සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න

ඉහළ අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා  ආණ්ඩුව ගන්නා උත්සාහය පිළිබඳ සාකච්ඡා කිරීමට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ලබන බ්‍රහස්පතින්දා (23) විපක්ෂයේ සියලු දෙනාගේ සහභාගීත්වයෙන් රැස්වීමක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. 

මේ සඳහා හිටපු ජනාධිපති එජාප නායක රනිල් වික්‍රමසිංහ ද විපක්ෂ නායක කාර්යාලයට යන බව එජාප ආරංචි මාර්ග සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක වූ පසු කොළඹ ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයට රනිල් වික්‍රමසිංහ මෙසේ පැමිණෙන්නේ ප්‍රථම වතාවටය.

විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීම සඳහා මාලිමා ආණ්ඩුව ගන්නා උත්සාහයට එරෙහිව විපක්ෂනායක ලෙස මූලිකත්වය ගනිමින් විපක්ෂයේ  සියලු‍ පක්ෂවල සහභාගීත්වයෙන් රැස්වීමක් කැඳවන මෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගෙන් ඉල්ලීමක් කර තිබිණි.

අධිකරණ පද්ධතියේ උද්ගතව ඇති ගැටලු‍ සම්බන්ධයෙන් එකට එකතුවී සටන් වැදීම සඳහා පුළුල් පෙරමුණක් ගොඩනගා ගැනීමට ද සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ සූදානම් වෙයි.

එහි මූලික සාකච්ඡාව වන 23 වැනිදා පැවැත්වීමට නියමිත රැස්වීමේ සංවිධායක කමිටුව ලෙස සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර, නීතිඥ අජිත්.පී.පෙරේරා, නීතිඥ සුජීව සේනසිංහ සහ නීතිඥ හා ව්‍යවසායක දිලිත් ජයවීර කටයුතු කරති.

එම සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ සියලු‍ දේශපාලන පක්ෂවලට ඇරයුම් කෙරෙන බව මන්ත්‍රී දයාසිරි ජයසේකර ඉරිදා ලංකාදීපයට පැවසීය

ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඉහළ අධිකරණවල විනිසුරු පුරප්පාඩු අටක් පිරවීම ප්‍රමාද කිරීම ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයේ ගැටලු‍ ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී පුළුල්ව සාකච්ඡා කර තීරණවලට එළඹීමට නියමිතව ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

අධිකරණ ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු‍ සම්බන්ධයෙන් මීළඟ පාර්ලිමේන්තු සතියේදී ද දීර්ඝව සාකච්ඡා කිරීමට විපක්ෂය බලාපොරොත්තුවේ.