
ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්ථාන සංචාරය නිමාවට පත්වූයේ අමිහිරි පරාජයන් රැසක් ඉතිරි කරමිනි. බොහෝ දෙනා බලාපොරොත්තු වූ ආකාරයට විස්සයි20 තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වුවත්, අවසන් තරගයේ දී යළිත් සුපුරුදු පිතිහරඹයක යෙදී සියල්ල විනාශ කර ගන්නට ශ්‍රී ලංකාව සමත්විය. ශ්‍රී ලංකාව මේ මුහුණ දී ඇති තත්ත්වය ඉතා ඛේදනීය ය. එළැඹෙන ලෝක කුසලානයේ වැඩි තරග ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බැවින් ඒවා ජයග්‍රහණය කර අවසන් පූර්ව වටයකට යන්නත් එයින් එක් තරගයක් ජයගෙන අවසන් තරගයක් කරා යන්නත් ශ්‍රී ලංකාවට හැකි බව අපි දනිමු. ඒ තමන්ගේ රටේ දී ලැබෙන වාසිය නිසා ය. එහෙත් අප මේ කතා කරන්නේ ලෝක කුසලානයක් දිනාගැනීම ගැන නොවේ. ලෝක කුසලානය දිනාගන්නේ නම් එයට අර්ථයක් දීම ගැන ය.
පාකිස්ථානය සමග පැවති අවසන් තරගයේ ඉතාම හොඳින් පළමු පන්දු ඕවර 10 නිමා කළ ශ්‍රී ලංකාව සුපුරුදු පරිදි 11 වැනි ඕවරයේ දී සියල්ල විනාශ කර ගැනීම ඇරඹුවේ ය. විස්සයි20 තරගවල ඉනිම මැද විවේකයක් ලැබෙන්නේ නම් 11 වැනි ඕවරය ඉතාම තීරණාත්මක බව අයි.පී.එල්. තරග දෙස බැලුවත් ජාත්‍යන්තර තරග දෙස බැලුවත් පෙනේ. විශේෂයෙන්ම හොඳින් පන්දුවට පහර දෙමින් සිටින කණ්ඩායමක රිද්මය වෙනස් කරන්නට 11 වැනි ඕවරය ඉතාම හොඳින් යොදාගත හැකිය. එය දැන දැන මේ තරගාවලියේ පාකිස්ථානය සතු වූ හොඳම පන්දු යවන්නා වූ මොහොමඩ් නවාස්ට මෙන්ඩිස් කඩුල්ල දුන්නේය. එයින් පසුව වමත් දකුණත් පිතිකරුවන් තණතිල්ලේ තබා ගැනීම යන අතිපැරණි ක්‍රමය වෙනුවෙන් අංක 04 කුසල් පෙරේරා වෙනුවට පළමුවරට ජාත්‍යන්තර විස්සයි20 තරගයක පන්දුවට පහර දෙන්නට එන පවන් රත්නායක පිටියට එව්වේය. තරගය හැරෙන්නේ එතැනිනි. මිෂාර ගෙන් පසුව පැමිණි කුසල් පෙරේරා තවත් පන්දු කීපයක් නිකරුණේ වැය කර දැවී ගියේය. මෙන්න මේ ඕවර 4 දී ශ්‍රී ලංකාව විනාශ විය.
වමත් පිතිකරුවෙකුට පිට දඟපන්දු යවන්නෙකුට පහර දිය නොහැකි නම් දකුණත් පිතිකරුවෙකුට පා දඟපන්දු යවන්නෙකුට පහර දිය නොහැකි නම් ඒ පිතිකරුවන් ජාත්‍යන්තර පිටියේ ක්‍රීඩා කරන්නේ කුමකට ද? කුසල් පෙරේරාට පිට දඟ පන්දු යවන්නෙකුට මුහුණ දීමට නොහැකියාවක් නැත. 11 වැනි ඕවරයේ නවාස් ගේ ඉතිරි පන්දු 3ට මුහුණ දීමට කුසල් පෙරේරා පැමිණියේ නම් තත්ත්වය මීට වඩා වෙනස් විය හැකිව තිබුණි. ඊට පෙර තරගයක දී නවාස් හමුවේ දැවී ගියා කියා හැම විටම කුසල් පෙරේරා නවාස්ට දැවී යාවි යැයි කියන්නට බැරිය. මෙතැනදී සිදුවූ අවුල දිගටම ගියේය. එතැනින් එහාට කතාවක් නැත.
චරිත් අසලංක අසාර්ථක වුවහොත් මේ තරගාවලිය මැද දී ඔහුට කණ්ඩායමේ නායකත්වය අහිමිවන බව අපි මේ තරගාවලිය ඇරඹීමට පෙරම ලියූවෙමු. තරගාවලිය ඇරඹුමට පෙර චරිත් ලෙඩ විය. චරිත් පසුගිය සමයේ විස්සයි20 තරගවල ලකුණු අතර නොසිටීමත් පන්දු යවන්නන් මාරු කිරීමේ දී ඔහු පෙන්වූ දුර්වලතාවත් පසුගිය සමයේ කැපී පෙනිණ. මෙය දසුන් ශානක යටතේ සියයට සියයක් නිවැරදි වූයේ නැත. එහෙත් දසුන් තරගය කියවා ගැනීම අතින් ඉදිරියෙන් සිටියි. පාකිස්ථානයට එරෙහිව දුෂ්මන්ත චමීරත් සිම්බාබ්වේට එරෙහිව පැතුම් නිස්සංකත් කණ්ඩායමට ජය ගෙනාවේය. ඒ හැරෙන්නට නායකත්වය වෙනස් වූවා කියා වැඩි යමක් නැත. අපට සිතෙන්නේ පිතිකරු ලැයිස්තුව මාරු කිරීම, පන්දු යවන්නන් මාරු කිරීම යන අවස්ථාවලදී නායකයාට පිටියේ පිටතින් සිටින පුහුණුකරුවන්ගේ බලපෑම එන බවයි. මෙය ගැඹුරින් සිතිය යුතු තත්ත්වයකි. වමත් දකුණත් පිතිකරුවන් රඳවාගැනීමේ කාර්යයේ සිට බොහෝ දේ පිටියේ සිටින නායකයා කවුරු වුවත් ඔහුට පාලනය කළ නොහැකි තත්ත්වයක් පෙනෙන්නට තිබේ. මේ නිසා නායකයා කවුරුන් වුවත් තීරණ ගන්නා පිරිස මේ වැරදි නිවැරදි කරගත යුතුව තිබේ.
පිතිකරුවන් අතරින් මේ තරගාවලියේ දී වර්තමාන විස්සයි20 පිතිකරණ රටාවේ සිටියේ පැතුම් නිස්සංක සහ කමිල් මිෂාර පමණි. අනෙක් සියලු දෙනා සිටියේ වෙනත් කොහේදෝ තැනකය. මෙය කාලයක පටන් ශ්‍රී ලංකාව මුහුණ දෙන තත්ත්වයකි. අනෙක් අතින් දසුන් ශානක දිගින් දිගටම කණ්ඩායමේ රැඳෙනවා නම් ඔහුගේ අංකය 06 නොවිය යුතුය. ඔහු අංක 4ට පැමිණිය යුතුය. මෙය අප කියන්නේ කාලයක සිට ය. පළමු පන්දු ඕවර 6 අවසන් වූ පසුව ඉනිම ඇදගෙන යා යුතුය යන පැරණි නිගමනය වර්තමානයට ගැළපෙන්නේ නැත. පළමු අංක 7 දක්වාම දරුණු ප්‍රහාරකයන් අවශ්‍ය ය. වඩාත් විශ්වාසයෙන් ලකුණු රැස් කළ යුත්තේ හත්වැනි ඕවරයේ ආරම්භයේ සිට පහළොස් වැනි ඕවරයේ අවසානය දක්වාය. ශ්‍රී ලංකා කණ්ඩායම මේ දිනවල නොකරන්නේ ද එය ම ය.
අනෙක් කරුණ වන්නේ අප පසුගිය සතියේත් කතා කළ නියම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු සොයාගැනීමයි. වනිඳු හසරංග ඒ සඳහා සුදුස්සා වුවත් තවමත් ඔහු උපරිමයට පැමිණෙන්නේ නැත. මේ නිසා වනිඳු පන්දුවට පහර දිය හැකි පන්දු යවන්නෙකු ලෙස දිගින් දිගටම කටයුතු කරන්නේ නම් ශ්‍රී ලංකාව ඕවර හතරක් දැමිය හැකි හොඳ පිතිකරුවෙකු සොයා ගත යුතුය. මේ කියන්නේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි20 තරග ගැන නොවේ. එවැනි තරගවලදී චරිත් අසලංක, කමිල් මිෂාරා, පවන් රත්නායක ආදී වූ අත කරකවා ගතහැකි සියලු දෙනාට අවස්ථාව තිබේ. එහෙත් විදෙස් තණතිලිවල දී හා පනහට පනහ තණතිලිවල දී තත්ත්වය වෙනස් විය හැකිය. මෙය තේරුම් ගත යුතුව තිබේ. බොහෝ විට ආසියානු තණතිලිවල දී අංක 07 සහ 08 දෙදෙනා වනිඳු සහ තවත් හොඳින් පිත්ත හසුරුවන පන්දු යවන්නෙකු විය යුතුය. එවිට වේගපන්දු යවන්නන් දෙදෙනෙකු සහ මහීෂ් තීක්ෂණ කණ්ඩායමේ සිටිය හැක. මහීෂ් මේ වනවිට තවමත් සිටින්නේ උපරිම රිද්මයේ නොවේ. කාලයකට පසුව මහීෂ් රිද්මයෙන් බැහැරව සිටී. එය ඔහුට ඉදිරියේ දී වාසියක් විය හැකිය.
තව මාස දෙකකින් ආරම්භවන ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාවට අයර්ලන්තය සහ පාකිස්ථානය සමග විස්සයි20 තරගාවලියක් සූදානම් බව වාර්තා වෙයි. ක්‍රිකට් ආයතනය තමන් ගේ නම සහ ලෝක කුසලානයේ වෙළෙඳ වාසි ගැන නොසිතා මේ තරග සඳහා ලෝක කුසලානයේ දී තණතිලි සකසන ආකාරයටම පනහට පනහ තණිතිලි සැකසිය යුතුය. එසේ නොමැතිව ‘අපේ කොල්ලෝ ජයගන්නවා’ යැයි ගීත හදන්නටත් වැඩි වැඩියෙන් අනුග්‍රාහකයන් ලබාගැනීමටත් තණතිලි වෙනුවට කුඹුරු සාදා ඒවායේ ජයග්‍රහණ ලබාගතහොත් ඉන් සති කිහිපයකට පසු පැවැත්වෙන ලෝක කුසලානයේ දී කුල්ල කුජීත වීමට සිදුවනු ඇත. මේ නිසා දැන්වත් විස්සයි20 කණ්ඩායම නිවැරදි කර ගත යුතුය.
අවසන් කරුණ නම් සමාජ මාධ්‍යවල ක්‍රීඩකයන් පවත්වාගෙන යන ‘සේදීමේ යන්ත්‍ර’ අක්‍රිය කරන ලෙස ක්‍රීඩකයන්ට දැන්වීමයි. සියලු දෙනා දන්නා කරුණ නම් සමාජ මාධ්‍යයෙහි සිටින ඇතැමුන් මේ ක්‍රීඩකයන් පිම්බීමේ කාර්යය කරන බවයි. එසේම කණ්ඩායමෙන් ක්‍රීඩකයෙකු ඉවත් වුවහොත් රටේ නැති දේවල් කියමින් සමාජ මත හදන්නට උත්සාහ කරන බවයි. පළමුව තේරීම් කමිටුව මෙවැනි දේවල් නොසලකා හැරිය යුතුය. දෙවනුව ක්‍රීඩකයන් තමන්ගේ ක්‍රීඩාව ගැන සිතිය යුතුය. ව්‍යාපාරික අවශ්‍යතා මතු කරගත යුත්තේ පසුව ය. සමාජයෙන් ඇතිවන පීඩන දරා ගැනීමට අපහසු පුහුණුකරුවන්, තේරීම් කමිටු ඉවත් කිරීම ද තවත් කාර්යයකි. අප සියලු දෙනාටම ක්‍රීඩාව සම්බන්ධයෙන් විවිධ මත තිබිය හැකිය. එහෙත් වඩාත් වැදගත් වන්නේ පිටියේ ක්‍රීඩා කරන 11 දෙනාත් සහායට සිටින 4 දෙනාත් එකාවන්ව සිටීමයි. අනෙකා දැවී ගිය සැණෙන් පෝස්ට් හදා ඒකාව ගෙදර යවන්න සිතන 11 දෙනෙකු අවශ්‍ය නැත. එකට එක්ව සිටීමේ වැදගත්කම ගැන අමුතුවෙන් ලියන්නට අවශ්‍ය නැත. වටු කුරුල්ලාගේ සිට රණතුංග ලෝක කුසලානයක් එසැවූ තැන දක්වාත් හදිසියේ වැටුණු වාසනාවක් නිවැරදිව යොදාගෙන කණ්ඩායමේ සියලු දෙනාගේම සහාය ගෙන මාලිංග ලෝක කුසලානයක් එසැවූ තැන දක්වාත් උදාහරණ තිබේ. අවශ්‍ය වන්නේ මේ උදාහරණ අතරට එක් අලුත් උදාහරණයක් එක් කිරීමයි. එවිට 2026 මාර්තු 08 වැනිදා ලෝක ශූරයන් වීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් තිබේ.
කාංචන දසනායක

