හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා


ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දියතලාවේය. බිරිය මෛත්‍රි වික්‍රමසිංහ සමඟ වාර්ෂිකව කරගෙන ආ චාරිකාව මෙවර ද නුවරඑළියේ ගත කිරීමට හෙතෙම තීරණය කළේය.
වර්ෂ අවසාන නිවාඩුවත් සමඟ ජනපති රනිල්ගේ වැඩපිළිවෙළ විවේචනයට ලක් කරන පිරිස් පවා කොළඹින් බැහැරව නිවාඩුව ගත කළේ කිසිදු ගැටලුවක් නොමැතිවය. කොළඹින් බැහැරව සිටිය ද ජනපති රනිල් මැති ඇමැතිවරු හා නිලධාරීන් සමඟ දුරකතනයෙන් සම්බන්ධ වෙමින් තොරතුරු සාකච්ඡා කරන්නට ද අමතක නොකළේය.
ඔහු ජනපති ලේකම් සමන් ඒකනායක සමඟ මෙන්ම කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සමඟ ද නිතර දුරකතනයෙන් සම්බන්ධ වූයේ රාජකාරී කටයුතු වෙනුවෙනි.

සාගල එස්.ටී.එෆ්. ගැටලු විසඳයි

ජනපති උපදෙස් මත කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හා පොලිස් නිලධාරීන් ඉකුත් දා ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවූවේ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ ගැටලුවක් ගැන කතා කිරීමටය.


අධිවේගි මාර්ගවල ගිනි නිවීම් කටයුතු මෙන්ම පාලන ස්ථානවල සියලු කටයුතු මෙපමණ කලක් කර තිබෙන්නේ විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසිනි. මාර්ග සංවර්ධන අධිකාරිය කර ඇත්තේ මුදල් අය කිරීම හා මාර්ග නඩත්තු කටයුතු පමණකි. එම නිසා විශේෂ කාර්ය බළකා නිලධාරීන් මැසිවිලි නගා තිබුණේ ඔවුන්ගේ නිලධාරී හිඟය හේතුවෙන් වසර 12ක් තිස්සේ සිය නිත්‍ය රාජකාරි කිරිමේ අපහසුතාවක් පැන නැගී ඇති බවය.


විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ හා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ අදහස් ලබාගත් සාගල රත්නායක එම සාකච්ඡාවට පැමිණ සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාට උපදෙස් දුන්නේ වහාම ක්‍රමවේදයක් සකසා ගැටලුව විසඳන ලෙසටය.

දකුණේ සැණකෙළි

යුරෝපා සංචාරකයන් පැමිණෙන කාල වකවානුවක් වූ ජනවාරි මාස​ෙය් දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් විනෝදාත්මක සැණකෙළියක් පවත්වන ලෙස ජනපති උපදෙස් දී තිබුණේ ඇමති හරීන්ට හා සාගලටය. ජනපති රනිල් මෙම සැණකෙළිය සෑම වසරකම ජනවාරි මාසයේදි පැවැත්වීමට උත්සාහ කළේ 2015 වර්ෂයේ අගමැතිවූ කාලයේ සිටය. එහෙත් එය නිසි ලෙස කිරීමට නොහැකි වූ බැවින් මෙවර එය අනිවාර්යයෙන් කළ යුතු බවට ඇමැති හරීන්ට හා සාගලට උපදෙස් දුන්නේ ජනපති ලෙසය.
ඒ අනුව, ගාලු‍ සාහිත්‍ය කතිකාව හා පොත් ප්‍රදර්ශනය, මාතර කලා උත්සවය, අහංගම විලාසිතා දැක්ම, කොග්ගල බෙර සංදර්ශනය ආදී ලෙස කලා අංග රාශියකින් සමන්විතව මෙම සැණකෙළිය පැවැත්වෙනු ඇත. යුරෝපා සංචාරකයන් ගෙන්වාගැනීම අරමුණු කරගනිමින් පැවැත්වෙන මෙම සැණකෙළිය ලංකාවට ආවේනික කලාංග ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.


ජනපති කොළඹින් බැහැරව යාමට ප්‍රථම, මෙරටට අලු‍තින් පත්ව ආ ඉන්දීය මහකොමසාරිස් හමුවී සාකච්ඡා කළේය. ජනපති සමඟ පැවැති සාකච්ඡාවෙන් පසු ඔහු කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ද මුණ ගැසුණු අතර එහිදී ඉන්දියාව මැදිහත් වී මෙරට කරන ආයෝජනවල ප්‍රගතිය ගැන සාකච්ඡා කළෝය.

ආශුගෙන් තත්ත්ව වාර්තාවක්

නුවරඑළියේ සිටින අතරවාරයේ, කොළඹ පැවැත්වෙන දේශපාලන කතා බහ ගැන ද ජනපති නිරන්තර අවධානයෙන් සිටියේය.
ජනපතිට දුරකතන ඇමතුමක් දුන් මහාචාර්ය ආශු මාරසිංහ කීවේ සති අන්ත නිවාඩුව සැවොම සතුටින් සමරමින් සිටින බවය. ‘‘කොළඹ ඉඳලා හලාවතට යනකම්ම ජනතාව පාරට බැහැලා නත්තල් සමරනවා. අනෙක් පැත්තෙන් දීර්ඝ නිවාඩුව නිසා හැමෝම වගේ ට්‍රිප් ගිහිල්ලා” ආශු කීවේ එවැන්නකි.


“පහුගිය කාලය පුරාම මිනිස්සු හිරවෙලා හිටියේ. මිනිස්සුන්ට ඕනෑ නිදහසේ තමන්ගේ දරුමල්ලොත් එක්ක නිදහසේ කාලා බීලා විනෝදයෙන් ඉන්න. මොන ප්‍රශ්න තිබුණත් මිනිස්සු ඒ නිදහසට කැමතියි.” ජනපති දුන්නේ එවැනි පිළිතුරකි.


“ඔව්, කාලෙකට පස්සේ තමයි මිනිස්සුන්ට නිදහසේ ඇවිදින්න ලැබුණේ. කොච්චර දුෂ්කරතා තිබුණත් මිනිස්සු කොහොම හරි තමන්ගේ දරුවෝ, බිරිද එක්ක විනෝදයෙන් ඉන්න කැමැතියි.” මන්ත්‍රී වජිර කීවේ එවැන්නකි.


“විපක්ෂයේ උදවිය, මිනිස්සුන්ට අමාරුයි කියලා කිව්වට, නුවරඑළියේ ගිහාම ඒක පෙන්නේ නෑ” මන්ත්‍රී මධුර ද කතාවට එකතුවූවේ එලෙසිනි.
“අමාරු කට්ටියකුත් රටේ ඉන්නවා. ඒත් නත්තල, ජනවාරිය, සිංහල අවුරුද්ද කියන්නේ අමාරුවෙන් හරි මිනිස්සු පුළු පුළුවන් විදිහට සමරන කාලයක්” ජනපති කීවේ බැරෑරුම්වය.
මේ අතර ජනපති කීවේ ජනතාව වැල නොකැඩී නුවරඑළිය ඇතුළු මධ්‍යම පළාතේ ඇවිදින්නට පැමිණ සිටීම නිසා ගුරුතලාවේ උත්සවයට ගිය තමන් ද මාර්ග තදබදයට හසු වූ බවය. නිවාඩුවට ජනපති රනිල් නුවරඑළියේ ගිය ද ඔහු කලින් යොදාගත් වැඩ කිහිපයකට යාමට අමතක නොකළේය. ඉන් එකක් වූයේ බදුල්ල, ගුරුතලාව මුස්ලිම් ජාතික පාසලේ පැවැති සියවස් සමරු උළෙලයි.


එහිදී ජනපති රනිල්, රට දියුණු කිරීම වෙනුවෙන් සියලු පක්ෂවලට එක්වෙන ලෙස යළිත් ආරාධනා කළේය. ඔහු කීවේ, සමෘධිමත් එක්සත් ලංකාවක් වෙනුවෙන් කැපවෙන බවය. අධ්‍යාපන රාජ්‍ය ඇමති අරවින්ද් කුමාර්, සජබ මන්ත්‍රී හා ජනාධිපති උපදේශක වඩිවෙල් සූරේෂ් ද ඊට එක්ව සිටියහ.

ධම්මික ගැන රනිල් කියූ කතා 

මේ අතර ජනපති රනිල්ට දැනගන්නට ලැබුණේ, පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ධම්මික පෙරේරා පත් කිරීමට පිරිසක් සුදානම් වෙන බවය. එම තොරතුරු ඔහුට දී තිබුණේ ද පොහොට්ටු මන්ත්‍රීවරයෙකු විසින්මය.


“සර් දැන් කණ්ඩායමක් ධම්මිකව ගේන්න හදනවා. ඒ වෙනුවෙන් කොන්දේසි තුනක් එයාට ඉදිරිපත් කරලත් තියෙනවා” මේ මන්ත්‍රීවරයා කීවේය.
“ඔව් ඔව් මටත් ආරංචි වුණා, එයා ඉන්දියාවේ මෝදි අගමැතිතුමාගේ කැම්පේන් එක කරපු සමාගමට එයාගේ කැම්පේන් එක කරන්න කිව්වායි කියලා” ජනපති කීවේ සැහැල්ලු‍වෙනි.
මේ අතර මධුර විතානගේ මන්ත්‍රීවරයා කතා කර කීවේ පොහොට්ටුවෙන් සජබට මන්ත්‍රීවරු 10ක් එනවා කියලා ඒ අය ප්‍රචාරයක් ගෙන යනවා කියාය. එම සාකච්ඡාවට සම්බන්ධ වූ මන්ත්‍රී දොලවත්ත කීවේ “ඔය කියන්නේ ජී.එල්.ලා, චන්න ජයසුමනලා යන එක ගැනනේ” යනුවෙනි.


ඇමැති ප්‍රසන්න රණතුංග ද ජනපතිට කතා කොට විමසුවේ ජනාධිපති නීතිඥවරු පිරිසක් පත් කළේ ද යන්නය. එයට පිළිතුරු දෙමින් ජනපති කීවේ එවැනි පිරිසකට තනතුරු දීමට සියල්ල සුදානම් කර ඇති බවය. “ජාතික ජන බලවේගයේ කෙනකුටත් දීලා නේද” ඒ අතරවාරයේ ආශු ද ඇසුවේය.


“අනුර දිසානායකගේ ඉල්ලීමට ජනාධිපතිතුමා එතුමට ජනාධිපති නීතිඥකම දුන්නා කියලත් කියනවා” ඇමැති ප්‍රසන්න කීවේ සිනාසෙමිනි.
“ඔව් ඔව් ජනාධිපතිතුමයි අනුරයි අතර ඩීල් එකක් ගැන කියවෙනවානේ” මන්ත්‍රී දොළවත්ත කියද්දී ජනපති රනිල් සිනාසුනා මිස කිසිවක් කීවේ නැත. එහෙත් මේ කාරණය ගැන පසුව නීතිඥ දිනේෂ් විදානපතිරණ විමසද් දී ජනපති කීවේ, මේ තනතුරු දෙන්නේ දේශපාලනය මත නොව ඔහුගේ නීතිඥ දිවියේ අත්දැකීම් හා පළපුරුද්ද මත බවය.

අල්ලස් කොමිසමට සාමාජිකයන්

2023 අංක 09 දරණ දුෂණ මර්දන පනත සම්මතවීමෙන් පසු, එහි බලතල ක්‍රියාත්මක කිරීම උදෙසා පළමු වරට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවට සාමාජිකයන් ජනපති පත් කරනු ලැබූවේ ඉකුත් බ්‍රහස්පතින්දාය. කීර්තිමත් විනිසුරුවරයකු වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නීල් ඉද්දවෙලගේ සභාපතීත්වයෙන් යුතුව, සාමාජිකයන් දෙදෙනකු ජනපති නියමයෙන් පත් කළ අතර, ඔවුන්ගේ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ඉකුත් බ්‍රහස්පතින්දා පෙරවරුවේ පිරිනැමීය. මෙම තිදෙනා ලබන 01 වැනිදා සිට රාජකාරි ආරම්භ කිරීමට නියමිතය. නිවාඩුව ගත කළ ජනපති රනිල් නැවත කොළඹ පැමිණීමට සැලසුම් කර ඇත්තේ 31 ඉරිදාය.
අයවැයෙන් පසුව පාර්ලිමේන්තුවට සති කිහිපයක් නිවාඩු ලැබීමත්, නත්තල හා වසර අවසානයත් නිසා ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ ද මැති ඇමතිවරුන් වැඩි දෙනා ඉන්නේ කොළඹින් පිටය. ඇමැතිවරුන් විස්සක් පමණ පිටරට ඉගෙන ගන්නා තම දරුවන් බැලීමට මෙන්ම, නිවාඩුවක් ගත කිරීමට මේ දිනවල විදේශ ගතව සිටිති. තවත් සමහරු සිය ගම්බිම්වලට ගොස් සිටිති. මේ නිසා කොළඹ දේශපාලනය තරමක නිහඬතාවක පසුවේ.

‘සතුටු පවුල’ නත්තල සමරයි

ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු එක්ව පිහිටුවාගෙන ඇති ‘සතුටු පවුල’ කණ්ඩායම ගිය සතියේ ගම්පහ කිරිඳිවැලට ගොස් නත්තල් උත්සවයක් හා අධ්‍යාපනික ප්‍රදර්ශනයක් පැවැත්වීය. ඒ සඳහා මූලිකත්වය ගෙන තිබුණේ තිස්ස කුට්ටිආරච්චි, මිලාන් ජයතිලක සහ සුමිත් උඩුකුඹුර යන තිදෙනාය. කෝකිලා ගුණවර්ධන, රාජිකා වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරියෝ කිහිප දෙනෙක් ද ඊට සහභාගි වූහ. ආරම්භක දිනයේ උත්සවයට ටිරාන් අලස්, ප්‍රසන්න රණතුංග යන ඇමැතිවරු සහභාගි වූහ.
“මොකද ඇමැතිතුමා යුක්තියේ මෙහෙයුම නවත්වලා ද?” ප්‍රසන්න ටිරාන්ගෙන් ඇසුවේය. 


“නෑ... නෑ... නතර කරලා නෑ. නත්තල් නිවාඩුවයි පොහොයයි නිසා මේ දවස් දෙකේ පොඩි බ්‍රේක් එකක් දුන්නා” ඔහු කීවේය. ටිරාන් කීවේ තමා ඇමති ධුරයේ සිටින තුරු මෙම මෙහෙයුම නතර නොකරන බවය. මාස හයක් ඇතුළත කුඩු සහ පාතාලය අවසන් කරන බව ඔහු කීවේය.


“ඒක හොඳ වැඩක්. දෙන්න පුළුවන් උපරිම සපෝට් එක දෙනවා. අපි මේ ගැන පාර්ලිමේන්තුවෙත් කතා කරමු” ප්‍රසන්න කීවේය. පිරිස වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් සූදානම් කර තිබුණේ මිලන් ජයතිලක මන්ත්‍රීවරයාගේ නි​ෙවසේය.


ප්‍රදර්ශනයේ දෙවැනි දිනයේ දී එය විවෘත කරන්නට පැමිණියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් අනතුරුව මිලන් ජයතිලක මන්ත්‍රීවරයාගේ නිවසේ තේ පැන් සංග්‍රහයට මහින්ද සහභාගි විය. “සර් විපක්ෂ නායකකම ගන්න යනවා කියලා ආරංචියක් යනවා” යයි එහි සිටි හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් ඇසීය.
ආණ්ඩුවේ ඉඳලා මොකට ද විපක්ෂයට යන්නේ. ඊළඟ පාරත් ආණ්ඩු බලය ගන්නේ අපියි” මහින්ද උත්තර දුන්නේය.


මිලාන් ජයතිලකගේ කුඩා දුව දුටු මහින්ද ඇය ළඟට ගෙන්වා ගත්තේය.


“සර් මෙයාට හොඳට සිංදු කියන්න පුළුවන්”, 


මිලාන් කියද්දී ‘දුව සින්දුවක් කියන්නකෝ’ යයි මහින්ද කීවේය. ඇය රැජින්නට ඇන්දා ගීතය ගැයුවේ මහින්ද ඇතුළු පිරිසේ අත්පොළසන් මැදය.

ලන්සලාගේ සන්ධානයත් ඡන්දෙට සූදානම් වේ

අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලන්සා ඇතුළු කණ්ඩායම එක්ව පිහිටුවා ගැනීමට නියමිත නව සන්ධානයේ ප්‍රචාරක කටයුතු ලබන මස පළමු වැනි දා ආරම්භ කිරීමට සූදානම් වන බව පැවසේ. රාජගිරියේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ මේ සඳහා වැඩපිළිවෙළක් ලෑස්ති කර ඇති අතර, අනුර යාපා ඇතුළු පිරිස ද ඊට එක්වීමට නියමිතව සිටිති. එම කණ්ඩායමේ සහයෝගය ලැබෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටය. පොහොට්ටුවෙන් කැඩුණු පිරිසක් එක් කර සන්ධානය පිහිටුවීමට සූදානම් වන අතර, ජනවාරියේ සිට ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රචාරක මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

දයාසිරි  කුරුණෑගලිනුත් හැලේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතා එම පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමත් සමග ඔහුට මහලේකම් ධුරය ද අහිමි විය. පසුගිය කාලයේ ඔහු කුරුණෑගල දිස්ත්‍රික් නායකයා වශයෙන් කටයුතු කළේය. ඔහුට පක්ෂයේ දිස්ත්‍රික් නායකත්වය ද පසුගිය සතියේ අහිමි වූ අතර, පක්ෂයේ නායකයෝ ද ගොස් බිංගිරියේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයේ ලංකා නිදහස් පක්ෂයේ සමාලෝචන රැස්වීමක් පැවැත්වූහ. දයාසිරි තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නොසිටිනු ඇති අතර, සජබය හෝ වෙනත් විකල්ප දේශපාලන වැඩ පිළිවෙකට ඔහු එක්වීමට නියමිතය. ඔහු පසුගිය දිනවල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග ද සාකච්ඡාවක් පවත්වා ඇතැයි දැනගන්නට තිබේ.
මේ අතර, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් හය දෙනකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය සමඟ එක්ව දේශපාලන කටයුතු කිරීමට නියමිතය. ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර එකඟතාවක්ද ඇතිකරගෙන තිබෙන බව වාර්තාවේ. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඉකුත් බ්‍රහස්පතින්දා කොළඹ දී පැවැත්වුණේ දෙපාර්ශ්වයේම නායකයන්ගේ සහභාගිත්වයෙනි. සමගි ජන බලවේගය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාත් සහභාගි වූ අතර, නිදහස ජනතා සභාවේ මහාචාර්ය ජී එල් පීරිස්, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන, වසන්ත යාපා බණ්ඩාර සහ කේ.පී.එස් කුමාරසිරි යන මන්ත්‍රීවරු සහභාගි වූහ. වැට් බදු වැඩි කිරීමත් සමග ඇතිවන ජනතා පීඩනය පිළිබඳව රට පුරා රැස්වීම් පවත්වමින් ජනතාව දැනුවත් කිරීමට ද මෙම පිරිස එකඟතාවන්ට පැමිණ ඇති බව දැනගන්නට තිබේ. එම රුස්වීම් මාලාව ජනවාරි මාසයේදීම ආරම්භ කිරීමට නියමිතය.
මේ අතර, ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරුන් සහ පසු පෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු අතර හමුවක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ මළලසේකර මාවතේ පිහිටි නි​ෙවසේ දී ඉකුත් දා පැවැත්විණ. එහිදී මත්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විමසා සිටියේ, ටිරාන් අලස් ඇමැතිවරයා කුඩුකාරයන්, පාතාලයන් ඇල්ලීමට ක්‍රියාත්මක කර ඇති ‘යුක්තියේ මෙහෙයුම’ මාධ්‍ය සංදර්ශනයක් දැයි කියාය.”‍


නෑ... නෑ... ඒක මාධ්‍ය සංදර්ශනයක් නෙමේ. ටිරාන් ඇමැතිතුමා ඒක සද්භාවයෙන්ම කරන දෙයක්. ඒ වැඩපිළිවෙළ ඉතාම හොඳට ඇමැතිතුමා කරගෙන යනවා”‍ නාමල් කීවේය.

සමගියේ කෘත්‍යාධිකාරි මණ්ඩලය

සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය පිටකෝට්ටේ පක්ෂ මූලස්ථානයේදී රැස්වුණේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි. කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර  පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකවරුන් පත්කිරීමේ නිර්ණායක ඉදිරිපත් කළ අතර කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයෝ ඔවුන්ගේ මත ඉදිරිපත් කළහ. 


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කීවේ දිස්ත්‍රික් නායකත්වයට මන්ත්‍රීවරයෙකු පත් නොකළ යුතු බවයි. සුජීව සේනසිංහ හිටපු මන්ත්‍රීවරයා කීවේ දිස්ත්‍රික් නායකවරුන්, සංවිධායකවරුන් පත් කිරීමට මැදිහත්වීම සිදු නොකළ යුතු බවයි. මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේ දිස්ත්‍රික් කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමට දිස්ත්‍රික් නායකයකු වැදගත් වන බවයි.


එහිදී සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේ ඒ පිළිබඳව සාකච්ඡා කර අවසන් තීරණයකට එළැඹීම සුදුසු බවයි. ඒ අනුව දිස්ත්‍රික් නායකයන් පත්කිරීම ගැන තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය විය.


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෘත්‍යාධිකාරි මණ්ඩලයට යෝජනා කිහිපයක් ඉදිරිපත් කළේය. ඉන් එක් යෝජනාවක් වූ රට බංකොලොත් වීම සඳහා වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව  මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළ සමගිජනබලවේග බුද්ධි මණ්ඩල සාමාජිකයන්ට සහ ඒ සඳහා ඉදිරිපත් වූ නීතිඥවරුන්ට ස්තුතිය පළ කිරීමේ යෝජනාව පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ස්ථිර කළේය.
එමෙන්ම සමගිජනබලවේගයට එරෙහිව, ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ගොනු කළ නඩුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සහ ෆර්මා කාසිම් ඇතුළු නීතිඥවරුන් කණ්ඩායමට ස්තුතිය පුද කළ යුතු බවට පක්ෂ නායකත්වය ඉදිරිපත් කළ යෝජනාව ස්ථිර විය. මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක අමිත බණ්ඩාර පක්ෂයෙන් ඉවත් කිරීමටද කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීරණය කළේය.


පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේ කෘත්‍යධිකාරි මණ්ඩලය මීට පෙර අනුමත කළ පුළුල් දේශපාලන සන්ධානය ගොඩනැගීම සඳහා වූ වැඩපිළිවෙළ ශක්තිමත්ව ක්‍රියාත්මක කරන බවයි. එහිදී මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේ සන්ධානය සඳහා දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන නියෝජිතයන් සහ පුද්ගලයන් එක් කර ගැනීමට නායකතුමාගේ සහභාගිත්වයෙන් සාකච්ඡා පවත්වනු ලබන බවයි.


පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් මහතා කීවේ, මෑත ඉතිහාසයේ මැතිවරණ ජයග්‍රහණය කර තිබෙන්නේ සන්ධානවල බවයි. කෘත්‍යාධිකාරි මණ්ඩලය ගන්න තීරණවලට පටහැනිව ක්‍රියා නොකළ යුතු අතර සන්ධානය සෑදීම මෙන්ම ආණ්ඩුවේ මර්දනකාරී ක්‍රියාවලියට එරෙහිව මහ පාරේ ජනතාව සමඟ අරගල දියත් කළ යුතු බවයි. මුජිබර් රහුමාන් හිටපු මන්ත්‍රීවරයා කීවේ ආණ්ඩුවක් හදන්න සන්ධානයක් අවශ්‍ය බවයි. සන්ධානයක් සකස් කිරීමේදී අන්තවාදී,  වර්ගවාදී දේශපාලනය කළ පිරිස් සමඟ කටයුතු කිරීමේදී ඔවුන් එම මතවලින් බැහැරව සිටින්නේද යන්න පිළිබඳව සොයා බැලිය යුතු බවයි. හිටපු මන්ත්‍රිනී හිරැණිකා ප්‍රේමචන්ද්‍ර කීවේ සන්ධානගතවීමේදී ජන මතයක් ඇති පක්ෂ සමඟ සන්ධානගතවීම සිදු කළ යුතු බවයි.


එහිදී හර්ෂණ රාජකරුණා කීවේ අපට අකැමැත්තෙන් හෝ යම් යම් අය සමඟ එකතුවෙන්න සාකච්ඡා කරන්න සිදුවන බවයි. නමුත් පක්ෂයේ මූලික පදනම මත එම සාකච්ඡා සිදුකළ යුතු බවද ඔහු කීවේය. බන්දුලාල් බණ්ඩාරිගොඩ හිටපු මන්ත්‍රිවරයා කීවේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන වැඩ කළ යුතු බවයි. අවුරුදු 30 කට පසු අපිට අපේ ජනාධිපතිවරයෙක් පත් කර ගන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. රටේ ජනතාව අපේක්ෂා කරනා වෙනස්කමක් සිදුකළ හැකි ජනතාවාදී නායකයෙක් අපට සිටිනවා. අපි පාවෙන ඡන්දවලට උත්තේජනයක් ලබාදිය යුතුයි.


ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය කීවේ අපි සියලු‍ දෙනා සමඟ සාකච්ඡා කළ යුතුයි. දේශපාලනයේ සදාකාලික මිතුරොත් නෑ, සදාකාලික හතුරොත් නෑ කියන පාඨය උපුටා දක්වමින් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය කීවේ, සමගි ජනබලවේගය අද සියලු‍ ජන කොටස් එක් කරන පක්ෂයක් ලෙස ඉදිරියට පැමිණ ඇති බවයි.
සුජීව සේනසිංහ කීවේ සමගි ජනබලවේග සන්ධානයක් බිහි කිරීම ගැන දැනටමත් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රාජපක්ෂවරුන් කලබල වී ඇත්තේ මන්ද යන්න අපි තේරුම් ගත යුතු බවයි. සන්ධානයක් යනු පක්ෂ රැල්ලක් නිර්මාණය කිරීමයි. පක්ෂයක් ලෙස අපි එකට සිටිය යුතුයි. සන්ධානයක් අවශ්‍ය ද නැද්ද යන්න අපි තීරණය කරමු. සුජීව සේනසිංහ එසේ කීවේ ආවේගශීලීව සිට අදහස් ඉදිරිපත් කරමිනි.


මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේ සන්ධානගතවීමේදී සන්විධායකවරුන්ට හානියක් වෙන්න ඉඩ දෙන්නේ නැති බවයි. අලු‍ත් මිනිසුන් ආකර්ෂණය කර ගැනීමට සන්ධානයක් වැදගත් වන බවත් මහලේකම්වරයා කීවේය. හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක කීවේ අපට තිබෙන අභියෝගය සුළු එකක් නොවන බවයි. පක්ෂයේ කළමනාකරණ කමිටුව සතිපතා රැස්වී මේ ගැන තීන්දු තීරණ ගත යුතු බවයි.


හර්ෂ ද සිල්වා කීවේ සන්ධානයක් ගොඩනැගීම ගැන තර්ක කළ යුතු නෑ. සන්ධානගත වනවිට ආගම්වාදී, ජාතිවාදී පිරිස් සමඟ සන්ධාන ගත විය යුතු නෑ. පක්ෂයේ තීරණ සමඟ සියලු‍ දෙනා එකඟ වියයුතු බවත් සන්ධානයක් ගොඩනැගීමේ ඉදිරි කටයුතු පිළිබඳ තීන්දු තීරණ ගැනීම පක්ෂයේ නායකතුමාට පැවරිය යුතු බවත්  සුජීව සේනසිංහ හිටපු මන්ත්‍රීවරයා කීවේය.


සමගි ජනබලවේගය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් බවත්, විවිධ මතවාද අදහස් ඉදිරිපත් කිරීමට සෑම අවස්ථාවකම අවකාශය සලසා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී කීවේය. සන්ධානයක් ගොඩනැගීමේදී මේ දක්වා සිදුකරනු ලැබූ කටයුතු කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කර කෘත්‍යාධිකාරි මණ්ඩලය අනුමත කළ පසු ඉදිරියට ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බවයි. ඒ අනුව සමගි ජනබලවේගය සමග ගොඩනගන දේශපාලන සන්ධානයට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒකමතිකව අනුමැතිය ලබා දුන්නේය.


එහිදී අදහස් දැක්වූ ඉරාන් වික්‍රමරත්න, පක්ෂයේ ප්‍රතිපත්ති ගැන විද්වත් කණ්ඩායම්වල සහ වෘත්තියවේදීන් සමඟ සාකච්ඡා කර සංකල්පමය ප්‍රතිපත්තියක්  සකස් කර අවසන් බව කීය. ඒ ගැන පක්ෂයේ සංවිධායකවරුන්ගේත් මන්ත්‍රීවරුන්ගේත් අදහස් දැන ගැනීමට ජනවාරි මාසයේදී එය ඉදිරිපත් කරන බවත් ඒ පිළිබඳ ජනතාව සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා කීවේය.


ජනවාරි මාසයේ සිට ඕනෑම මැතිවරණයක් ඉලක්ක කරගනිමින් පක්ෂ සන්ධානයේ කටයුතු වේගවත් කිරීමට ක්‍රියා කරන බව කීවේ සමගි ජනබලවේගයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරය. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කීවේ  සමගි ජන බලවේගය ජාතිවාදී ආගම්වාදී අන්තවාදී පිළිවෙතක් ක්‍රියාත්මක නොකරන බවයි. කොරෝනා සමයේදී ඉස්ලාම් බැතිමතුන්ගේ මළසිරුරු ආදාහනය කිරීමට එරෙහිව පැවැති විරෝධතාවලට එදා බොහෝ දෙනා බිය වෙද්දී මුජිබර් රහුමාන්, මරික්කාර්, කබීර් හෂිම් මන්ත්‍රීවරුන් තමාට සහාය වූ බව කී විපක්ෂ නායකවරයා රටේ සාමූහික සමගිය සඳහා සෙසු ජනවර්ග සමඟ එක්බද්ධව ක්‍රියා කිරීම තම දේශපාලන භාවිතය තුළින් පෙන්වා දී ඇති බව අවධාරණය කළේය.


■ රාජ-දූත