ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ


ගෙයින් ගෙට ගොස් පවුල් 150ක 250ක් බේරාගත් අපේ කාලේ එස්.මහින්ද හිමි

උතුරු ඉන්දියාවේ සිකිම් ප්‍රාන්තයේ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් වැඩ සිටි ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවට වැඩම කර බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කහටරුප්ප, පාලාවත්ත නම් දුෂ්කර ගම්මානයේ පාලාවත්ත ශ්‍රී බෝධිරාජරාම විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති ලෙස වැඩවසන ටිබෙට් ජාතික එස්. අමරජෝති හිමියන් මෙරටට මෙන්ම ඌව පළාතට ලැබුණු වටිනා සම්පතකි.

කහටරුප්ප, පාලාවත්ත ගම්මානයේ වැඩවසමින් අවවරප්‍රසාදිත ගම්වැසියන්ට උදව් උපකාර කරමින් හුදෙක් ගම්වැසියන්ගේ යහපත උදෙසා ම ඇපකැප වී සිටින අමරජෝති හිමියන් නොබෝදා බදුල්ල දිස්ත්‍රික්කයට පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමග පවුල් 150ක මිනිස් ජීවිත 250ක් නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත්වූයේ බුද්ධ ශාසනයට මෙන්ම ටිබෙට් හිමියන්ගේ දේශයටද මහත් ගෞරවයක් ගෙන එමිනි.

ඉකුත් දින කීපය මුළුල්ලේ “දිට්වා”‍ කුණාටුව මෙරටට ඇතුළු වීමෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුවූ ආපදාවලින් මිනිස් ජීවිත සමග නිවාස, දේපළ රැසක් විනාශයට පත්විය.

මෙම ආපදා සිදුවීමට මත්තෙන් පැවති වර්ෂාව නොතකා කහටරුප්ප, පාලාවත්ත, ගඩාදිගොල්ල, කොළොන්ගස්පිටිය ගම්මානවලට සැතපුම් ගණනක් දුර  අලු‍යම් කාලයේ පාගමනින් නිවෙසක් නිවෙසක් පාසා ගොස් නිදා සිටි ජනතාව අවධි කරවා ඔවුන් නිරුපද්‍රිතව බේරා ගැනීමට අමරජෝති යතිවරයාණෝ සමත් වූහ.

ගම්වැසියන් පාලාවත්ත ශ්‍රී බෝධිරාජරාම විහාරස්ථානයට ගොඩවැදී ආරක්ෂිතව සිටින අතරේ දිට්වා පාලාවත්තට පැමිණ ගම්වැසියන්ගේ නිවාස කඩා බිඳ දමමින් පොළොව සමතලා කරන්නට වූයේ කිසිදු හිතක් පපුවක් නොමැතිව වියරුවෙනි.

මෙම යතිවරයාණෝ ඒ වනවිටත් 250 දෙනෙකුගේ ජන ජීවිත දිට්වා ගේ ගොදුරෙන් බේරාගෙන හමාරය.

අද එම ගම්වාසීන් විහාරස්ථානයේ රැකවරණය ලබමින් සිටින අතර, විහාරාධිපති හිමියන් ද ගම්වාසීන් සමග එක්වී ලැබෙන වියළි ආහාර ද්‍රව්‍ය පිසින්නේ සමගිව එක්වෙමිනි.

1998 වසරේදී උතුරු ඉන්දියාවේ සිකින් ප්‍රාන්තයේ සිට මෙරටට වැඩමවා කොළඹ  පාගොඩ  ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩසිට අනතුරුව වැලිමඩ, ඌවපරණගම, ඇල්ල, කරඳගොල්ල, ප්‍රදේශවල විහාරස්ථාන කීපයක වැඩ සිටිමින් 2000 වසරේදී බදුල්ල, පාලාවත්ත නම් අතිදුෂ්කර ගම්මානයට වැඩමවා ගම්මානයේ කැඩී ගරාවැටී තිබූ විහාරස්ථානයක උන්වහන්සේ වැඩවසන්නට වූහ.

ගම්වාසීන් යහමඟට හරවා ගනිමින් බුදු දහමට අනුව ආගමික ජීවිතයත් හුරු පුරුදු කරන්නට අමරජෝති යතිවරයාණන් සමත්වූයේ සිය සහජ හැකියාවෙනි.  

දිට්වාගේ ගොදුරෙන් වටිනා  මිනිස් ජීවිත 250ක් බේරා ගත් ඒ ආදර්ශවත් සිදුවීම උන්වහන්සේ මෙසේ “ඉරිදා ලංකාදීප”‍ පුවත්පතට අනාවරණය කළහ.

“පාලාවත්ත ගම්මානයට එදා නොකඩවා ධාරානිපාත වර්ෂාව පතිත වූයේ  මහත් බයංකාර බවක් දනවමින්. රාත්‍රි පටන්ගත් අනෝරා වර්ෂාව අලු‍යම වනවිටත් එකදිගට පැවතුණ නිසා මට නින්ද ගියේ නෑ. මට කිසියම් විනාශයක් ගමට ජනතාවට සිදුවෙයි කියන බයක් දැනුණා. පසුව මම අලු‍යම තනිවම විහාරස්ථානයෙන් පිටවී පාලාවත්ත, ගඩාදිගොල්ල, කොළොන්ගස්පිටිය ගම්මානවලට සැතපුම් ගණනක් දුර පාගමනින් ගියා. නිදාසිටි ජනතාව අවදි කළා. මෙහි අනතුරුදායක බව කියමින් වහාම විහාරස්ථානයට ගොස් ආරක්ෂතව සිටින ලෙසෙට දැනුම් දුන්නා. මගේ කීමට අවනත ව ගම්වාසීන් දරුමල්ලන් කැටුව පාන්දර විහාරස්ථානයට ගියා. පසුදා උදෑසන වනවිට වර්ෂාවත් සමග ගම්මානයේ විශාල  නායයාම් රැසක් සිදුව පස්කඳු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී නිවාස විනාශ වී ගම විනාශ වී තිබුණා.

නමුත් මම මැදිහත් වුණ නිසා දිට්වා පරාජය කර දිට්වාගේ මකර කටට ගොදුරු වීමට ගිය වටිනා මිනිස්  ජීවිත 250ක් බේරා ගැනීමට හැකිවුණා. ඒ ගැන මට හරි සතුටක් දැනෙනවා.”

ඇල්ල ප්‍රසාද් රුක්මල්