
අතීතයේ දී ලක්දිව හැඳින්වූයේ ස්වාභාවික විපත් අඩුවෙන්ම සිදුවූ පින් බිමක් ලෙසිනි. පෙර රජ දවස කැලණිතිස්ස රජතුමා මහ මුහුද ගොඩ ගැලීමේදී ජ්‍යොතිෂවේදීන්ගේ කීම මත විහාර මහා දේවිය රුවල් ඔරුවකින් මුහුදට පා කරහැරිය බව අප අසා ඇත. මේ කතාවෙන් පසු මෑත ඉතිහාසයේ අපට එබඳු තත්ත්වයක් දකින්නට ලැබුණේ 2004 වර්ෂයේ දී සිදු වූ සුනාමි ව්‍යසනයෙනි.
වසර 21 කට පෙර සිදුවූ සුනාමියෙන් පසු මිනිස් ජීවිත රැසක් බිලිගෙන ජන ජීවිතය අඩාළ කළ දිට්වා සුළි කුණාටුවට මුහුණ දීමට අප රටේ ජනතාවට සිදුවිය. මෙම ගංවතුර තර්ජනයත් සමඟ ඉතිහාසයේ කිසිදු දිනක නොවූ අයුරින් ඓතිහාසික කතරගම පුදබිමට පැමිණෙන සියලුම මාර්ග ද අවහිර කරමින් මැණික් ගඟේ ද ජලය පිටාර ගලන්නට විය. සියලු පාලම් යටවිය. මෙම හේතුව මත කතරගම නාගලගම් වීදිය. සෙල්ලකතරගම, කොහොඹ දිගානේ මාර්ගය ඇතුළු ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවූයේ අන් කවරදාකටත් වඩා දරුණු ලෙසය.
කතරගම ඉතිහාසයේ මැණික් ගඟේ වැඩිම ජල කඳ කතරගම වටකරගනිමින් කතරගම පුදබිමේ ඇති වල්ලිඅම්මා දේවාලය සහ මුස්ලිම් පල්ලිය ආසන්නයට අඩි තුන හතරක් දක්වා වතුර ගලා ගෙනැවිත් තිබුණි. මැණික් ගඟේ අංක එක සහ අංක දෙක පාලම්වල ඇඳි සියල්ල ජලයෙන් යට විය. කතරගම නගරයේ යකඩ වැට ආසන්නයට මැණික් ගඟේ ජලය පැමිණ තිබුණි. නාගහවීදියේ නිවාස හයක් පමණ ද උදා නිවාස ප්‍රදේශයේ නිවාස දෙකක්ද සෙල්ල කතරගම ලක්ෂ්මී දේවාලය ආසන්නයේ කඩ පේළි කීපයක්ද මැණික් ගඟේ ජලයෙන් යටවිය. ඒ හැරුණු විට ජන ජීවිතයට හානියක් සිදු නොවීය.
දින දෙකක් පුරා පැවති ජලකඳ බැස ගියේය. එහෙත් කතරගම ජනතාව දැඩි ආර්ථික ගැටලුවකට මේ වන විට මුහුණ දී සිටිති. වන්දනාකරුවන්ගේ පැමිණීම මත දිවි ගෙවන සමාජයක් ඇති කතරගම බොහෝ දෙනකු වන්දනාකරුවන්ට සේවා සහ භාණ්ඩ අලෙවි කර ජීවත්වෙති. නවාතැන් සපයති. රටේ පවතින අයහපත් වාතාවරණය හමුවේ කතරගම පුදබිම වෙත බැතිමතුන්ගේ පැමිණීම අඩුවීම මත ජන ජීවිතයද අඩාළ වී තිබේ. මෙයද ගංවතුරට යටවූවා හා සමාන බව පීඩාවට පත්වූවෝ සඳහන් කරති.
මැණික් ගඟ කිසිදා, කිසිදු අයුරකින් ජන ජීවිතය අඩාළ නොකළ නදියකි
ලෝකයේ මානව ශිෂ්ටාචාර ආරම්භ වන්නේ ගංගා නිම්න මුල් කරගෙනය. ඉන්දියාවේ ගංගා නදිය, ඊජිප්තුවේ නයිල් ගඟ හා සමානව ලංකාවේ ද ගංගා නිම්න ශිෂ්ටාචාරය ආරම්භ වීමත් සමඟ කතරගම මැණික් ගඟ අපට විශේෂ වෙයි. එය දෙවියන්ගේ අඩවියේ ජනතාවගේ හදවත බඳු ය.
කතරගම පෝෂණය වන්නේ මැණික් ගඟෙනි. වී ගොවිතැන සරුසාර කරන්නේද, ජීවිතය හා සංස්කෘතිය පෝෂණය කරන්නේද මැණික් ගඟ විසිනි. ලංකාවේ වෙනත් ගංගාවලට දේව ඇදහිලි සම්ප්‍රදායන් මුසු වන්නේ නැත. දේව විශ්වාස, ඇදහිලි අතරෙහි ලංකාවේ අනිකුත් ගංගාවලට නැති වටිනාකමක් ඉන්දියාවේ ගංගා නම් නදියට මෙන්ම පැවරී තිබෙන්නේ මැණික් ගඟට පමණි.
නුවර මහවැලි ගඟේ දිය කැපුව ද මහවැලි ගඟ අදහන්නේ නැත. ගැටඹතොටේ දිය කැපුව ද අදහන්නේ නැත. අනුරාධපුරය හරහා ගලා යන මල්වතු ඔයට මෙන්ම කළුතරින් මුහුදට වැටෙන කළුගඟටද කිසිවෙක් පුද සත්කාර නොකරති. කතරගම මැණික් ගඟ දියකැපීමට පමණක් භාවිත නොවේ. මෙම ගඟට කෙරෙන පුද සත්කාර බොහෝය. ලංකාවේ ගඟක් ආශ්‍රිත ප්‍රබල ලෙස ඇදහිලි කරන එකම ගඟ වන්නේ මැණික් ගඟ පමණි.
ගම්මුන් පවසන ආකාරයට කතරගම පුදබිම වෙත දරුණු ගංවතුරක් පැමිණ ඇත්තේ 1952 වසරේ බව කතරගම පාරම්පරික පදිංචිකරුවන් වන කතරගම ජාතික පාසලේ විශ්‍රාමික ආචාර්ය එච්.ආර්.කේ. නන්දසේන පවසයි.
“ඒ කාලේ අද වගේ මැණික් ගඟ අයිනේ කවුරුවත් ගෙවල් හැදුවේ නෑ. කුඩා ගෙවල් කිහිපයක් පමණයි පූජා භූමියේ තිබුණේ. ඒ කාලෙත් මැණික් ගඟ පිටාර ගියත් මිනිසුන්ට කවදාවත් හානි කරලා නැහැ. පූජා භූමිය වතුරෙන් යට වුණේ අඩි දෙකක් පමණයි. ඊට වඩා කවදාවත් වතුර දාලා නැහැ. අපේ සුන්දර කාලය ගෙව්වේ මැණික් ගඟත් එක්ක. අපේ විනෝදම ස්ථානය වූයේ මැණික් ගඟේ සුදු වැල්ල. එදා මැණික් ගඟට කවුරුත් ආදරය කළා.
වර්තමානයේ මැණික් ගඟ මෙසේ ගංවතුර තත්ත්වයකට පත්වුණේ වෙහෙරගල ජලාශය ඉදිකිරීම නිසයි. වෙහෙරගල ජලාශය ගොඩාක් ප්‍රයෝජනවත්. ජලාශයේ වතුර එකවර විවෘත කිරීම නිසා තමයි පහත ප්‍රදේශය ජලයෙන් යට වෙන්නේ. ඉස්සර වහිනකොට වැඩි ජලය ගඟ දිගේ වේගයෙන් මුහුදට ගලා ගියා. අද ජලාශයේ වතුර එක් රැස්කර පිටාර ගලන මට්ටමට එන විට අරිනවා. ඒකයි මේ විදිහට වෙන්නේ.
අතීතයේ පූජාභූමියේ ගෙවල්වල අය මාළු පිනි සහිත මුට්ටියක්වත් මැණික් ගඟට ගිහිල්ලා හේදුවේ නෑ. වතුර ගොඩට ගෙනැවිත් තමයි ඒවත් පිරිසිදු කළේ. අද මැණික් ගඟට ඉහළ මිනිසුන්ගේ නොමිනිස්කම් නිසා බොහෝ අපිරිසිදු වී තිබෙනවා. ඒවා දෙවියන්ට සුදුසු නැහැ. මැණික් ගඟේ ජලය හින්දු බැතිමතුන් බොනවා. විවිධ පූජා කටයුතු සඳහා ගන්නවා. අපි මැණික් ගඟට දෙවියන්ට මෙන් ආදරය භක්තිය දැක්විය යුතුයි. ඒ වුණත් එවැනි භක්තියක් වර්තමානයේ මිනිසුන්ගේ නැහැ. අතීතයේ ගංවතුර තත්ත්වයට වඩා මැණික් ගඟ උරණ වී තියෙන්නේ වර්තමානයේ මිනිසුන්ගේ අකටයුතු ක්‍රියාකාරකම් නිසා.”
මැණික් ගඟ සහ දේව ඇදහිලි සම්ප්‍රදාය
දුටුගැමුණු කුමාරයාට ස්කන්ධ කුමරුන් මුණගැසෙන්නේ මැණික් ගගේ ජීව මාල තොටුපොළේ දී බව මූලාශ්‍රයන්හි සඳහන්ය. එම නිසා අදටත් වර්තමානයේ කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය නිමාවීමෙන් පසු රටේ වස්දොස් දුරු කිරීම පිණිස රටට සෞභාග්‍යය උදා කිරීමට දිය කපා වස්දොස් යවනුයේ මෙම ජීවමාලි තොටුපොළේදීය.
දුටුගැමුණු කුමාරයා තමන් යුද්දෙන් දිනූ පසු රන් උළු මාලිගාවක් සහිත දේව මන්දිරයක් ඉදිකිරීමට භාර වීම සිදුවන්නේ මැණික් ගං ඉවුරේදීය.
මැණික් ගඟ ශුද්ධවූ නදියකි. තමන්ගේ කිලිකුණු පිරිසිදු කර දේව වන්දනාවට යෑමට බැතිමතාට උපකාර වන්නේ මැණික් ගඟය. මෙවැනි ශුද්ධ වූ ගඟක් ලංකාවේ ඇත්තේ කතරගම පමණි.
කතරගම නගරයේ ජනතාව, බැතිමත්හු දේවාල ආශ්‍රිතව ගලා යන මැණික් ගඟේ ජලය ශුද්ධ වූ ජලයක් ලෙස පිළිගනිති. දේවාලයට රැගෙන යන පලතුරු පිරිසුදු කර සෝදා සකස් කරන්නේ මැණික් ගඟේ සිටය. මේ ගඟ කිසිවෙකු විනාශ කර යන්නේ නැත .
ඇසළ මංගල්‍යයට පැමිණෙන දහස් සංඛ්‍යාත බැතිමතුන් අපවිත්‍ර කරන මැණික් ගඟ පිරිසිදු වන්නේ බැතිමතුන් ගිය පසු ඇදහැලෙන වර්ෂාවෙනි. කතරගම කිලි වී ගිය කුණු සෝදා පවිත්‍ර වී ශුද්ධ භූමියක් වන්නේ එම වර්ෂාවෙන් පසුවය. ගම්වැසියන් සඳහන් කරන්නේ දෙවියන් මැණික් ගඟ පිරිසිදු කරන බවය. රටේ යම් උවදුරක් විපතක් ස්වාභාවිකව සිදුවන විටදී ද කතරගමට පැමිණ මැණික් ගඟෙන් පඬුරු සෝදා පිරිසුදු වී දේවාලයට පැමිණ භාරහාර වීම අතීතයේ රාජ්‍ය නායකයන් පවා සිදුකර ඇතැයි විශ්වාස කෙරේ.
කිසියම් ආකාරයට රටේ විපතක් ආපදාවක් වූ විට දී මැණික් ගඟ පිටාර ගලා ගියත් මෑතකදී පැමිණි සුළි කුණාටු සමග මේ සියලු දේවල් ගසාගෙන යන විට ජනතාව පවසන්නේ කාලයක් පුරා අපවිත්‍ර කර වූ පරිසරය සෝදා පවිත්‍ර කරවූ බවය.
රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක සඳහන් කළේ මෙරට පාලනය කළ ඉංග්‍රීසි ජාතිකයන් විසින් මැණික් ගඟට දැඩි රැකවරණයක් ලබා දුන් බවත් 1908 දී කතරගම ඇසළ උත්සවයට පහසුකම් ලබා දුන් කඳවුරු භාර නිලධාරි ලෙනාඩ් වුල්ෆ් කතරගම මැණික් ගඟට සුවිශේෂ වූ සැලකිල්ලක් දැක්වූ නිලධාරියෙක් බවත්ය. ඇසළ පෙරහරට එන සියලුම බැතිමතුන්ට පානීය ජලය ලබා ගැනීමට තිබුණේ මැණික් ගඟෙන් පමණක් නිසා මැණික් ගඟේ දේවාලයෙන් ඉහළ කිසිදු අයකුට නිවාසයක් ඉදි කිරීමට හෝ ජලය අපවිත්‍ර වෙන කිසිවක් කිරීමට ඉඩක් ලබා දී නොමැත.
දේව භක්තියෙන් සැලකූ මැණික් ගඟ කිලිටි වෙලා
අද වන විට ප්‍රධාන වශයෙන්ම මැණික් ගඟ විනාශ වී ඇත්තේ ගඟ දෙපස බොහෝ තැන්වල නිවාඩු නිකේතන ඉදිකර තිබීමය. බොහෝ ඒවා අනවසර ඉදිකිරීම්ය. මෙම නිවාඩු නිකේතන වෙතින් පිට කරන අප ද්‍රව්‍ය බැහැර කරන්නේ සුන්දර මැණික් ගඟටය.
ඇසළ සමයේදී මැණික් ගඟ වටා කටුකම්බි ගසා පානීය ජලය ලබා ගැනීමට ස්ථානයක් ද නම් කර දෙවියන්ගේ තොටුපළ ලෙස නම්කර ඇති ස්ථානයට ආරක්ෂකයන්ද යොදවා කිසිවෙකුට දිය නෑමට නොදී සුරකින බව ද සොමිපාල ටී. රත්නායක මහතා සඳහන් කරයි. වර්තමානය වන විට කතරගම දෙවියන්ට පැන් ගන්නා තොටුපොළ දෙවියන්ට පැන් ගැනීමට නොහැකි වූ කිඹුලන් ගැවසෙන අපවිත්‍ර වූ තොටු පොළක් ලෙස දැක්වේ. කතරගම දෙවියන්ගේ නාන මුර පූජාවටත්. අෂ්ටඵල බෝධියටත් අතීතයේ දී ජලය ලබා ගනු ලැබුවේ දෙවියන්ගේ පැන් ගන්නා තොටුපොළෙන් වීම විශේෂයකි. මැණික් ගඟ විනාශ වීමත් සමග දෙවියන්ගේ පූජාවට පැන් ලබාගන්නේ විශේෂ වූ ළිඳකිනි. අතීතයේදී දිය කැපූ ජීවමාලි තොටුපළට අද වර්තමානයේ යෑමට නොහැකිය. අද ඒ ස්ථාන දැවැන්ත වළවල් සැදී කිඹුලන්ගේ රජ දහනක් බවට පත් වී ඇත. 2015න් පසු මේ දක්වා ජීවමාලි තොටුපොළේදී දියේ කැපීමක් සිදුවී නොමැත.
රාජ්‍ය නායකයන් පවා දෙවියන් විශ්වාස කළ තැන්
කතරගම දෙවියන් යනු යුද්ධයට අධිපති දෙවියෙකි. අතීතයේදී රටේ නායකයෝ යම් විපතක් වූ විටදී කතරගමට පැමිණ මැණික් ගඟේ දිය නා පඬුරු සෝදා දෙවියන්ට භාරහාර වී රටේ විපත්වලින් ජනතාව බේරා දෙන ලෙස භාරහාර වූහ. මෙම උතුම් දෙවියන් අප රටේ බොහෝ රජවරුන් නායකයන් විසින් දැඩි ලෙස විශ්වාස කරන ලදී.
දුටුගැමුණු මහ රජතුමා එළාර රජු සමඟ යුද්ධ කරන්නට යන විටදී භාර වූයේ කතරගම දෙවියන් හමුවේය. 1818දී ඉංග්‍රීසීන්ට එරෙහිව යුද වැදුණු වීර කැප්පටිපොළ නිලමේතුමා ද කතරගම දෙවියන්යන්ට භාර විය.
කොහු කුඹුරේ රටේ රාල වැනි විරුවන් ද කතරගම දෙවියන් වෙනුවෙන් භාරහාර වූ බව සඳහන් ය.
හිටපු ජනාධිපතිවරුන්ද රටේ තීරණාත්මක අවස්ථාවලදී කතරගම දෙවියන්ට භාර වූ බව මෑත ඉතිහාසය සාක්ෂි දරයි. කැලෑ පලතුරු දඹ, කරඹ, වීර, පලු, කැලෑ අල බතල, පළා වර්ග, ධාන්‍ය වර්ග, ගමේ ගෙවත්තේ හැදෙන එළවළු, පලතුරු, කිරිපැණි වැනි දේශීය දේවල් තබමින් අපූරු පලතුරු පූජාවක් ද දෙවියන් වෙනුවෙන් ඔවුන් විසින් පුදන ලද අවස්ථා තිබේ.
කුඹුරේ අලුත් වී සහල් ටික, අලුත් වාහනේ යතුර, ලෙඩ දුක් යනු කතරගම දෙවියන් වෙනුවෙන් පුද පූජා පැවැත්වීමට නන් දෙසින් ජනතාව පැමිණීමේ විවිධ හේතු වෙයි. වර්තමානය වන විට අරක්කු, මත්ද්‍රව්‍ය, දඩමස් ජාවාරම්කරුවන්ගෙන් පුදබිමේ ගෞරවය නැතිවෙමින් පවතී. මේ නිසා දෙවියන්ගේ උදහසට ලක්වීම මත ඇතැම් විපත් කරදර සිදුවේ යැයි ජන මතයක් පවතී.
කතරගම පැරණිම පවුලකට අයත් ගුරුවරයකු හා වැල්ලවාය අධ්‍යාපන කලාප කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කළ පුෂ්ප කුමාරසිරිවර්ධන ඒ පිළිබඳ සඳහන් කළේ මෙවැන්නකි,
“1952 දී කතරගමට හිටි හැටියේ ජල කඳක් පැමිණියා. එදා අද වගේ පාලම් තිබුණේ නෑ. පැය තුනක් එගොඩ අයට මෙගොඩ යන්නට නොහැකිව තිබුණා. තිබුණු එකම පාලම පැය 08ක් වැනි කාලයකින් යථාතත්වයට පත්වුණා. එදා බැතිමතුන්ද ගොඩක් හිටියා. වැස්ස තිබුණේ නෑ කතරගමට. බුත්තල ප්‍රදේශයට වැහැලා තමයි මේ වතුර ආවේ. දෙවියන්ගේ හාස්කමකින් ගඟේ බැස සිටි කිසිවෙකුටත් කරදරයක් වෙන්නේ නැතුව එදා බේරුණා.
කතරගම දෙවියෝ කිසිදු විපතක් වෙන්න මේ භූමියේ ඉඩ දෙන්නේ නෑ කියන විශ්‍වාසය අදටත් අපේ හදවත්වල තියෙනවා.
අපි හැම දෙනාම ජීවත් වෙන්න ඕන සොබාදහමට අවනතව. අපට කැමති විදිහට සොබාදහමට එරෙහි වෙන්න බැහැ. එහෙම වුණොත් එයාට රිදෙනවා. එයාට රිදෙනකොට අපට රිද්දනවා. මහා දරුණු විදිහට. අපි ඒ කාලේ නිවසක් හදන විට හතර කොනේ පහන් පැල් හතරක් හදනවා. සතර වරම් දෙවියන්ට. ගෙපළ කපන්න පොළොවට උදැල්ල තියද්දී පොළොව මහී කාන්තාව සතුටු කරන්න නිදන් වස්තු නිවසේ තැන්පත් කරනවා. විවිධ වූ සංවර්ධන කටයුතු කළත් අඩුම තරමේ කතරගමට පඬුරක්වත් ගැට ගහලා අවසර ගන්න තත්වයක් අද දකින්නට නැහැ.”
කතරගම-කේ. ඩී.දේවප්‍රිය

ගංගාරාම පාලම කිරිවෙහෙර පාර

මැණික් නදියේ සිට

අංක 02 පාලම

කතරගම නගරයේ දේවාලයට අංක 02 පාලම

