නිරෝෂණ කුමාර

මැලේරියා රෝගය මෙරටින් තුරන් කළ ද විදෙස් රටවලට ගොස් පැමිණෙන අයගෙන් මෙම රෝගය නැවත රටට ඇතුළුවීමේ අවදානමක් ඇතැයි මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉන්දීවරී ගුණරත්න සඳහන් කරයි.

2012 වසරේදී ශ්‍රී ලංකාව මැලේරියාව සම්පූර්ණයෙන්ම තුරන් කළ රටක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය 2016 දි සහතික කළද, 2012 න් පසු විදෙස් රටවලට ගොස් නැවත පැමිණි රෝගීන් කිහිපදෙනකුගෙන් මැලේරියාව ආසාදනය වූ බවට තහවුරු වී ඇතැයි ද වෛද්‍යවරිය සඳහන් කරයි. 2021 වසරේ මැලේරියාව ආසාදනය වූ හතළිස් දෙනකු හඳුනාගත් අතර 2025 දී රෝගීන් හතළිස් දෙකක් වාර්තා වූ බව ද ඇය සඳහන් කළාය. වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ඉන්දීවරි ගුණරත්න මෙසේ කීවාය.

“2012 න් පස්සේ අපට හැමදාම වාර්තා වුණේ පිටරට සිට මැලේරියාව වැලඳී පැමිණි අ⁣ය ගැන. අපි ඔවුන් හඳුන්වන්නේ ආනයනික මැලේරියා රෝගීන් ලෙසයි. ඔවුන්ගෙන් සියයට 80 ක්ම ලාංකිකයෝ. ඉතුරු ප්‍රමාණය විදේශිකයෝ. අපි බොහොම අමාරුවෙන් මෙය වළක්වා ගන්න කටයුතු කරනවා. ශ්‍රී ලංකාවෙන් විදේශ රටවලට යන්න කලින් අපි ඔවුන්ට ඖෂධ ලබාගන්න උපදෙස් දෙනවා. ඒකට විදේශ රැකියා ඒජන්සි ආයතන හරහා ඔවුන් හඳුනාගෙන තමයි ඖෂධ මාත්‍රාව නිකුත් කරන්නේ. 

සාමාන්‍යයෙන් ඔවුන් මෙරටින් පිට වෙන්න සතියකට කලින් ඖෂධ ලබාදීමට කටයුතු කරනවා. විදේශ රටවල ඉන්න කාලයේදීත් මේ ඖෂධ ලබාගන්න ඕනේ. සතියකට වරක් බොන බෙහෙතක් තමයි දෙන්නේ. ලංකාවට ආවට පස්සේ පරීක්ෂා කර ගැනීම අනිවාර්යයි. මැලේරියාව බහුලව පවතින රටකට ගිහින් ආවොත් මැලේරියාව සඳහා පරීක්ෂණයක් කරන්න ඕනෑ. විශේෂයෙන්ම අප්‍රිකානු රටවලින් තමයි සියයට 89ක් රෝගීන් වාර්තාවෙලා තිබෙන්නේ. ඊට අමතරව දකුණු ආසියාතික රටවල් අතරින් ඉන්දියාව හා මියන්මාරය වගේ රටවලට වන්දනා ගමන් යන ශ්‍රී ලාංකිකයන්ට මැලේරියාව ආසාදනය වෙන්න පුළුවන්. නැගෙනහිර ආසියාතික රටවලත්, ලතින් ඇමරිකානු රටවලත් මෙම රෝගය බහුලව වාර්තා වෙනවා”‍