
(සුජිත් හේවාජුලිගේ)
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා දුම්රිය මැදිරිවල පවතින අඩුපාඩු වහාම නිවැරදි කරන ලෙසට දුම්රිය ප්‍රධානීන්ට මීට මසකට පමණ පෙරදී නියෝග කළත් තවමත් එම අඩුපාඩු එලෙසම පවතින බව මගීහු චෝදනා කරති.
සමහර මගී දුම්රියවල විදුලි පංකා කිසිවක්ම වැඩ නොකරන අතර බොහෝ ඒවායේ ක්‍රියාත්මක වන්නේ අතරින් පතර එකක් දෙකක් පමණක් බව ජනතාව පෙන්වා දෙති.
දුම්රිය මැදිරිවල ජනෙල් බොහොමයක් කැඩී ගොස්ය. තවත් ඒවා විවෘත කිරීමට නොහැකි වන අන්දමට හිරවී පවතින්නේය.
සමහර දුම්රිය මැදිරිවල වර්ෂා කාලයට ගමන් කිරීමට නොහැකිය. ඊට හේතුව මැදිරිවල වහල දිරා ගොස් ඒවායින් වතුර කාන්දු වීම බව මගීහු සඳහන් කරති.
දුම්රියන්හි වැසිකිළි කැසිකිළිවල අපවිත්‍රතාවයද පෙරසේමය.
කොළඹ කොටුවෙන් ඊයේ රාත්‍රී 7.50ට පමණ රඹුක්කන බලා ධාවනය වූ මන්දගාමී දුම්රියේ බොහෝ මැදිරිවලට වහලයෙන් ජලය කාන්දුවීමෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්වූහ.
මේ හේතුවෙන් මැදිරි බොහොමයක ආසන පවා තෙමී ගොස් තිබූ හෙයින් ජනතාව බොහෝ දෙනකු සිට ගෙන ගමන් ගන්නා ආකාරය අපට දැකගත හැකි විය.
මේ අතර දුම්රිය ගමන් වාර ගණනාවක්ම අවලංගු වීම සහ දුම්රිය ප්‍රමාදය හේතුවෙන්ද ජනතාව මේ දිනවල දැඩි දුෂ්කරතාවයට පත්වෙති.
මේ සම්බන්ධයෙන් අප දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ දුම්රිය මැදිරි වල අඩුපාඩු යම් ප්‍රමාණයක් නිවැරදි කර ඇති බවයි.
සෙසු අඩුපාඩු නිවැරදි කිරීමට කාලයක් ගතවන බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ බැරි හා අකාර්යක්ෂම නිළධාරීන්ට පන්නන්න කාලය ඇවිල්ලා... මොවුන්ව ගෙදර යැව්වාම අනිත් අයවත් පාඩමක් ඉගෙන ගනියි...
අම්මේ ඉතිං මේ මගිනුත් හරිම විනය ගරුක උන්දැලානේ. ෆෑන් එකක් හයි කළොත් ඒක ගලවා ගෙන යනවා. පයිප්ප වගේ දේටත් වෙන්නෙ ඒ සන්තෑසියමයි. සීට් එකක වාඩි උනොත් කකුල් දෙක ඉස්සරහ සීට් එකේ. රට කජු ගොට්ටක් ගත්තොත් පොතු ටික සීට් එක යට. ප්ලාස්ටික් වතුර බෝතල් සීට් අස්සෙ ගහලා යනවා. ඇමතිගෙ නියෝගයක් පිට එල්ලිලා තමුන්ගේ වැරැදි වහගන්න උත්සාහ කරන්න එපා...
කවදාවත්ම ඕවා දිහා නොබලපු ලොක්කෝ ඕවා ගැන දන්නේ නෑ. දන්න එවුන් කියයි අමතර කොටස් ගේන්න අනුමැතියට දැම්මා. තාම අනුමත වුනේ නැත කියලා. ඕවා ඔක්කෝම කරලා අලුත්වැඩියාව කරනකොට ඔය මැදිරි ඉවත්කර දමන්න කාලය හරි. ඕක පෞද්ගලික අංශයට දෙන්න. පිළිතුර එයයි...
කටට ආපු පලියට නියෝග දුන්නාට, මීඩියා ෂෝ දැම්මාට වැඩක් නෑ දුම්රියේ අඩුපාඩු හදන්න අවශ්‍ය කරන මූල්‍ය ආධාර සහ තාක්ෂණික පහසුකම් නැත්නම්. දුම්රිය දුවන්නේ ආන්ඩුවේ සල්ලිවලින්. ප්‍රමාණවත් තරම් එන්ජින් නෑ, මැදිරි නෑ. පීලි නෑ, සේවකයින්ට පහසුකම් නෑ. එදිනෙදා පුවත්පත් කියවන අපිට තියෙනවා ලංකාවේ දුම්රිය සේවය ගැන මනා වැටහීමක් ඇමතිට වඩා. පොළවේ පය ගහලා, සේවක හඬට කන් දීලා යතාර්ථය තේරුම් ගන්න ඇමැතිට පුළුවන් වෙන්න ඕනේ...
මුදල් අනුමත කරලා තියෙනවා නම්, සේවකයොත් ඉන්නවා නම් කරන්න බැරි ඇයිදැයි මට හිතාගන්න බෑ. වැඩ පටන්ගන්න තවම සුබ වෙලාවක් හෝ නැකතක් ලැබිලා නැතුවා වත්ද?
මේ දිනවල බොහෝ දුම්රිය අවලංගු කර ඇති බැවින් මගින් දැඩි අපහසු තාවයට පත්වී ඇත. එසේම ධාවනය වන දුම්රියන්ද වෙලාවට ධාවනය නොවීම තුලින් රැකියාවට කලට වේලාවට යාගත නොහැකි තත්ත්වයක් පැන නැගී ඇත. මෙය රැකියා ස්ථානයේ දෝෂ දර්ශනයට ලක්වීමකි. කරුණාකර මේ පිළිබඳව කාරුණික අවධානය යොමු කරන්න.