(අමදෝරු අමරජීව )

වෙරුගල් ප්‍රදේශයේ ජල ගැලීම් වලින් බලපෑමට ලක් වූ ජනතාවට බෙදාදීමට  මන්ත්‍රීවරයෙකු ගෙනා  මදුරුදැල් තොගයක් බෙදාදීමේදී ප්‍රමාණවත් නොවීම මුල් කරගෙන ඇති වූ ගැටලුවකින් ඊයේ  (13) පස්වරුවේ වෙරුගල් ප්‍රාදේශීය ලේකම්වරයා කාර්යාල අඩස්සියට ගත් ගම්වාසීන් කාර්යාලය ඉදිරිපිට විරෝධය දක්වද්දී එය සොයාබලා බේරුම් කිරීමට ගිය ත්‍රිකුණාමලය දිසාපතිවරයාටද එම අකරතැබ්බයට මුහුණ පෑමට සිදුවූහ.

මෙම මදුරු දැල් බෙදාදීම වෙරුගල් ප්‍රාදේශීය සභාව තුළ සිදුවූ අතර එය සොයා බැලීමට ගිය ප්‍රාදේශීය ලේකම් එම්.ඒ. මොහොමඩ් අනාස් මහතා එම මදුරු දැල් ප්‍රමාණවත් නොවීම නිසා ඇතිවූ විරෝධය හමුවේ මෙයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පවසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියපසු ගම්වාසීන් පිරිසක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වට කරගෙන මෙලෙස විරෝධය  දැක්වීය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගේට්වුව කඩාගෙන දහසකට වැඩි පිරිසක්  ලේකම් කාර්යාල ප්‍රධාන පරිශ්‍රයට කඩා වැදුණු පිරිස එම කාර්යාලයේ කාර්ය මණ්ඩලයට හා ප්‍රාදේශීය ලේකම්වරයාට පිටතට පැමිණීමට ඉඩ නොදී පැය කිහිපයක් සිර කරගෙන විරෝධතාවය දැක්වීම නිසා වහාම එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යෙදවීය.

සිද්ධිය සැලවීමත් සමඟ ත්‍රිකුණාමලය දිසාපති ඩබ්.ජී. මහේෂ් හේමන්ත කුමාර මහතා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ කරුණු විමසීමෙන් පසුව දිසාපතිවරයා පිටතට ඒමට ගත් උත්සාහයේදී  විරෝධතාකරුවන් දිසාපතිවරයාටද පිටතට පැමිණීමට ඉඩ නොදී සිර කරගෙන විරෝධය දක්වනු ලැබූහ.

සිද්ධිය සම්බන්ධයෙන් දිසාපතිවරයා කන්තලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්.එම්.සංජීව බණ්ඩාර මහතාට දැනුම්දීමෙන් පසු විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා දිසාපතිවරයා සහ ප්‍රාදේශීය ලේකම්වරයා හා කාර්ය මණ්ඩල පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පිටතට ගැනීමට පොලිසිය කටයුතු කළහ.

විරෝධතාකරුවන් ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහනාධාර වැඩපිළිවෙළ විවේචනය කරමින් විවිධ චෝදනා නැගූ අතර එහිදී දිසාපතිවරයා රැස්ව සිටී පිරිසට කරුණු පැහැදිලි කර දෙමින් සියලුම කටයුතු සාධාරණව බෙදී ගොස් ඇති බව පැවසීය.පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පිටතට පැමිණි ප්‍රාදේශීය ලේකම්වරයා සිය රාජකාරියට බාධා කිරීම හා සිය ආරක්ෂාව සම්බන්ධයෙන් ඊච්චලන්පත්තු පොලිසියට පැමිණිල්ලක්ද කරණු ලැබිය.

මේ සම්බන්ධයෙන් කල විමසීමකදී දිසාපති ඩබ්.ජී. මහේෂ් හේමන්ත කුමාර මහතා පැවසුවේ සහනාධාර වැඩ පිළිවෙල තුල ජනතා නැගූ චෝදනාවන් තමන් ප්‍රතික්ෂේප කරන බවය. ප්‍රාදේශීය ලේකම්වරයා දින 17 ක් නිවසට නොගොස්  කාර්යාලය පරිශ්‍රයේ රැඳී සිටිමින් සිදුකළ රාජකාරිය තුළ තමන් එම ප්‍රාදේශීය ලේකම්වරයාගේ කිසිදු අඩුපාඩුවක් නොදැක්ක බවත් මේ තුළ ඇත්තේ වෙනත් කිසියම් අරමුණක් බවත් පැවසීය.