ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

හිටපු පොලිස්පතිවරයකු වූ සී. ඩී. වික්‍රමරත්න පසුගිය සිකුරාදා (17) කිසියම් හේතුවක් නිසා පිස්තෝලයකින් වෙඩි තබාගෙන සිය දිවි නසාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි, උසස් පොලිස් නිලධාරියෙක් “ඉරිදා ලංකාදීප”යට පැවසීය.

ශාරීරික සුවතාවලදී අඳින ඇඳුමකින් සැරසී ව්‍යායාමවලට (ඇවිදීමට) ගොස් යළි නිවසට පැමිණ ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයකුට නිකුත් කර ඇති රාජකාරී පිස්තෝලය පරීක්ෂා කර බැලීමට අවශ්‍ය යැයි කියා එය ඉල්ලාගෙන සිය පපු ප්‍රදේශයට වෙඩි තබාගෙන තිබෙන බවට පරීක්ෂණ කණ්ඩායම් විසින් තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි, මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී එෆ්.යූ. වුට්ලර් පැවසීය.

පොලිස්පති තනතුර හෙබවූ අයකු මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු වතාවට බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පෙන්වා දුන්නේය.

වෙඩි තබා ගත් හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඒ මොහොතේම කඩිනමින් කොළඹ නැගෙනහිර මුල්ලේරියාව රෝහලට රැගෙන ගොස් ඇති අතර, වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා ඔහු මිය ගොස් ඇති බව දැනුම් දී තිබේ.

වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකාවේ තිස්පස් වැනි පොලිස්පතිවරයා වූ අතර, ඔහු පිරිමි දරුවන් දෙදෙනකුගේ පියෙකි. ඒ මහතාගේ වැඩිමල් පුතා විවාහකයෙකි. මියයන විට ඔහු හැට තුන් හැවිරිදි වියේ පසුවිය.

මේ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකර එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මාළඹේ පොලිසියේ ස්ථානාධිපතිවරයාට සිකුරාදා (19) නියෝග කළේය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ වික්‍රමරත්න කොළඹ විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳව පළමු පන්තියේ උපාධියක් ලබාගෙන 1986 වසරේ ජුනි මස 18 වැනිදා ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයකු වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට එක්විය.