“වී චැට්” ජාලය හැදූ චීන කෝටිපතියා


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි 

පෝනි මා සමඟ ජැක් මා

 

  • ජැක් මාගෙන් පසුව මහා චීනයේ මහා ධනවතා වූ මා හවුටන් නොහොත් පෝනි මා
  • ෂෙන්සෙන් සරසවියේ උපාධිය ලබා මුලින්ම සමාගමක සේවය කරලා, ලැබූ වැටුප රුපියල් 35,000 යි. 
  • අද ලෝකයේ ධනපතින් අතර සිටින්නේ 9 වැනි තැන
  • හොංකොංහි ඩොලර් මිලියන 230 ක් වටිනා මහා මන්දිරයක්
  • බිරිඳ හමුවුණේ ඔන්ලයින් ඔස්සේ
  • Wechat (වී චැට්) වටා මාසිකව බිලියනයක ග්‍රාහක පිරිසක්
  • සාමාන්‍ය පවුලකට අයත්ව උපන්න කෙනෙක්

 

සෙන්ට් (Cent) යනු සතයයි. සත දහයකට කියනු ලබන්නේ ටෙන්සෙන්ට් යනුවෙනි. ලාංකීය අපට සත දහයකින් කළ හැකි දේ කුමක්ද ඒ තරමටම අපේ රුපියල අද බාල්දු වී තිබේ. සත දහයකින් තියා රුපියලකින් එනම් සත සියයකින්වත් කළ හැකි දෙයක් නැත. එහෙත් මේ ‘ටෙන්සෙන්ට්’ නම් අද ලෝකයම අල්ලාගෙන සිටී, ටෙන්සෙන්ට් යන්නෙහි තේරුම සතදහය යනුවෙන් වුවද මේ ටෙන්සෙන්ට්ලා අද ලෝකයේ වැජඹෙන්නේ ‘ටෙන්සෙන්ට්’ යන නම නිසාය. ටෙන්සෙන්ට් යනු ඔවුනගේ සමාගමේ නාමය වේ. චීන්නු නම් සැබැවින්ම හපන්නුම තමයි කියා හිතෙන්නේ මේ වගේ නාමයන් තම සමාගම්වලට යොද‌ාගන්නා බැවිනි. මතකයිනේ අලිබබා ඒ විදියට ඔවුන් ව්‍යාපාර සඳහා යොද‌ා ගන්නා නම් නිසා ලෝකයම මවිත වන බව වෙලාවකට කිව හැකිය. වෙ​ෙළඳ‌ාමට අතිශූර චීන ව්‍යවසායකයින් මෙලෙසින් නම් දුන්නේ චීනය ඇතුලේ පමණක් ව්‍යාපාර කිරීමේ අරමුණින් නොවීම ඊට කදිම හේතුවය. 


අන්තර්ජාල වෙ​ෙළඳ‌ාම වෙතින් මුළු ලෝකයම අලිබබා අල්ලා ගත්තේ එවැනි නමක් දැමූ නිසාය. දැන් මේ ටෙන්සෙන්ට්ලා ලෝකය අල්ලාගෙන සිටින්නේ ද ඔවුනගේ අන්තර්ජාල වෙ​ෙළඳ‌ාම වෙනුවෙන් මෙලෙසින් නාමයක් යොද‌ාගෙන සිටින නිසාය. අන්තර්ජාල වෙ​ෙළඳ‌ාමෙන් චීනය මුලින්ම ලෝකය අල්ලා ගත්තේ අලි බබා වෙතින් වුවද අද මේ ටෙන්සෙන්ට් යනු අලිබබාල ද පරයා ගිය සමාගමකි. ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙනුවෙන් අද අප විස්තර කරන්නේ ලොව ධනවත්ම සමාගම් දහයට අයත් චීනයේ මේ ‘ටෙන්සෙන්ට්’ සමාගමේ කතාවය.

 

   


ටෙන්සෙන්ට් මොන වගේ සමාගමක්ද?   


ටෙන්සෙන්ට් යනු ව්‍යාපාර අංශ ගණනාවකින් යුතු බහුවිද මහා පරිමාණ සමාගමකි. ඔවුනගේ ව්‍යාපාරයේ ස්වභාවය වන්නේ අන්තර්ජාල තාක්ෂණය පෙරටුකරගත් වෙ​ෙළඳ‌ාමය. එනම් තොරතුරු තාක්ෂණය හා සබැඳිව කටයුතු කරන සමාගමකි. අන්තර්ජාලය හා සබැඳි නිෂ්පාදන විනේද‌ාස්වාදය සඳහා වූ නිෂ්පාදන කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත කටයුතු ආදී සේවා ඔවුනගෙන් සිදුවේ. පරිගණක භාෂාවෙන් කිවහොත් සෙවුම් යන්ත්‍ර (Search Engine) සමාජ මාධය (Social Networking) ඊ කොමර්ස්. මෘදුකාංග, වීඩියෝ ගේම්ස්, ෆිල්ම් නිර්මාණය, අන්තර්ජාල වෛරස් ආවරණ ඇතුළු තොරතුරු තාක්ෂණයෙහි හර පද්ධතීන් වෙනුවෙන් සක්‍රීයව සේවා ලබා දෙන සහ නිෂ්පාදන කරන අන්තර්ජාල සමාගමකි. 2020 වන විට ටෙන්සෙන්ට් සමාගම සතු සේවක සංඛ්‍යාව අනූදහසකට පමණ ආසන්න විය. 2020 දී ඔවුනගේ සමස්ත ධනයෙහි වටිනාකම ලෙස සඳහන් වූයේ රෙන්මින්බි යූආන් බිලියන 1333,425 ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 203.48 ක් වශයෙනි.   
සාමාන්‍යයෙන් අන්තර්ජාල වෙළඳ‌ාමේදී සහ තොරතුරු තාක්ෂණයෙහි බලපුළුවන්කාරයා වන්​නේ ඇමෙරිකාවය. ලොව අංක එකේ ධනවතා වන ජෙෆ් බේසොස්ගේ සිට ෆේස්බුක්හි නිර්මාතෘ මාක් සකර්බර්ග්ගේ සිට මයික්‍රොසොෆ්ට් බිල්ගේට්ස්ගේ සිට ලෝක ධනවතුන් සියල්ලේ මෙන්ම සමාගම් ද ඇත්​තේ ඇමෙරිකාවේය.   


‘අප ද ලෝකයේ කිසිවකුට දෙවැනි නැත.’ යන්න ප්‍රකාශ කිරීමට අන්තර්ජාලය ජයගත් චීනයේ මෙම ටෙන්සෙන්ට් යනු එකිනෙකාට මහජන චීනයට සාඩම්බරයකි. එසේ වූ මේ මහා පරිමාණ අන්තර්ජාල සමාගම බිහිකළ මහ මොළකරුවා කවුද කියා ඊළඟට අපි බලමු.   


ටෙන්සෙන්ට් පටන් ගත්තේ වැඩි ඈතකදී නම් නෙවෙයි. අවුරුදු 22 කට පෙරදීයි. හරියටම කිව්වොත් 1998 නොවැම්බර් 11 වැනිද‌ාය. ඒ වන විට මා හවුටන් (Ma Huateng) ගේ වයස අවුරුදු 27 ක් විණි. 

 

 


Ma Huateng මා හවුටන්   


තොරතුරු තාක්ෂණය උපයෝගී කර ගනිමින් ලෝකය හමුවේ මහා චීනයට මහා අරුතක් ගෙන දුන් මහා මිනිසා මේ මා හවුටන්ය. 1971 ඔක්තෝබර් 29 වැනිද‌ා මා උපන්නේ චීනයේ ගුවාංසොං පළාතේ. චොයැං ෂැන්ටුහිදීය. ඒ සාමාන්‍ය පවුලකට අයත් දරුවකු ලෙසය. කෙසේ වෙතත් මා හවුටන් ඔහුගේ පවුලේ විස්තර හෝ පුද්ගලික විස්තර මාධ්‍යයට ප්‍රකාශ කරන චරිතයක් නොවේ. ආරක්ෂාව ගැන සහ පුද්ගලිකත්වය හානියක් කර නොගැනීම එහි අරමුණය. සරලවම කිවහොත් අපේ රටේ දේශපාලකයින් පිටුපස ගොස් ඔවුනට මුදල් වියදම් කරමින් ව්‍යාපාර කරන සමහර ව්‍යාපාරිකයින් මෙන් මාධ්‍ය සංදර්ශන පවත්වන්නෙකු නම් නොවේය. එමෙන්ම 2021 වන විට මහා චීනයේ ධනවත්ම පුද්ගලයා බවට මේ මා හවුටන් පත්වූයේ දේශපාලනඥයින්ගේ පිහිටෙන් හෝ කළු සල්ලි වලින් නම් නොවේය. ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලෝකයේ 9 වැනි මහා ධනවතා වන්නේ මේ මා හවුටන්ය. ඔහු සතු වත්කම ඩොලර් බිලියන 59.5 ක් ලෙස වාර්තාවල සඳහන් වුණි. එතෙක් චීනයේ අංක එකේ ධනවතා වූයේ ජැක්මාය. අලිබබා නිර්මාතෘ ජැක් මා ගෙන් පසුව මා හවුටන් නොහොත් අන්වර්ත නාමයෙන් පෝනි මා ලෙස හැඳින්වෙන මෙම මා හවුටන් චීනයේ අංක එකට පැමිණීම තවත් අතකින් විශේෂත්වයක් වන්නේ ඔහු ද ‘මා’ වන නිසාය. එනම් ජැක්මා ගෙන් පසුව පෝනි මා ය. පෝනි යන්නෙහි (Pony) තේරුම අශ්වයා යන්නය. ඒ අනුව චීනයෙන් ලෝක ව්‍යවසායක පිටියට පැමිණි වටිනාම අශ්වයා වන්නේ මේ ‘පෝනි මා’ ය. ඔහු සතු ටෙන්සෙන්ට් යනු ආසියාවේ වඩාත් වටිනාම සමාගම වේ.   
එලෙසින් ආසියාවේ මෙන්ම ලෝකයේ වටිනාම සමාගමක් බවට තම සමාගම පත්කර ගත් මා හවුටන් නොහොත් පෝනි මා ලෙස ලෝකයම දන්නා ඔහු උගත්තේ ෂෙන්සෙන් සරසවියෙනි. පරිගණක විද්‍යාව පිළිබඳව උපාධිය එහිදී ලබා ගත්තේය. ඉගෙනීම් නිම කිරීමට පෙර පෝනි මා ජීවිතය පටන් ගත්​තේ ඉතාම සුළුවෙනි. ඔහුගේ පියා එවකට ෂෙන්සෙන්හි වරාය කළමනාකරුවකු ලෙස සේවය කළ අතර මේ පුතු ද රැගෙන යාම පුරුද්දක් කරගෙන තිබිණි. සරසවි අධ්‍යාපනයෙන් පසුව මා හවුටන් චයිනා මෝෂන් ටෙලිකොම් ඩිවලොප්මන්ට් සමාගමේ රැකියාවක් ලබා ගත්තේය. එහි සේවය කිරීම වෙනුවෙන් ඔහුට ලැබුණේ ඩොලර් 176 ක පමණ වැටුපක් යැයි සඳහන් වේ. එය අද ලංකාවේ රුපියල්වලට අනුව නම් රුපියල් 35,115 ක පමණ මුදලකි. රුපියල් තිස්පන්දහසක මුදලකට මා හවුටන් දෙවසරක් පමණ සේවය කළේය. එකී කාලයේදී ඉහත කී සමාගමට අමතරව ෂෙන්සෙන්හි තවත් පරිගණක සමාගමක සේවය කළ බව සඳහන් වේ.   


 මා ටෙන්සෙන්ට් බිහිකිරීම   


‘ටෙන්සෙන්ට්’ යනු මා හවුටන් එක් රැයකින් දුටු සිහිනයක් නොවේය. සාමාන්‍යයෙන් බොහෝ තරුණයින්ට තම ප්‍රථම වෘත්තීය එතරම් ලෙහෙසි පහසු එකක් නොවන වග සඳහන් කළ හැකිය. එලෙසින් මා හවුටන් හට ද දුෂ්කර කාලපරිච්ඡේදයක් ගත කිරීමට සිදුවිණි. කෙසේ වෙතත් ජීවිතය අල්ලා ගැනීමේදී ඉතා කුඩා තැනින් පටන් ගැනීම මිස මහා ලොකු තැනකින් පටන් ගැනීම නොකළ යුතු යැයි ඔහු දැන සිටියේය. 'ICQ' යනු අන්තර්ජාලය ඔස්සේ කෙටි පණිවුඩ යැවීමේ ප්‍රථම සේවාවය. එය ඊශ්‍රායල සමාගමටක අයත් වූවක් විය. එවැනි දෙයක් කිරීමේ අරමුණ ඇතිව 1998 දී ටෙන්සෙන්ට් ආරම්භ කළේ මා හවුටන්ගේ සරසවි මිතුරන් සතර දෙනෙකු සමග එක්වීමෙනි. ඉහත කී ICQ සේවාවට සමාන වූ මෘදුකාංගයක් 1999 දී මා හවුටන් ඇතුළු මිතුරු කැළ විසින් හඳුන්වා දෙන ලදී. මිලියනයක් පමණ චීන ජනතාව මේ සේවාව වටා එක්වුණේ මීයකට රොද බඳින මී මැසි රෑනක් සේය. මේ ගමන යාම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. ලෝකයේ මෙම අංශයේ සිටින යෝධයින් සමග ගැටෙන්නට අපට සිද්ධ වෙනවා. ඒ වුණත් අපට අපේ මේ වැඩේට අනාගතයක් තිබෙන බව මට කියන්න පුළුවනි. මා හවුටන් විටෙක එද‌ා කියා සිටියේ එලෙසිනි. දුෂ්කරතා හමුවේ ඔවුන් ගොඩනගා ගත් එම අන්තර්ජාල සමාගම විකුණා දැමීමට පවා සිත් ඇතිවිණි. නමුත් ටෙන්සෙන්ට් සේවාව OIQU හරහා ලබා දීමට හැකිවීම නිසා ඔවුනට නව පණක් ඇති වූ බව කිවහැකිය.   


 ටෙන්සෙන්ට් සමාගමේ නව පරිච්ජේදයකට අපි පිවිසෙමු. විටෙක AOL, Yahoo වැනි සමාගම්වලින් විටෙක ටෙන්සෙන්ට්ලාට චෝදනා එල්ල වූයේ ඔවුනගේ ක්‍රමවේදයන් අනුගමනය, අනුකරණය කළාය යන අයිතිය උදෙසා වූ චෝදනා වෙතිනි. කෙසේ වෙතත් අවසන ටෙන්සෙන්ට් නැගී සිටියේ ලෝකයම ග්‍රහණය කර ගනිමිනි. මා හවුටන් හෙවත් පෝනි මා ගේ ශූර නායකත්වය ඊට ඉවහල් වුණි. ඔහු ස්නැප්චැට්, ටෙස්ලා, ස්පෝර්ට්ෆයි වැනි ලෝ ප්‍රකට ආයතන හා ව්‍යවසායක ධන කුවේරයින් හා අත්වැල් බැඳගෙන ගමනක් ආයේය. ප්‍රතිවිරුද්ධ සමාගම් වුවද ඒවා හා බැඳී ගමනක් ඒමේ ඵල දිනෙන් දින බුක්ති විඳීමට පෝනි මා හට හැකිවිණි.   
වසර කීපයකට පෙරදී රුපියල් තිස්පන්දහසක වැටුපක් ලැබූ ඔහු දැන් මහා චීනයේ අංක එකේ ධනවතාය.   
පෝනි මා චීනයේ නැගී සිටියේ එලෙසිනි. චීනයේදී ඕනෑම දෙයක් කිරීමේදී රජයේ ප්‍රතිපත්ති සමග බැඳී කටයුතු කළ යුතුය. විටෙක පෝනි මා හට ඒ හා වූ කටයුතුවලදී රජය සමග හොඳ අවබෝධයක් තිබුණේ යැයි කිව නොහැකිය. කොහොම වුණත් චීනයේ හැටි එහෙමය. චීනයේදී වයිබර්, වටස්ඇප් වැනි දේ භාවිතා නොකළ හැකි බව ඔබ දන්නා දෙයක් යැයි අපි විශ්වාස කරමු. එසේ නම් චීනයේදී එලෙසින් භාවිතා කළ හැකි හොඳම දේ වී චැට් (We Chat) ය. මේ වී චැට් අන් කාගේවත් නොව ටෙන්සෙන්ට්ලාගේය. ඒ අයුරින් ටෙන්සෙන්ට් හා බැඳුණු උප සමාගම් 20 ක් පමණ වේ. චීනයේ හැටියට මේවා විශාල සමාගම්ය. මුලින් සඳහන් කළ පරිදි තොරතුරු තාක්ෂණය ඔස්සේ කළ හැකි කළ යුතු බොහෝ දේ ටෙන්සෙන්ට් වෙතින් සිදුවෙයි. ලෝකයේ වටිනාම සමාගමක් බවට පත්ව ඇත්තේ ද ඒ නිසාමය.   


මා හවුටන් හෙවත් පෝනි මා ගේ ජීවිතයේ හැටි පෙර කී පරිදි ​පෝනි මා පුද්ගලිකත්වය හොඳින් ආරක්ෂා කර ගන්නා අයෙකි. වසර කීපයකට පෙරදී ඔහුට ඔහුගේ බිරිඳ හමු වී ඇත්තේ පෝනි මා තමාගේ වෙබ් අඩවිය සඳහා වූ වෙබ් පිටුව නිර්මාණය කරමින් සිටියදීය. ඒකත් හරි පුදුමයකි. පෝනි මා හට ජීවිතය ලැබුණේ පරිගණක ක්ෂේත්‍රය නිසා මෙන්ම බිරිඳ හඳුනා ගත්තේ ද ඔන්ලයින් ඔස්සේය. ඉතින් එය පුදුමයක්ම නේද? ඔහුගේ බිරිඳගේ නම වාන් ඩැන් තිංග් ය. මේ දෙදෙනාට පුතකු සිටින වග සඳහන් වේ. නමුත් නිල වශයෙන් ඒ විස්තර සොයා බැලිය යුතු වේ.   


‘පෝනි මා’ යනු විටෙක අන්‍යයන්ට ලෙහෙසියෙන් තේරුම් ගත හැකි චරිතයක් නම් නොවන වග සඳහන්ය. ඔහුට ඔහුගේ ග්‍රාහකයින් තේරුම් ගැනීමේ නිසි අවබෝධයක් තිබේද? යන්න ඔහුගෙන්ම ප්‍රශ්න කරන්නකි. එසේ වුවද පෝනි මා යනු මුදල් සාගරයක් හම්බ කරන තරමට මුදල් කන්දක් සමාජ සත්කාර සඳහා ලබා දෙන ව්‍යවාසයකයෙකි. ඔහුගේ සමාජ සත්කාරක පදනම සඳහා ඩොලර් බිලියන දෙකක කොටස් වෙන් කළ බැව් සඳහන් වේ. එම මහා මුදල් පරිත්‍යාග වෙතින් චීනයේ අධ්‍යාපනය, වෛද්‍ය හා පාරිසරික සංවර්ධන කටයුතු උදෙසා වැය කරවීම ඔහුගේ අරමුණය. මහා චීනයේ සමාජ සත්කාර උදෙසා මෙතරම් සුවිශාල ධනයක් වැය කළ දෙවැන්නා ඔහු ලෙස සඳහන් වේ.   


හොංකොං හි ඇති ඩොලර් මිලියන 230 ක නිවස.

   
පෝනි මා මීට වසර දෙක තුනකට පමණ පෙරදී හොංකොංහි ‘වුඩ්ලන්ඩ්’ නමැති ප්‍රදේශයේදී ඩොලර් මිලියන 230 ක පමණ සුවිශාල වටිනාකමකින් යුතු මන්දිරයක් තැනුවේය. ඒ ඔහු   


නිදහසේ - සුවසේ වෙසෙන මිහිපිට ඉදිකළ අතිසුඛෝප​භෝගී මන්දිරය වේ. 

 
මෙලෙසින් සුපිරි ජීවිතයක් ගත කරන ‘පෝනි මා’ අද මෙලෙසින් දිවි ගෙවුවද අරමුණ වී තිබුණේ ගගනගාමියකු වීමට බව සඳහන් කරයි.   


‘‘පොඩි කාලයේදී අනාගතයේ කවුද වෙන්නෙ කියලා අහනවනෙ? ඉතින් මටත් ඕනෑ වුණේ අනෙක් ළමුනට වගේ වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් වගේ දෙයක් කීමයි. ඒ අනුව මගේ අරමුණ වුණේ ‘ගගනගාමියකු වීමටයි. පෝනිමා පවසා තිබේ. මෙසේ වූ පෝනිමා ෂෙන්සෙන්හි දේශපාලන චරිතයක්ද වේ. හැබැයි ඔහු දේශපාලනය කරන්නේ බලපුළුවන්කාරකම හදාගන්නට නම් නො​වේ. ඔහු ඔහුගේ පරිගණක කලාව වෙතින් හොඳ බලපුළුවන්කාරයෙකි. කොහොමටත් කලාකාමී හිතක් ඇති චරිතයකි. හොංකොංහි ඔහු සතු සුපිරි මන්දිරයෙහි ලෝප්‍රකට චිත්‍රශිල්පීන්ගේ චිත්‍ර සහ වඩාත් අගනා චිත්‍ර මෙන්ම සංස්කෘතික වටිනාකමින් යුතු නිර්මාණ එකතුවක් තිබේ.   


ජැක්මාගෙන් පසුව චීනයෙන් ආ ‘පෝනි මා’ ලෝකය ජයගත්​තේ ජැක්මා මෙන්ම අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ වීම එකතකට අරුම පුදුමයකි.   


ඒ පුදුමය ඔබටද යථාර්ථයක් කළ හැකි වග මතක තබා ගන්න. මක් නිසාද යත් මේ තාක්ෂණයෙහි පරක් - තෙරක් කෙළවරක් නැත. ඔබට ඇත්තේ එහි පිහිනා ගොස් ගමනාන්තයක් සොයා ගැනීමය. පරිගණක තාක්ෂණය ඇත්තටම හරි පුදුමයි නේද? හිතුවොත් කරන්නට බැරි දෙයක් නැත. ඒ නිසා මා හවුටන් නොහොත් පෝනි මා ගේ කතාව කියවා අලුත් දෙයක් කරන්න උත්සාහ ගන්න.

 

 

පරිවර්තන සටහන : 
සඳුන් ගමගේ
[email protected]