
හමාගිය සුළිකුණාටුවට “දිට්වා” යන නාමය යෙදුවේ , පිළිගැනුණු පටිපාටියට අනුව යේමනය විසින් එකී නම යෝජනා කරනු ලැබ තිබුණු නිසාය.
සුළිකුණාටුවලට නාමයන් තීරණය කරන්නේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානයට අයත් එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් ආර්ථික, සමාජ කොමිසමේ නිවර්තන සුළිකුණාටු පිළිබඳ මණ්ඩලයේ සාමාජික රටවල එකඟත්වයෙනි. ශ්‍රී ලංකාව සහ යේමනය ද අදාළ හවුලේ සාමාජික රටවල් ය. යේමනයට අයත් “සෝකෝත්‍රා දූපතේ” ඇතැයි කියන “දිට්වා” යන නමින් හඳුන්වන කලපුව සිහි ගන්වමින්, එරට කාලගුණ විද්‍යාඥයින් “දිට්වා” යන නම සුළිකුණාටුවක් නම් කිරීම සඳහා යොදාගන්නැයි යෝජනා කර තිබුණු අතර, ඒ අනුව මෙම සුළිකුණාටුවට එකී නාමය ලැබුණි.
යථොක්ත සෝකෝත්‍රා දූපත එසේ මෙසේ තැනක් නොවේ. එය එක්තරා ආකාරයකින් මිහි මත ඇති පිටසක්වළ ලෝකයකි.
සෝකෝත්‍රා දූපතේ ඇති පරිසරය විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක පිටසක්වළ ලෝකයක් වැනිය. විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ඇති - යේමන රාජ්‍යයේ ප්‍රධාන භූමියෙන් ඈත් වී හුදකලා දූපතක් ලෙස පිහිටි මෙම දූපතට යාම් - ඊම් අනතුරුදායකය. ඒ - එම රටේ පවතින සිවිල් යුද ගැටුම් සහ හූති ෂියා මුස්ලිම් සටන්කාමීන් ගේ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙනි .
සෝකෝත්‍රා යනු තනි විශාල දූපතක් හා ඒ ආසන්න කුඩා දූපත් කීපයක සංයුක්තයකි. ඒවා යේමනයට ඔබ්බෙන් අරාබි මුහුදේ පිහිටා ඇත. අසමසම ජෛව විවිධත්වය නිසා මෙම දූපත බොහෝ විට ඉන්දීය සාගරයේ “ගැලපගෝස් දූපත”ලෙසින් ද හඳුන්වයි.
භූගෝලීය වශයෙන් මීට වසර මිලියන ගණනකට පෙර අප්‍රිකානු මහාද්වීපයෙන් වෙන්වීම නිසා - සෝකෝත්‍රා දූපතේ සත්ත්ව සහ ශාක විශේෂ ලෝකයේ වෙනත් කිසිම ස්ථානයක දක්නට නොලැබෙන අයුරින් ස්වායක්තව පරිණාමය වී ඇත. පිටසක්වළ ලෝකයක බඳු පරිසරයක් දක්නට ලැබෙන්නේ එනිසාය. මෙම සුවිශේෂී ස්වභාවික උරුමය 2008 වසරේ දී යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කෙරුණි.
සෝකෝත්‍රා දූපතේ සුවිශේෂී ගස් වර්ග දෙකක් පවතී. එයින් එකක් “මකර ලේ” ගසය. මෙම දූපතේ සංකේතය වන්නේ ද මෙම ගසය. ඉංග්‍රීසියෙන් “ඩ්‍රැගන් බ්ලඩ් ට්‍රී’ යනුවෙන් මෙය හැඳින්වෙන අතර, උද්භිද විද්‍යාත්මක නාමය “ඩ්‍රැකෙනා සිනැබාරි” ය. මකර ලේ ගස යේමනයේ සෝකෝත්‍රා දූපතට පමණක් අනන්‍ය වූ, ලෝකයේ වඩාත්ම සුවිශේෂී ශාක විශේෂයකි. මෙම ගස එහි අද්විතීය පෙනුම නිසා ක්ෂණිකව හඳුනාගත හැකිය. මෙම ගස වැඩෙද්දී - අතු ඉහළට විහිදී, ඝනකම් සුවිශේෂී උඩු වියනක් සෑදෙයි. ගසේ සුවිශේෂී හැඩය පරිණාමය වී ඇත්තේ, දූපතේ පවතින වියළි හා සුළං සහිත පරිසරයට අදාළ අනුවර්තන ලක්ෂණවලින් අනූනව ය. අතු විහිදී සෑදෙන උඩුවියන මගින් වායුගෝලයේ ඇති ජලවාෂ්ප අවශෝෂණය කර, ඒවා ගසේ කඳ ඔස්සේ මුල්වලට යොමු කිරීම සිදු කෙරේ.
මෙම ගසට මකර ලේ ගස යන නාමය ලැබී ඇත්තේ එහි පොත්ත කැපූ විට පිටවන තද රතු පැහැති ශ්‍රාවය (දුම්මල) නිසාය. ඓතිහාසික වශයෙන් මෙම රතු දුම්මල සඳහා ලොව ඉහළ වටිනාකමක් තිබුණු බව පැවැසෙයි. පුරාණයේ ඒවා විවිධ ඖෂධ සඳහාත්, සායම් (විශේෂයෙන් මැටි බඳුන් සහ රෙදි සඳහා) සහ වාර්නිෂ් සෑදීම සඳහාත් භාවිතයට ගෙන ඇත. මෙම දුම්මල හට ගැනීමට වසර දහස් ගණනක් ගතවෙයි. එසේ වන්නේ ඒවායේ වැඩීම ඉතා සෙමින් සිදුවන බැවිනි. මෙම සුවිශේෂී ශාක විශේෂය දැඩි අවදානමට ලක්ව ඇති එකක් වශයෙන් නම් කර තිබේ. දේශගුණික විපර්යාස නිසා නිරන්තරයෙන් ඇතිවන සුළි කුණාටු හේතුවෙන් ගස් විනාශ වීම සිදුවෙයි. දූපතේ ජීවත් වන එඬේරුන්ගේ එළුවන් වැනි සතුන් මගින් නව පැළ ආහාරයට ගැනීම නිසාත්, දූපතේ ස්වාභාවික පරිසරය විනාශ වීම නිසාත්, ගස් විනාශ වෙයි. මෙම ගස්වල නව පැළෑටි ස්වභාවිකව බිහිවීම අඩු වීමත් සමඟම – යේමනයට මෙම අද්විතීය ස්වභාවික උරුමය අහිමි වීමේ අවදානමක් පවතී.

මෙම දූපතේ පවතින දෙවැනි සුවිශේෂී ගස් වර්ගය වන්නේ- “බෝතල් ගස” ය. මෙම ගසේ උද්භිද විද්‍යාත්මක නාමය “ඇඩෙනියම් ඔබෙසම් සෝකෝත්‍රානම්” ය. බෝතල් ගස - දූපතේ රළු වියළි පරිසරයට අනුවර්තනය වී ඇත්තේ, විස්මිත ආකාරයටය. විද්‍යාත්මකව මෙම ගස “ඇඩෙනියම් ඔබෙසම්” ගණයේ උපවිශේෂයක් ලෙස සැලකෙයි. ඉදිමුණු සෙයක් විශද කරන මහත කඳ හේතුවෙන් “බෝතල් ගස” යන නාමය මීට ලබා දී තිබේ. අසාමාන්‍ය ලෙස ඉදිමී ඇති ස්වභාවයක් පෙන්නුම් කරන මෙම ශාකයෙහි කඳ - අවශ්‍ය අවස්ථාවන්හි ප්‍රයෝජන ගැනීම සඳහා ජලය ගබඩා කර තබා ගැනීමට ආධාර කෙරේ. සෝකෝත්‍රා දූපතේ පවතින දීර්ඝ වියළි කාලවලදී සහ අඩු වර්ෂාපතන තත්ත්වයන් යටතේ සජීවී බව රැකගෙන පවත්වාගෙන යාමට එම ජලය උපයෝගී කර ගනී.
ශාක කඳෙහි අපර කොටස අසාමාන්‍ය ආකාරයකින් ඉදිමී ඇති ස්වභාවය නිර්මාණය කරන අපූරු හැඩය නිසා, මෙම ගස් ස්වාභාවික මූර්ති සේ ඈතට දකින්න ලැබේ. බෝතල් ගසේ තවත් කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ, එහි මල් නැතිනම් පුෂ්ප ය. වියළි කාලය අවසන් වී වැසි සමය ආරම්භ වන විට ගසෙහි අතු මුදුනේ අලංකාර රෝස හෝ රතු පැහැති පුෂ්ප පොකුරු වශයෙන් හට ගනී. මෙම පුෂ්ප දූපතේ පාෂාණමය භූ දර්ශනයට විශාල වර්ණවත් බවක් එක් කරන බව පැවැසෙයි.
සමස්තයක් වශයෙන් දූපතේ ශාක විශේෂවලින් සියයට37 කට අධික ප්‍රමාණයක් සහ උරග විශේෂවලින් සියයට90 ක් පමණ ආවේණික වීම දූපතේ ජෛව විවිධත්වයේ සුවිශේෂී බව පෙන්වයි. සෝකෝත්‍රා දූපතේ මෙම අද්විතීය පාරිසරික පද්ධතිය මේ වන විට බරපතළ තර්ජන රැසකට මුහුණ දෙමින් සිටී. දේශගුණික විපර්යාස හේතුවෙන් නිතර ඇතිවන සුළි කුණාටු සහ තද වැසි ආවේණික ශාකවලට හානි කරමින් ඒවායේ පැවැත්මට තර්ජනයක් එල්ල වී ඇත. ඊට අමතරව ආක්‍රමණශීලී සත්ත්ව විශේෂ, වනාන්තර විනාශය සහ නිසි කළමනාකරණයකින් තොරව සිදුවන මානව ක්‍රියාකාරකම් දූපතේ සියුම් සමතුලිතතාවට හානි කරන බව ජීව විද්‍යාඥයන් ගේ අදහසය. මිහිමත පිටසක්වල ලෝකයක් වැනි මෙම දූපත සහ එහි අසමසම ජෛව විවිධත්වය අනාගත පරම්පරාවන් වෙනුවෙන් සංරක්ෂණය කිරීම මුළු ලෝකයේම වගකීමකි.
ලුසිත ජයමාන්න
Earth.com ඇසුරිනි

