(රෝෂන් තුෂාර)

ජනාධිපති පොදු සමාව  අවභාවිතා කරමින් මෙරට බන්ධනාගාර 28 ක  සිරකරුවන් 212 ක් අනීතිකව මුදාහැරීම සිදු කර ඇතැයි කියන හිටපු  බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සැකකරුට එරෙහි විමර්ශන අවසන් කර මාර්තු 19 දින අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා  රහස් පොලිසියට (20) නියෝග කළේය.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ඇප මත සිටින හිටපු  බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සැකකරු අධිකරණයේ පෙනී සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. කේ. සේනාරත්න මහතා වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ මාස හයක සිර දඬුවම් හිමිවූ අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවෙකු වෙසක් පොහෝ දින ජනාධිපති පොදු සමාව අවභාවිතා කරමින් දවස් දහයකින් නිදහස් කර යැවීමේ හේතුවෙන් සැකකරුට එරෙහි මෙම කරුණු අනාවරණය වූ බවය.

අදාල සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදුකරන බව පැවසීය.

සැකකරු වෙනුවෙන් ජේෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු මහතා කරුණු දක්වමින් කියා සිටියේ  අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු මුදා හැරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුලින් ජනාධිපතිවරයාට එල්ල වූ පීඩනය මගහරවා තඹුත්තේගම ජනාධිපතිවරයාගේ නම පිරිසිදු කිරීම සඳහා තම සේවා දායකයා කිසිදු සාක්ෂියක් නොමැතිව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර ඇති බවය.

බන්ධනාගාර ඉතිහාසය පුරා මෙවැනි නිදහස් කිරීම් රැසක් පවතින බවත්,තම සේවා දායකයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් නිසි පරිදි අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවත් පැවසීය.

එම අවස්ථාවේදී අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් කර හැරී තිලකරත්න ගේ සිර දඬුවමට හා නිදහස් කිරීමට අදාළ සාක්ෂි ලේඛනයක් පැමිණිල්ල මගින් මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කළේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශන අවසන් කර වැඩිදුර වාර්තා මාර්තු 19 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට රහස් පොලිසියට නියෝග කළේය.