සුජිත් හේවාජුලිගේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිරමැදිරිවල නිසි පරිදි වාතාශ්‍රය නොලැබීම ඇතුළු පොදු මූලික අඩුපාඩුකම් රැසක් පවතින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් නිරීක්ෂණය කර ඇත. එම අඩුපාඩු වහා නිවැරදි කරන ලෙස කොමිසම එහි ප්‍රධානීන්ට දැනටමත් දැනුම් දී ඇත.

මානව හිමිකම් නිලධාරීන් මෙම අඩුපාඩුකම් නිරීක්ෂණය කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී තුවාන් සුරේෂ් සලේ රඳවා සිටින සිරමැදිරිය පරීක්ෂා කිරීමට පසුගියදා එහි ගොස් ඇති අවස්ථාවේදීය. එම නිලධාරීන් සලේ රඳවා සිටි සිරමැදිරිය මෙන්ම ඒ අවට සිර මැදිරි කිහිපයක් ද දැඩි ලෙස පරීක්ෂා කර ඇත.

මේ අතර සලේ විවිධ වද බන්ධනයන්ට ලක්කර ඇති බවට ලැබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ද සලේගෙන් ද ඔහු රඳවා සිටින සිර මැදිරිය ආසන්නයේ වූ අනෙකුත් සිර මැදිරිවල රඳවා සිටින කිහිප දෙනකුගෙන් ද පසුගියදා කරූණු විමසූ බව එහි කොමසාරිස් නීතිඥ නිමල් ජී. පුංචිහේවා පැවසීය.

මීට අමතරව කොමිසමේ තවත් කණ්ඩායමක් කොළඹ ජාතික රෝහලට ගොස් සලේට ලැබෙන වෛද්‍ය සහ අනෙකුත් පහසුකම් පිළිබඳව ද සොයා බැලීමක් කළ බව ඔහු සඳහන් කළේය. තවද සලේ වද බන්ධනයට ලක් කර ඇති බවට ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් තවදුරටත් කරුණු විමසීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරි දිනවල ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවීමට නියමිතය.