ප්‍රේමකීර්ති රණතුංග  

ජාතික ජන බලවේගය ශක්තිමත් කිරීම සඳහා සෑම මැතිවරණ කොට්ඨාසයකම රැස්වීමක් බැගින් පවත්වා ජාතික ජනබලවේගයේ සාමාජිකයන් මුණ ගැසීමට ජනාධිපති අනුර කුමාර දිසානායක තීරණය කර ඇත.

ජාතික ජන බලවේගයේ සංවිධාන ශක්තිය ඉහළ දැමීම සඳහා ජනාධිපතිවරයාගේ මෙම රැස්වීම් මාලාව පැවැත්වෙන අතර එහිදී සෑම ආසනයකම ක්‍රියාකාරී සාමාජිකයන් ඍජුව හමුවී ඔවුන්ගේ ගැටලු‍ විසඳීමට ද ජනාධිපතිවරයා මෙහිදී තීන්දු කර ඇත.

ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සංකලනයකින් තොරව ආණ්ඩුවේ කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යා නොහැකි බවට මේ වන විට ආණ්ඩුව අභ්‍යන්තරයේ සාකච්ඡා ගණනාවකදීම පෙන්වා දී තිබේ. ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා ක්‍රියාකාරීව දායක වූ බොහෝ දෙනා විවිධ හේතු නිසා මේ වනවිට ආණ්ඩුවෙන් දුරස්වී සිටින බවද ඔවුන් නැවත මාලිමාව වෙත දිනා ගත යුතු බවද එහිදී සාකච්ඡාවට ලක්වී ඇත. ජාතික ජන බලවේගය ආසන මට්ටමින් ශක්තිමත් කළ යුතු බවට තීන්දු වී ඇත්තේ එම සාකච්ඡාවලින් පසුවය.

රුපියල අවප්‍රමාණය වීම ඇතුළු ආර්ථික ප්‍රශ්න, ආණ්ඩුව පිළිබඳව විපක්ෂයෙන් නඟන චෝදනා සහ මැතිවරණ පොරොන්දු ඉටු කිරීම වැනි කරුණු පිළිබඳව පාක්ෂිකයා සමග සෘජු සංවාදයකට එළඹීමට ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් කරයි.