ගයාන් සූරිය ආරච්චි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සහ පෞද්ගලික බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් නියමිත ගාස්තුවට අමතරව වැඩිපුර මුදල් ලබා ගන්නා බස්රථවල අයිතිකරු, රියැදුරු හෝ කොන්දොස්තරට එරෙහිව  නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මූලස්ථානය පවසයි.

එලෙස බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් වැඩිපුර මුදල් අය කර ගැනීම සම්බන්ධ පැමිණිලි 118 හෝ 119 යන කෙටි දුරකථන අංක ඔස්සේ ලබා දිය හැක.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සහ පෞද්ගලික අංශයේ බස් රථ මගීන්ගෙන් නියමිත මුදලට වඩා වැඩිපුර මුදල් අය කරගන්නා බවට පැමිණිලි රාශියක් ලැබී ඇති බව පොලිස් මූලස්ථානය කියයි.

එවැනි බස් රථවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෝටර් රථ වාහන පනත සහ දණ්ඩ නීති සංග්‍රහය මගින් ප්‍රතිපාදන ලබා දී ඇති බවද පොලිස් මූලස්ථානය පවසයි.

එලෙස මඟීන්ගෙන් වැඩිපුර මුදල් අය කරගන්නා පුද්ගලයන්ට එරෙහිව සාවද්‍ය පරිහරණය වරද යටතේද නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇති බව පොලිසිය කියයි.

මගී ප්‍රවාහන බස් රථවල ගමන් ගන්නා විට නියමිත ගාස්තුව ඉක්මවා වැඩිපුර මුදල් නොගෙවන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි.