(විමුක්ති එස් රුද්‍රිගු)

ඩිජිටල් අවකාශය තුළ තමන් දකින්නේ කෘතිම බුද්ධිය භාවිතයෙන් විකෘති කර හෝ නැවත නිර්මාණය කරන ලද අන්තර්ගතයක් දැයි පරිශීලකයන්ට සැකහැර දැන ගැනීම සඳහා කිව්.ආර් කේතය මත පදනම් වූ "ට්‍රේස් ඉට්" නම් ක්‍රමවේදයක් වෙරිටේ රිසර්ච් ආයතනයේ මාධ්‍ය අංශය පසුගියදා හඳුන්වා දුන්නේය.

වර්තමානයේ කෘතිම බුද්ධිය හරහා ඕනෑම අන්තර්ගයක් ඉතාම පහසුවෙන් නැවත නිර්මාණය කිරීමටත්, විකෘති කිරීමටත් හැකියාව තිබෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කරයි.

මෙවන් පසුබිමක් තුළ ඩිජිටල් අවකාශය තුල හුවමාරු වන අන්තර්ගතයන් සම්බන්ධයෙන් පවතින විශ්වසනීයත්වය දැඩි අර්බුදයකට ලක්ව හැකි බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙයි.

"ට්‍රේස් ඉට්" නම් මෙම ක්‍රමවේදය ඩිජිටල් ඇගිලි සළකුණක් හා සම වන බවත්,  එමගින් පරිශීලකයින්ට මුල් මූලාශ්‍රයට ප්‍රවේශ වීමෙන් අන්තර්ගතයේ සත්‍ය-අසත්‍යතාවය ක්ෂණිකව තහවුරු කිරීමට හැකියාව ලැබෙන බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

පිළිගත් ප්‍රකාශකයින් විසින් මෙම ක්‍රමවේදය, ඔවුන්ගේ අන්තර්ගතයන් පළ කිරීමේදී ප්‍රකාශක ප්‍රමිතියක් ලෙස අනුගමනය කරනු ලැබීමෙන් සියලු විශ්වසනීය ඩිජිටල් අන්තර්ගතයන්ට අදාළව ඒවා ප්‍රකාශයට පත් කල මුල් ප්‍රකාශකයන්ව සොයා ගැනීමේ හැකියාව ලැබෙනු ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනයේ මාධ්‍ය අංශ ප්‍රධානි දීපාංජලී අබේවර්ධන මහත්මිය ප්‍රකාශ කළාය.

මෙම ක්‍රමවේදයට අනුගත වීමේ මුල් පියවර ලෙස, වෙරිටේ රිසර්ච් විසින් හෙට (01) සිට ඩිජිටල් අවකාශයේ ප්‍රකාශයට පත් කරන එහි සියලුම අන්තර්ගතයන්ට "ට්‍රේස් ඉට්" නම් කිව්.ආර් කේතය යොදනු ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

ඩිජිටල් අවකාශයේ අන්තර්ගතයන් පළ කරනු ලබන සියලු විශ්වසනීය ප්‍රකාශකයින්ට, ගෙවීමකින් තොරව පහසුවෙන් "ට්‍රේස් ඉට්" ලබාගත හැකි බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.