(මනෝප්‍රිය ගුණසේකර)

නීතීඥවරියක කපා කොටා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයට පත් කර සිටි ඇගේ රියදුරා දැඩි කොන්දේසි යටතේ ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා ඊයේ (27) නියම කළේය.


සිද්ධිය සම්බන්ධයෙන් වසරක කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවු සැකකරුට ඇප නියම කරන්නැයි ඉල්ලමින් නීතීඥ ජයබා ක`ථපහණ මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් සැකකරුට ඇප නියම කළ විනිසුරුවරයා ඇප තැබීමෙන් අනතුරුව අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම වළකාලමින් විදේශ ගමන් තහනමක්ද පැණවීය.


රුපියල් ලක්‍ෂ 05ක මුදල් හා රුපියල් ලක්‍ෂය බැගින් වටිනා ඇපකරුවන් තිදෙනෙකුගේ ශරීර ඇප මත සැකකරු මුදාහළ අතර සෑම ඉරුදිනයකදීම මිරිහාන පොලිසියේ පෙනී සිටීමේ ඇප කොන්දේසියක්ද පැනවු විනිසුරුවරයා එකඳු ඇප කොන්දේසියක් හෝ කඩ කළහොත් ඇප අවලංගු කර රිමාන්ඩ් බාරයට පත් කරන බවට සැකකරුට තරයේ අවවාද කළේය.


මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ සිද්ධියට අදාළව වසරක කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවු ඝාතනයට ලක්වු නීතීඥවරියගේ රියදුරු වශයෙන් කටයුතු කළ කිරින්ද පුහුල්වැල්ලේ පදිංචි ජයනාත් ධීරසිංහ නමැත්තාය.


විවාහයෙන් වෙන්ව සිටි එක්දරු මවක වු නීතීඥ ජයනි ලක්මිණී ද සිල්වා (36) නමැත්තිය 2024 සැප්තැම්බර් 21 වැනිදා මිරිහාන ඇගේ නිවසේදී ඇගේ මව හා දියණීය ඉදිරිපිටදී කපා කොටා ඝාතනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට බාරවීමෙන් අනතුරුව රිමාන්ඩ් බාරයට පත් කර සිටි ඇගේ රියදුරා දැඩි කොන්දේසි යටතේ ඇප මත මුදාහැරීමට මෙලෙස නියම කළේය.


සැකකරුට ඇප නියම කරන්නැයි ඉල්ලා ගොනු කළ ඇප ඇයැදුම කැඳවු අවස්ථාවේදී නීතීඥ ජයබා ක`ථපහණ මහතා කරුණු දක්වමින් සිද්ධියට අදාළව පොලිසියට බාරවීමෙන් අනතුරුව රිමාන්ඩ් බාරයට පත් කළ තම සේවාදායකයා ඝාතනයට ලක්වු තැනැත්තියගේ පෙම්වතා යැයි කීය.


මුලින් ඇගේ රියදුරා වශයෙන් තම සේවාදායකයා කටයුතු කළත් පසුව ඇගේ පෙම්වතා වු බවත් ඇය ඔහු සමඟ තිබු ප්‍රේම සම්බන්ධතාවය බිද දමා තවත් පුද්ගලයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකර ගෙන ඇතැයිද කෙසේ වුවත් සිද්ධියට අදාළව මේ වන විට වරකට අධික කාලයක් තම සේවාදායකයා රිමාන්ඩ් බාරයේ පසුවී ඇතැයි පෙන්වා දුන් නීතීඥ ජයබා ක`ථපහණ මහතා මෙවැනි සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයකු රිමාන්ඩ් බාරයේ තබාගත හැක්කේ වසරක කාලයක් වන හෙයින් ඕනෑම කොන්දේසියක් යටතේ ඔහුට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.


නීතීපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි රජයේ නීතීඥ රන්දිමා රණසිංහ මහත්මිය කරුණු දක්වමින් මරණකාරියගේ මව සහ දියණීය ඉදිරිපිටදීම තියුණු ආයුධයකින් කපා කොටා ඇය ඝාතනය කළ මෙම සැකකරුට එරෙහිව ලඝු නොවන මුලික විමර්ශනයක් නොපවත්වා කෙළින්ම මහාධිකරණය හමුවේ චෝදනා ගොනු කිරීමට නීතීපතිවරයා තීරණය කර ඇති හෙයින් සැකකරුට ඇප නියම නොකරන්නැයි ඉල්ලා සිටියාය.


දෙපාර්ශවයේ කරුණු සළකා බැලීමෙන් අනතුරුව දැඩි කොන්දේසි යටතේ සැකකරුට ඇප නියම කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.