාරම්  හා විමර්ශනය  කිරීමේ ඒකකය කළ ඉල්ලීමක් මෙසේ ප්‍රතික්ෂේප කිරීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කළේය.